Saturday, December 29, 2012

අසව්! අසව්! මේ හිතන්න කාලයයි.


කොහොමද යාලුවනේ? දන්නෙම නැතුව 2012 අවුරුද්දත් ඉවර වුණා. ඒ වුනාට මගෙ මැටි වැඩ වල නම් අඩුවක් නෑ. මේ ලෝකේ සිහියක් නෑ. ගෙදර ආව සති දෙකකට. නිදහසේ ඔයාලවත් කියවල ඔයාලටත් කියවන්න දෙයක් බ්ලොග් එකට දානවා කියල හිතාගෙන. කොහෙද ඉතින් මගෙ ආදරණීය ඩොන්ගල් රාජය හොස්ටල් එකේ දාල ඇවිත්නේ. ඒ හින්දම ලොකු ලොකු අකරතැබ්බ දෙක තුනක්ම වුණා. ඔන්න ඉතින් කට්ටිය තරහ වෙන්න එපා හොඳේ. 

බොහොම අමාරුවෙන් තමයි මේ පොස්ට් දාන්නෙ. සෑහෙන දාඩිය මහන්සියෙන් ලැප් එකයි ෆෝන් එකයි කෙරේ තියාගෙන සෙක්කුව වගේ ගේ පුරා කැරකිලා එහෙම. අනේ ඉතින් කාට කියන්නද මේ අවනඩු? 

කොහොමද පහුගිය අවුරුද්ද?

Saturday, December 22, 2012

ආදරණීය නපුරි වෙත.......


ආදරණීය නපුරි වෙත,
                              කියවන උන් හිතාවි මධුට පිස්සු හැදීගෙන එනවාය කියල. උඹ ගැන දන්නා උන් හිතාවි මම ආදරණීය කියන ලස්සන වචනෙ තේරුම දන්නේ නැතුව ඇති කියල. ආමන්ත්‍රණයේ පළමු වචන උඹේ නපුරු මුහුණට සවුත්තු හිනාවකුත් එකතු කරාවි.

                              නෑ. උඹල සේරම වැරදී. මං ඒ ලස්සන වචනෙ තේරුම හොඳාකාරවම දන්නව. මං උඹ වෙනුවෙන් ඒ වචනෙ පාවිච්චි කරපු එක ගැන සතුටු වෙයන්.

Monday, November 26, 2012

සතුටින්ද ඔබ යන්නෙ ජීවිතය කර නිමා..........




කළු වලාකුල් පිරී අහස් කුස බර වෙලා
දෙනෙත කඳුළැලි පිරී සොවින් හද තෙත් වෙලා
වේදනාබර ඔබේ නෙත් පියන් කැළඹිලා
ළඟින් උන්නත් කවුරු ඔබේ ලොව තනි වෙලා

Monday, November 19, 2012

මගෙ පළවෙනි හොර අත්සන........


ගොඩක් දවසකින් මොනවත් කුරුටුගාන්න බැරි වුනානේ. ඔන්න ඉතින් අද මට පරණ සිද්දියක් මතක් වුණා. මේකත් අර අයියෝ මගෙ පේපර් එක (බැලුවෙ නැත්තම් බලන්නකෝ) වගේ මගෙ මැටි වැඩක් තමයි. 

හත වසරෙදි අපේ පන්ති බාර හිටියෙ හරිම සිරියාවන්ත හොඳම හොඳ ටීචර් කෙනෙක්. මං ගොඩක්ම කැමති චරිතයක්. මාසයක් දෙකක් උගන්නල ටීචට ගෙදර නවතින්න වුණා ටික කාලෙකට.ටික කාලෙකට කීවට ඉතින් අයෙ එයා ඒ අවුරුද්දේ නම් ඉස්කෝලෙ ආවේම නෑ.

Sunday, November 4, 2012

මේකයි කාරනාව... පිළිතුරක් බලාපොරොත්තුවෙන්


මේ දවස් වල මගේ යාලුවෙක් මූණ හතරැස් කෙරගෙන ඉන්නවා කොච්චරවත්. මේ දවස වල කීවට දැන් සති තුනක විතර වෙලේ ඉඳං. ඇහුවට හරියට මොනවත් කියන්නෙත් නෑ. පස්සෙ අපි ඉතින් පොඩ්ඩක් අහ ගහගෙන උන්න මොකද මේකට හේතුව කියල හොයාගන්න. 

Friday, November 2, 2012

එයද මගේ වරද......?



මා ඔබ හඳුනා ගත්තෙමි.
නමුදු මම ඔබේ සිත හඳුනා නොගත්තෙමි.
එයද මා කළ වරද?
ඔබද මා සිත හඳුනා නොගත්තේය.
මම ඔබට ඇලුම් කලෙමි බෙහෙවින්.

Friday, October 26, 2012

සමාලෝචනයක්......



