Tuesday, September 26, 2017

දුර්ග චාරිකා... (ඇගේ පස් වන සටහන)



පහු  ගිය කොටස් වලට 

“කැමතිද ගොළු භාෂාව ඉගෙනගන්න. ඔයාගේ අකමැත්තක් නැත්තම් මං ඒකට උදව් කරන්නම්.”

 එසේ පැවසුවේ අප සමග සිටි ඉන්දියානු ජාතික ආලියා යි. නමුත් ඇය කිසිම විටෙක සිම්රන් සමග කතා බස් නොකලාය. ඇත්තෙන්ම මම පුදුම වීමි. කෙසේ නමුත් මා ඇගේ යෝජනාව ඉතා සතුටින් පිළිගත්තෙමි. ඇය ආභාදිත ළමුන් සිටින පාසලක ගුරුවරියක් ලෙස මාසකිහිපයක් කටයුතු කර තිබිණි.  මා ඇගෙන් ගොළු බස උගත්තෙමි. ඉතා ඉක්මනින් අත්‍යවශ්‍යදෙවල් මතක තබාගත්තෙමි. දෙසතියකින් පමණ මම ගොළු බස හැසිරවීමෙහි තරමක් දක්ෂ වීමි. සිම්රන් ඒ ගැන ඉතා සතුටට පත්ව සිටියාය. මම ඇය සමග සිත් සේ කතා බහ 
කලෙමි.

නමුත් අනතුරුදායක වන කිසිවක් ඇගෙන් නොවිමසා සිටීමට වග බලා ගත්තෙමි. හුදෙක්ම මාගේ මානසික සන්තුෂ්ටිය උදෙසා එසේ කලෙමි. ඇය මගේ සොයුරියක් බව හැඟෙන තරමට ඇය මා වෙත සමීප වුවාය. මගේ සිතේ ඇති පීඩනය වටහා ගත්තාය.


දිනක් ඇය ඇගේ ජීවිත කතාව මට කියන්නට සැරසුනාය. මම ඇයව නවතාලුයෙමි. එය මට නොවැදගත් දෙයක් බවත් ඉන් යහපතක් නොවන බවත් මගේ සිත මට දැනුම් දුනි. මගේ සිත මා ඉතාම බියසුලු තැනැත්තියක බවට පත් කර හමාරය.

ඇගේ කතාව දැන ගැනීමෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවන බව ඇය මට පහදා දුන්නාය. එදා ඇය මට කියූ පරිදි ඇය උපත ලබා ඇත්තේ මෙහිය. උපතින්ම ඇය ගොළු දැරියක විය. ඇයත් මෙහි සිදු කල පර්යේෂණ වල එක ප්‍රතිපලයක් විය. ඇය බිහි කල වරදට ඇගේ මවගේ ජීවත් වීමේ අයිතිවාසිකම ඔවුන් විසින් උදුරාගෙන තිබිණි. ඔවුන් ඇගේ මව යොදාගෙන යම් රසායනිකයක් අත් හදා බලා ඇත. එහි ප්‍රතිපලයක් ලෙස  දරා සිටි කලලයට බලපෑමක් සිදු වී සිම්රන් ගොළු දැරියකව උපත ලබා ඇත.

එසේම ලී සියෝල් ඇගේ ලිපිනය ලබා දුන් මහාචාර්ය වරයාගේ සහායකයාට සිදු වූ දේ පිළිබඳවත් ඇය මා සමග පැවසුවාය. ලී සියෝල් කල වරදට දඬුවම වශයෙන් ඔහුට ලැබී තිබුනේද පිස්තෝල උන්ඩ දෙකක ත්‍යාගයකි. කණගාටුදායක කරුණ වන්නේ ඇයගේ සොයුරා ගින්නෙන් පිලිස්සී වේදනාවෙන් කෑ ගසන අයුරුත් සහායක තරුණයා වෙඩි තබා ඝාතනය කරන අයුරුත් ලී සියෝල්ට තම දෑසින් බලා සිටීමට සිදු වීමයි. සිදු වන කිසිවක් හෝ කිසිවෙක් විස්වාස කල හැකි තත්වයක මම නොසිටියෙමි. මා සමග මේ දේවල් පවසන්නේ මන්දැයි මම ඇගෙන් විමසා සිටියෙමි. ඇය සුසුමක් හෙලුවාය.

