Friday, September 29, 2017

දුර්ග චාරිකා... (ඇගේ සය වන සටහන)


පහුගිය කොටස් වලට 
දුර්ග චාරිකා... (ඇගේ පස් වන සටහන)

දුර්ග චාරිකා... (ඇගේ සිව් වන සටහන)

“හැම මනුස්සයෙක්ගේම පැති දෙකක් තියෙනවා. පුංචි කාලේ ඉඳන් තමන් ජීවත් වෙන වටාපිටාවත් එක්ක තමන්ගේ එක පැත්තක් වර්ධනය වෙනවා. හැඩ ගැහෙනවා. මට ඕනේ ඒ විදියට එක පැත්තක් වර්ධනය වුනු අය නෙවෙයි. මේ දැන් ඉන්න ඔයාල වගේ අය. දැන් ඔයාල මෙහෙට ආව දවසේ හිටපු අය නෙවෙයි. එක ඔයාලට පිළිගන්න සිද්ද වෙනවා. එහෙම නේද? ඔයාල සම්පුර්ණයෙන්ම වෙනස්. හැබැයි ඒ වෙනසට මම ගොඩක් කැමතියි. එක තමයි අවශ්‍ය. ම්ම්... ඔයාල ආවේ කොහෙන්ද? මට මතක නෑ. සිම්රන්?”සර් ජේම්ස් සිම්රන් වෙත හැරුනේය.

ඔහුට පසෙකින් සිටගෙන සිටි සිම්රන් තම අතින් කිසිවක් සන් කළේය.


“ආ... හරි ශ්‍රී ලන්කන්. දන්නවද? මේකෙන් පස්සේ ඔයාලට ආයෙත් එහෙ යන්න පුළුවන්. මන් දන්නවා එකට ඔයාල ගොඩක් කැමතී කියල. ඔයාලට කරන්න තියෙන්නේ පුංචි දෙයක්. දැන් ඔයාල ඒකට සුදානම් වෙන්න ඕනේ. තව ටික දවසකින් ඔයාලට ඒක දැනගන්න ලැබෙයි. ඉන් පස්සේ අපිට දැනගන්න පුළුවන් ඔයාල ආපහු යන්න සුදුසුද නැද්ද කියල.”

මේ අතරතුර ජැක් තම අවසන් හුස්ම සමග පොර බදමින් සිටියේය. ඔහු දින දෙකක් පමණ ඉතාම අපහසු කාලයක් ගෙව්වේය. ඔහුගේ සියලුම ප්‍රතිකාර නවතා දැමිණි. මමත් පැහසරත් සිම්රන් සමග ඔහු ගේ ඇඳ අසලම සිටියෙමු. ඔහු සමග කතා කළෙමු.


“මට මැරුණම අම්මව බලන්න පුලුවන්ද?” ඔහු විමසයි.

“ඔව් ජැක් ඔයාට අම්මව බලන්න පුළුවන්. ඔයාට එයා එක්ක ඉන්න පුළුවන්. සෙල්ලම් කරන්න පුලවන්.එයා ලස්සනම ලස්සන සුරංගනාවියක් වෙලා ඔයා එනකල් බලාගෙන ඉන්නවා.” 

ඔහුගේ දෑත අල්ලාගෙන අපි කියවීමු. ඔහු සිනාසෙයි. තවත් දිනකින් ඔහුට කතා කීරීමටද නොහැකි විය. අවාසනාවන්ත දරුවා වේදනාවෙන් මිරිකී සිටියේය.

සිම්රන් ඔහු දෙස බලා සටියේ කිසිඳු හැඟීමකින් තොරවය. ඇයට එය අරුමයක් නොවුනි. අපි දිවා රෑ නොබලා ඔහු අසලින්ම සිටියෙමු. අවසානයේ එය බලා සිටීමට නොහැකි දසුනක් විය. ඔහු ජීවත්ව සිටියදී ඔහුගේ සිරුර සමහර අවයව මිය ගියේය.

“සිම්රන් ජැක්ට මොනා හරි කරන්න. මේක මට තවත් බලන් ඉන්න බෑ.” මම පැවසීමි.

“ඉතින් කරන්න. එයාව බාර දුන්නේ ඔයාලටනේ.”

“එහෙම නෙවෙයි. එයාට උදව් කරන්න. ඇත්තටම ඒකෙන් නිදහස් කරන්න.”

සිම්රන් මගේ අතින් ඇදගෙන යයි. විද්‍යාගාරයක් වෙත මා රැගෙන ගිය ඇය එක රාක්කයක් අසල නතර වෙයි.

“කැමති එකක් තෝරාගන්න. මේ හැම එකකින්ම වෙන්නේ එකම දේ. තෝරාගෙන එයාට උදව් කරන්න.” 

මගේ අතට කුඩා කුප්පියක් හා සිරින්ජයක් ලබා දෙමින් ඇය පවසයි. මම පපුපසට ගියෙමි. මගේ සිත මා නවතාලයි.

“ඒක කරන්න. ඒ ලමයව නිදහස් කරන්න.”

මම සිරින්ජයට එම මරණීය විෂ සහිත ද්‍රව්‍යය එක් කලෙමි.  නමුත් ඒ සමගම සිම්රන් එය මගෙන් උදුරා ගත්තාය.  

 “ඔයාට මේක ඕනේ වුන ගමන් මට කියන්න.”

සිම්රන් එය ඇය ළඟ තාබා ගත්තාය. මම නැවතත් ජැක් වෙත ගියෙමි. ඔහු කුමක්දෝ මුමුණයි.