“මොකද්ද බං ඒ? මට නම් මෙලෝ මල ඉලවුවක් තේරුනේ නෑ. ඕකෙන් මොකෙක්හරි අවස්ථා සම්බන්දෙ ගැන ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම කොරම තමා.”

Tuesday, October 16, 2012

තවත් එක් ශෝකාන්තයක්


මිනිස්සුන්ගේ ජීවත මහා පුදුමාකාරයි. කොයි වෙලාවේ මොනවා වෙයිද කියල හිතාගන්නවත් බෑ. මේක කියවලම බලන්නකෝ. මේකෙත් නම් ගම් මනඃකල්පිතයි. හැබැයි ඇත්ත කතාවක්.
සුජාතා තමයි මේ කතාවේ කතා නායිකාව මං හිතන්නේ. මං හරිද කියල ඔයාල තීරණය කරන්න. සුජාතා බැන්දේ ලයනල්. දෙන්න සතුටින් ජීවත් වුනා. කල් යද්දී එයාලට දරුවෝ ලැබුන. වැඩිමල් පුතා නිසල්. මද්දුම දුව සුරංගි. බඩ පිස්සි නිරෝෂිනී.  ඒ කැදැල්ලේ සතුට වැඩිකල් රැදුනේ නෑ.

Thursday, October 11, 2012

පෙම් හබේ ඉවර වුණේ මෙහෙමයි.


පෙම්වතා

ආදරයේ බලය සුලු කොට තකනු එපා
ලෝභ කමින් දිවියෙන් පලි දරනු එපා
සුර සැප වලට මග වරදා ගනුද එපා
දුර නොසිතා ගිනි ගොඩකට වැටෙනු එපා

Monday, October 8, 2012

පෙම් හබයක් තියෙනව විසඳා ගන්න.....


පෙම්වතුනට ඇත මහ තොගයක් ප්‍රශ්න
හදවත් දෙකක් එකිනෙක පැටලී මෙන්න
ඩිංගක් එන්න මිතුරේ මේ බලනු මැන
පෙම් හබයක් තියෙනව විසඳා ගන්න


පෙම්වතා  

හී සැරයක් වෙලා මා පසුපස ආවා
හදවත වටැති මහ පවුරත් බිඳලූවා
උණු වී වැගිර ගිය සෙනෙහස ඔබ නෑවා
මගේ හද සුනු විසුනු කර දා පැන දිවුවා

Friday, October 5, 2012

මිහිරි සත්සර අවසාන කොටස.


“ලොකු පුතාට නං හොඳා. පුතා දන්නවද.... අර සුදු පුතාලගේ කලායතනෙට ආවෙ කෝකිලා කියල ගෑනු දරුවෙක්.” අත්තම්ම තමා අත්තම්ම. ඇඟට පතට නොදැනී කියන ලස්සන. රාජ ලීලාවෙන් හාන්සි පුටුවෙ ඉඳං උන්නු ලොකු හාමු පුටුවෙන් නැගිට්ටුනේ ඉබේම. මහා කුමාරිහාමිගේ මුණ කොරහක්‌ විතර. වතුර එක බිබී උන්නු ලොක්කට ඉස්පොල්ලෙත් ගියා. සුපුරුදු උදාන වාක්‍යය කන දෙක පිරෙන්න අහගත්තා.
“සුදු පුතේ, අපි දෙන්නට කරන්ට ලොකු ගනුදෙනුවක් තියනව. ඔයා අද යන ගමන් මාව ටවුමෙන් බස්සන්ට.” මං බයන්ට හදද්දිම අත්තම්ම ජේත්තුවට ඇඳගෙන දුවගෙන ඇවිත් බයිසිකලේට නැග්ග. අද පෙන්ෂන් දවසත් නෙමේ. මේ කොහෙ යන්නද කියල කියල මට අහන්න විදියක් තිබුණ නෑ. මොකද කාල බෝම්බයක් අත ළඟ. 

Wednesday, October 3, 2012

මිහිරි සත්සර දෙවැනි කොටස


“සුදු අයියේ......”
“මොකද කොල්ලෝ බෙරිහන් දෙන්නෙ? මං ලොක්කගේ කාමරේ.”
“ඉක්මනට එන්ඩෝ.... ලොකු බේබි නැටුං තෙල් ගහන් ඇවිත්.” මොකක්. මොන ගිනි ගෙඩියක්ද මේ. මූ කවදාවත් බීල ඇති එකෙක්යැ. 