මීට වසර එක හමාරකට පමණ පෙර මෙහි නිපදවන ලද වෛරසයක් වැරදීමකින් වාතයට මුසු වී මෙම ගොඩනැගිල්ලේ අර්ධයක පමණ සිටි පිරිසක් මරණයට පත්ව ඇත. වෛරසය ශරීර ගත යයි සැක සහිත පිරිසද ඔවුන් විසින් විනාශ කර දමා ඇත. සිම්රන් සමග එකට හැදී වැදුණු ඇගේ යෙහෙලියද නිරපරාදේ විනාශ කර දමනු ලැබිණි. තම යෙහෙළිය රැක ගැනීමට සිම්රන්ට නොහැකි වීම පිලිබඳ ඇය අතිශයින් කනගාටුවට පත්ව සිටියාය. එය සිම්රන්ගේ වරදක් බව ඇය සිතයි. තම යෙහෙළිය බේරාගැනීමට හැකිව තිබු බව ඇය තරයේ විස්වාස කරයි.. රෝස්මේරි නම් සිම්රන්ගේ මිතුරිය ද රුවින් මා හා බොහෝසෙයින් සම බව ඇය පැවසුවාය.  කිසි දිනෙක මා විනාශ කිරීමට ඉඩ නොදෙන බවත් ඇය දෑසේ කඳුළු පුරවාගෙන පැවසුවාය.

මම කැළඹීමි. දැඩි ලෙස කැළඹීමි.  ඇය පැවසු සියලු විස්තර පැහැසර සමග පැවසුවෙමි. ඔහු කිසිත් නොකියා කර බා ගත්තා පමණි. මා වටහා ගත්තේ මා නොදන්නා කිසිවක් ඔහු දන්නා බවයි. නමුත් මා ඒ ගැන හාරා ඇවිස්සීමට නොගියෙමි. මට තවත් බොහෝ දේ සිම්රන්ගෙන් දැන ගැනීමට අවශ්‍ය විය. නමුත් මගේ සිතට තවත් සිතන්නට දෙයක් ඉතිරි කර ඇය නොපැමිනියාය. මගේ කුටියේ ඇති පුළුල් තිරයෙන් කොයි යම් මොහොතක බිහිසුණු දෙයක් දැකීමට සිදු වේදැයි චකිතයෙන්කල් ගෙව්වෙමි. නමුත් එවැන්නක් සිදු නොවිණි.
වසරක් හා දෙමසක් ගත වූවායින් අනතුරුව මටත් පැහසරටත් කැඳවීමක් ලැබිණි.  මේ කැඳවීම මගේ යටි සිත කොයි මොහොතක හෝ සිදු වන්නක් බව දැන උන් නමුත් මා ඊට සුදානම්ව නොසිටියෙමි.  නමුත් ඔවුන්ට යටත් වෙනවා හැරෙන්නට මට කිසිවක් කල නොහැකිය.

එතෙක් කල් අප වෙත ලබා දී තිබු නිල ඇඳුම් ඔවුන් විසින් ලබා ගනු ලැබිණි. සාමාන්‍ය ඇඳුම් ලබා දෙන ලදී. මා ඒවා සාමාන්‍ය ඇඳුම් ලෙස නම් කරන ලද්දේ වසරකුත් මාස දෙකක් තද දිගු කලිසමක් හා සිරුරට හේම වූ කමිසයක් දිනපතා හෑඳ සිටීමට පුරුදු වී සිටි මට සාමාන්‍ය ඇඳුම් අමතකව ගොස් තිබු බවිනි. ලා රතට හුරු අත් රහිත ගවුම්කින් මම සරසුනෙමි. පැහැසර සැහැල්ලු කමිසයක් සමග කළු පැහ දිගු කලිසමක් හැඳ සිටියේය.
හිතට කුමක්දෝ නිදහසක් දැනිණි. අපි මදක් සිනාසුනෙමු. ඊළඟ මොහොතේ කුමක් සිදු වුවත් ඒ මොහොත රස වින්දෙමු. මෙහි පැමිණීමෙන් අනතුරුව ප්‍රථම වතාවට හිරු එලියට නිරාවරණය වීමු.එනම් පිටතට පැමිණියෙමු. වෛද්‍ය ජෙසී අප සමග සිටියාය.