“අනේ මට යන්න දෙන්න. අනේ මට යන්න දෙන්න.” ඔහු මුමුණයි. පැහැසර ඔහේ බලා සිටී. කිසිවක් නොකියයි. මද වෙලාවකින් ඔහු මා වෙත පැමිණ මගේ උරහිසට අත තබා මා දිරිමත් කරන්නට මෙන් තට්ටුකර පසුපසට ගියේය. මම සිම්රන් වෙත ගියෙමි.

“සිම්රන්...” ඇය මගේ සිත කියෙව්වාය. එය මගේ අතට ලැබිණි. මා හැකි ඉක්මනින් ජැක් වෙත නැවතත් ගියෙමි. මන්ද මගේ සිත වෙනස් වේ යයි බිය වූයෙමි. මම ජැක් වෙත සමීප වීමි. ඔහුගේ දෑත තරයේ අල්ලාගෙන මද වෙලාවක් සිටියෙමි.

මගේ අතේ තිබු සිරින්ජයේ තිබු මරණීය විස ක්‍රමයෙන් ඔහුගේ දකුණතේ නහරයක් හරහා සිරුරට ඇතුළු විය. හර්දයේ කපාටයක සිදු වූ අවහිර වීමකින් ඔහු ක්ෂණයකින් මිය ගියේය. මා මේ සිදු කලේ කුමක්ද? මම බිම හිඳ ගත්තෙමි. දැතින් මගේ හිස බදා ගත්තෙමි. සිම්රන් මා වෙත පැමිණ මා වැළඳ ගත්තාය. මගේ ජීවිතයේ ප්‍රථම වතාවට කෙනෙකුගේ දිවි තොර කලෙමි.

එම සිදුවීම මා එහන් පිටින්ම කටපිට හැරවීය.  දින කිහිපයක් මම අධික කම්පනයක් දරා සිටියෙමි. ඉන් සති දෙකකට පමණ පසුව මමත් පැහැසරත් සිමරන් සමග යම් ස්ථානයකට යා යුතු විය. ඒ කොහිදැයි අපි දැන නොසිටියෙමු.  ගමනට සුදානම් වී ට්‍රක් රථය වෙත ගමන් කරන අතරතුර මහාචාර්ය ජේම්ස් අප හමුවට පැමිණියේය.

“කරුණාකරලා ආපහු එන්න.” ඔහු පැවසුවේ එපමණකි. ඇත්තෙන්ම ඒ මොහොතේ මමත් පැහසරත් එය වටහා නොගත්තෙමු.  ආරක්ෂකයින් සිව් දෙනෙකුත් අප තිදෙනාත් රියදුරාත් ට්‍රක් රථයේ විය. සිම්රන් මගේ අත අල්ලාගත්තාය.

“පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මම  හැම වෙලේම ඔයාල ළඟ ඉන්නවා. මට කරන්න පුළුවන් දේවල් සීමිතයි. එත් ඔයාලට කරදරයක් වෙන්න මං ඉඩ තියන් නෑ.” ඇය දෑතින් එලෙස පැවසුවාය. මමත් පැහසරත් තුෂ්නිම්භූතව සිටියෙමු. අනතුරුව නොසිතු ලෙස අපේ දෑත් සහ දෙනෙත් බැඳ දමනු ලැබිණි. මගේ සිත දහසක් දේ කියයි. ඊලග මොහොතේ කුමක් සිදු වෙයි සිහාගත නොහැකිය.

මගේ මිතුරිය සිම්රන් මට දැක ගත නොහැකිය. එනිසා මට ඇයව අසිය නොහැකිය. කොයි මොහොතක හෝ මරණයට මුහුණ දීමට සිදු වේ යයි මගේ සිත මට කියයි. රිය නතර විය. එසේම අපේ බැමිද ලෙහිනි. රියෙන් බැසීමට පෙට සිම්රන් සන් කලේ දැඩි අවදානයෙන් පසු වන ලෙසයි. එලෙසම අපි ඉතා ලංව ගමන් කල යුතු විය. එය ඉතාම පැරණි ගොඩනැගිල්ලකි. අපි එහි දොරටුව වෙත ලඟා ඊමු.

මටත් පහසරටත් ගිනි අවි දෙකක් ලැබිණි.

“ඇතුලට යන්න. තමන්ගේ ආරක්ෂාව තමන් සපයාගන්න. කෙලින්ම ප්‍රධාන දොරෙන් යන්න. දකුණු පැත්තේ පඩි පේලියෙන් උඩට යන්න. තුන් වෙනි තට්ටුවේ අංක 4 කාමරේ කොළ පාට කබඩ් එකක් තියෙනවා. එකේ තියෙන තමන්ගේ රටේ නම තියෙන රෝස පාට ෆයිල් එක අරගෙන එන්න. ඔයාලට විනාඩි පහලවක් තියෙනවා. ඒ වෙලාව ඇතුලත ආවේ නැතොත් කනගාටුයි. මෙතන ආරක්ෂාව තදයි. වැඩි වෙලාවක් ඉන්න බෑ. අපි බලාගෙන ඉන්නේ නෑ.” එක ආරක්ෂකයෙක් එසේ පැවසීය.

සිම්රන් පැමිණ මා වැළඳ ගත්තාය. අහේතුකව ඇගේ දෑසට කඳුළු නැංවිණි. මමත් පැහසරත් පිටත් වීමු. 

                                         විරාමයක්... අවසාන කොටසින් හමුවෙමු.

2 comments:

  1. වෙනස්ම කතාවක්....දිගටම ලියන්න...

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...