“ඔයාලට අලුත් තැනක ඉඳන් කරන්න අලුත් වැඩක් ලබෙනවා. දෙන්නගේ මුනු දැක්කම මට හිතා ගන්න පුළුවන් කැමැත්ත අකමැත්ත. ඒ වැඩේට සිම්රන් ඔයාලට උදව් කරයි. එයා ඔයාලත් එක්ක ඉඳී.”
වෛද්‍ය ජෙසී පවසනවාත් සමගම සිම්රන් පැමිණියාය. දෙවරක් නොසිතු මා පැන ඇය වැළඳ ගත්තෙමි. සිම්රන් දෙනෙත් විසල් කර සිනාසුනාය. ඇගේ රන් පැහැ කෙටි කොන්ඩය දෙපසට සලමින් සිනාසුනාය.


“හරි. මොනවහරි ප්‍රශ්න තියනවා නම් කියන්න හොඳද? ඔයාලට අපි පුංචි යාළුවෙක්ව බාර දෙනවා. මං හිතන්නේ ඔයාලට පුළුවන් වෙයි එයාට උදව් කරන්න.” අපි සිව් දෙනා තෘණ භුමියක් දිගේ ඇවිද ගියෙමු. මම දෙපයේ ලාගෙන සිටි පාවහන් ගලවා අතට ගත්තෙමි. මා දෙස බලා සිනාසුනු පැහැසරද මා අනුගමනය කළේය. ඔබ සිතාගත හැකිද එය කොතරම් වෙනස් අත්දැකීමක්ද කියා.                         

අපි ගොඩනැගිල්ලේ අනෙක් පසට ගමන් කළෙමු  එහි ළමා උද්‍යානයක් විය. ආබාධ සහිත කුඩා දරුවන් එහි විනෝද වෙමින් සිටියහ. ඇත්තටම එය දෑසට කඳුළු නංවන දසුනක් විය.

“පෙනව නේද අපි මෙයාලට උදව් කරනවා. අපිට කරන්න පුළුවන් උපරිමය මෙයාල වෙනුවෙන් කරනවා.” වෛද්‍ය ජෙසී කියවාගෙන යයි. මගේ සිත අවුල් සහගත විය. මේ දරුවන්ද සිම්රන් සේ මෙහි උපන් අයද? එය එසේ විය හැකි යයි මම උපකල්පනය කලෙමි. ඊලග නැවතුම වුයේ අපගේ අලුත් නවාතනයි. එය විශාල ගොඩනැගිල්ල ඇතුලත පිහිටි කුඩා නිවසක් විය. කාමර දෙකක් සාලය සහ කෑම කාමරයකින් එය සමන්විත විය. සිම්රන් තේ පිලියෙල කළාය.

සාලයේ සුව පහසු සෝපාවක හිද අපි තේ පානය කළෙමු. සුපුරුදු පරිදි වෛද්‍ය ජෙසී කතාව ඇරඹුවාය.

“ඔයාල දෙන්න මේක ගොඩක්ම හොඳට කරයි කියල මං බලාපොරොත්තු වෙනවා. සොවී එයාව ගෙන්න.”

වෛද්‍යවරියගේ සහායකයෙක් කුඩා පිරිමි දරුවෙකු රැගෙන ආවේය.වයස අවුරුදු හයක් පමණ වූ ඔහුඉතාම අහිංසක හුරුබුහුටි දරවෙකු විය. සිම්රන් ඔහුව ඇය අසලට කර ගත්තාය.

“මේ ඉන්නේ ජැක්. මෙයාගේ විස්තර සිම්රන් ළඟ තියනවා. එයා ඔයාලට දෙයි. ඒවා බලලා ඔයාල මෙයාගේ තත්වය තේරුම් ගන්න ඕනේ. ඔයාලට පුළුවන් දෙයක් කරන්න මෙයා වෙනුවෙන්.”

වෛද්‍යවරිය පිට වුවාය. සිම්රන් ජැක්ව ඔහුගේ යහළුවන් වෙත යැවුවාය. සිම්රන් මා සඳහා පිළියෙළ කර තිබු කාමරය වෙත මා රැගෙන ගියාය. එය ඇත්තෙන්ම සුන්දර විය. අල්මාරියක් කන්නාඩි මේසයක් විශාල ප්‍රමානයේ ලී ඇඳක් කුඩා මේසයක් සහ පුටුවක් එහි විය.

අපි ටිකින් ටික ඒ ජීවිතයට හුරු වීමු. ජැක් සම්බන්දව මමත් පහසරත් පුර්ණ අද්‍යයනයක් කළෙමු. ඔහු ස්නායු දුර්වලතාවයකින් පෙළෙමින් සිටියේය.වැඩි වෙලාවක් මහන්සි වීමට ඔහුට හැකියාවක් නැත. ප්‍රතිජීවක ලබා දුන්නත් එය අසාර්ථක වී ඇත. ඔහුරේ සෞඛ්‍යය තත්වය දිනපතා පරීක්ෂා කෙරිණි. ඔහු මා සමග බොහෝ ලෙන්ගතු විය. අපි සෙල්ලම් කළෙමු. ගී ගයුවෙමු. චිත්‍රපට නමු. පැහසරත් මමත් ඔහුත් කුඩා දරුවන් සේ සල්ලම් කළෙමු. ඉතාම විනෝදජනක විය.

දිනපතා ඔහුට එන්නත් ලබා දීම සිදු කෙරිණි. ඇත්තෙන්ම එය ඔහුට ඉමහත් වදයක්ව තිබිණි.නමුත් ඒ හැර වෙනත් ප්‍රතිකාරයක් නොතිබිණි. ඔහු ඉක්මනින් තව තවත් දුර්වල විය.

“මං මැරෙන්නද යන්නේ?” දිනක් මා ඔහුට එන්නත් ලබා දීමේදී ඔහු මගෙන් විමසුවේය. බලාපොරොත්තු මිනිසුන් ජීවත් කරවන බව මා දැන උන්නෙමි.

“නෑ..... එහෙම වෙන්නේ නෑ. තව ටික දවසකින් ඔයාව හොඳටම සනීප වෙනවා. එතකොට මේවා කරන්න ඕනේ වෙන්නේ නෑ.” වෙනත් ඔහුට කියන්නට කිසිවක් මට නැත. ඔහු පැවසුයේ සත්‍යයකි. ඔහුට තවත් වැඩි කලක් නැත. අපට හැකි පරිදි ඔහුට කවාපොවා ඔහුව රැක බලා ගත්තෙමු. 


සිම්රන් හා මම නිතරම කතා බස් කළෙමු. ඇය මටත් පැහසරටත් බොහෝ දේ උගන්වුවය. යෝගව්‍යායාම් හා සටන් කලාව ඒ අතරින් ප්‍රධාන විය. ඇය බොහෝ උනන්දුවෙන් අපට ඉගැන්වුවාය. මා කිසිම දිනෙක හදාරා නොතිබුනත් ටිකින් ටික එයට මගේ සිතේ ඇල්මක් ඇති වන්නට විය. පැහසරට සාපේක්ෂව මම ඉදිරියෙන් සිටියෙමි.  වේදනාත්මක පහර කෑම  තුවාල වීම් සිදු විය. නමුත් ඒවා පසෙකලා අපි පුහුණු වූයෙමු.

අපි දෙදෙනා මගේ කාමරයේ ඇඳ මත මුහුණට මුහුණලා හිඳගෙන බොහෝ වෙලා කතා කළෙමු. මේ වන විට මා දැන සිටි එක දෙයක් නම් සිම්රන් ඉතා ඍජු තැනැත්තියක බවයි. අලුත් නවාතැනට පැමිණ දෙමසක් පමණ  ගත වී එක දවසක ඇය නැවතත් මා නොදන්නා දේ පැවසීමට පටන් ගත්තාය.

“ඔයා එක්ක තව ගොඩක් දෙනෙක් මෙහෙ ආව. එයාල සමහර අය මේ වෙනකොට ජීවතුන් අතර නෑ. සමහරු ඔයා ඉන්න තත්වයේ ඉන්නවා. තවත් අය අසාර්ථක වෙලා ඉන්නවා. ඔයාල දැන් මේ විදියට හිටියා ඇති. එයාල එහෙම හිතනවා. ඔයාගේ හැම දේම මම භාර ගත්තේ හේතුවක් ඇතුව. මොන වගේ දෙයක් සිද්ද වුනත් මම ඔයාව ආරක්ෂා කරන්න පොරොන්දු වෙනවා. මේක මගේ පලවෙනි වතාව.”

මම ඔහේ අසා සිටියෙමි. ඇය සුසුමක් හෙලයි.

“මේක මගේ පලවෙනි වතාව. මට තේරෙන් නෑ ඔයාට කොහොමද තේරුම් කරන්නේ කියල. එත් මන් පොරොන්දු වෙනවා මේකෙන් පස්සේ ඔයා මෙහෙන් යනවා කියල. මට කනගාටුයි කලින් ඔයාව ගෙනියන්න බැරි එකට.මේක තමයි මට  කරන්න පුළුවන් උපරිමය. ඔයා ආසියාවේ කෙල්ලෙක්. මේක ඔයාට අමාරුයි. එත් ඔයා හිත හදාගන්න. කලබල කරන්න එපා.හෙට මගේ තාත්ත එනවා ඔයාලව මුණ ගැහෙන්න. එයා මොන වගේ දේවල් කිව්වත් ඉවසගෙන ඉන්න. “

ඇගේ පියා කව්ද? ඇය ඒ පිලිබඳ මට පවසා නැත.

“ඔයාගේ තාත්ත කව්ද සිම්රන්? මන් දැන් නෑනේ එයා කව්ද කියල. ඇයි එයා අපිව හම්බවෙන්න එන්නේ?මොකද්ද කාරණේ?”

“එක ඔයා හෙට දැනගන්න. මගේ තාත්ත ඔයාව මෙහෙ ගෙනාව ජේම්ස් කොෆිල්ඩ්. මම එයාගේ පලවෙනි දරුවා. එයා පිටට පෙන කෙනා නෙවෙයි. ඔයාට මට දැනට කියන්න පුළුවන් මෙච්චරයි.”

පසු දින සිම්රන් පැවසු ලෙසම සර් ජේම්ස් අප හමු වීමට පැමිණියේය. අවසාන වතාවට ඔහු දුටු මොහොත මට සිහි විය. ලංකාවේ ගත කල සුන්දර කාලය මට සිහි විය.

“කොහොමද ළමයි?” හුරු පරුදු ඔහුගේ කටහඬ අවදි වේ.

“මට ගොඩක් කනගාටුයි පහු ගිය කාලේ ඔයාලව මුණ ගැහෙන්න බැරි වුනාට. එත් ඔයාල ගොඩක් හොඳට ඉඳල තියෙනවා කියල පේනවා. හරි මම ආවේ ඔයාලට වැඩක් පවරන්න. ඇත්තටම මේකෙන් පස්සේ ඔයාල නිදහස්.” ඔහු හුන් තැනින් නැගිට සිටියේය.
 
                                                  විරාමයක්...

පස් වෙනිසටහන පොඩ්ඩක් පරක්කු වුනා. එකට සමාවෙන්න යාලුවනේ. පෙර කොටස් කියවන්න බැරි වුනු අයට උඩ ලින්ක් එකෙන් යන්න පුළුවන්. පුරුදු විදියටම ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා. කතාව කියවන හැමෝටම ස්තුතියි. 

2 comments:

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...