Saturday, September 29, 2012

මිහිරි සත්සර


“පුංචි කුමාරිහාමි... මං ගියා. මහා කුමාරිහාමිට රපොර්තු කොරන්ට.”
“කොහෙ ගියා කියලද මං අම්මට කියන්නෙ.?” අනේ අම්මපල්ල. උදේ පාන්දර පොඩ්ඩක් හිනා වෙලා ඉන්නවත් මෙකි දන නෑනෙ. මුණ පුම්බන් ඉන්නේ හරියට මාත් මේ ඉලවුවෙ වැඩ කරන දර දිය අදින එකෙක් ගානට දාල.
“යාලු වෙලා ඉන්න කෙල්ලව කැන්දන් එන්න ගියා කියන්ට.”

Tuesday, September 25, 2012

හමා සහ හමී...

හමා..
හමී...
හමා..
හමී...



නවත්තගනිල්ල උඹලගේ ඔය අඬෝවැඩියාව. උඹලට අලි විසේද?
ඕක බොහොම සුලබ දෙබසක්. ඔහොම කෑ ගහගන්නේ අයියයි නංගියි. දෙන්නගෙ වයස් පරතරය අවුරුද්දයි. දෙන්නටම තියෙන්නේ පුදුම විසයක්‌. නිතරම වලි වුනාට දෙන්න හරි එකතුයි. අයිය නගෝ හරි ආදරෙයි. ආ... ඔය සැර දාන්නෙ එයාලගේ අම්ම. දැන් ඉතින් ඔය අයියල නංගිලා හමා හමී කියාගන්නවා එහෙම නෙමෙයි ඕං.
අයියට ඕනේ වුනා පොල් කොට කරත්තයක් හදන්න. කරත්තෙට ඕනේ කරන බඩුත් ටික ටික එකතු කළා. ඕක තල්ලු කරන්න කරුවක් තියන ලීයකුත් එපායැ. මෙයා ඉතිං දහ අතේ කල්පනා කළා මොකද්ද මේකට ගන්නේ කියල. ගේ ඉස්සරහ තිබුණ කපපු කජු ගහක්. ඒකෙ තිබුණ වැඩේට ගැලපෙන කරුවක්.කුස්සියේ තිබුණ මන්න පිහියත් අරන් අයිය ගියා කපන්න ඕනෙ කජු අත්ත ලඟට.

Thursday, September 20, 2012

මට නුඹ විතරක් වුනාට.....


 
මට නුඹ විතරක් වුනාට
නුඹට ඉන්නේ මං විතරද?

මේ වචන ටික ඇතුලේ කොයි තරම් ලොකු තේරුමක් තියෙනවද? මං දැක්ක සොහොන කොතක මේ විදියට ලියල තියෙනවා.
නිසල ගං දිය පටන් ගත්ත දවස් වල ජීවිතය කියල ලේබල් කරලා මං ලිවුව පලවෙනි ලිපිය මේක කියවන්න කලින් බලන්නකෝ. මොකද මේ ලිපිය ඒකට ගොඩක් සම්බන්දයි.
                                                      මෙතනින්.....
තරුණ ජීවිතයක් නැති වුණා. වාසනා රට යන්න කලින් ටිකක් දුරක යාලුවෙකුගේ ගෙදර නැවතිලා හිටියා. මැරුණු තරුණයාගේ අයිය, මං කියන්නම් සනා කියල. මල්ලි නැති උනාට ගොඩක් වේදනාවෙන් හිටියේ. දවසක් රෑ හොඳටම බීල තව එයාගේ යාලුවෙකුත් එක්ක බයික් එකක වාසනා හොයාගෙන ගියා. සෑහෙන අබලන් බයික් එකක්. හිතේ තිබුන ආවේගය, කචල් පැන්ටා වල බලය මෙයාලව සෑහෙන ස්පීඩ් කළා. මේ අතරේ පොලිසියත් එයාලගේ රාජකාරිය අකුරටම ඉෂ්ට කළා. සනාට නවතින්න සිද්ද වුණා.

Monday, September 17, 2012

අයියෝ, මගෙ පේපර් එක........



“චූටි හාමිනේ. කොහොමද අද පේපර් එක?” ඉස්කෝලේ වාර විභාග ප්‍රශ්න පත්තර වලට උත්තර ලියල ඇවිත් ගෙට ගොඩ වෙද්දීම ගෙදර ප්‍රශ්න පත්තරේ තමයි. ඔන්න අපේ අම්ම අහනවා. 

“අද නම් මරු අම්මේ පාඩම් කරපු සේරම ආව. හෙන ලේසියි. කිරි කජු.” මගේ මුණ මලක් වගේ. ෆයිල් ඒක මෙසේ උඩට විසි කරන ගමන් මං කිවුවා. මුළු පේපර් එකම අම්මගේ කනේ තිබ්බ. හරියට එයා ලිවුවා වගේ මගේ විස්තරේ ඇහුවම එයාට උත්තර දුන්නැකි. මං ඉතින් එහෙමම තමයි. ඔයාල දන් නෑ. මං මොට්ටසොරි යන කාලේ මං කවි පාඩම් කරන්නේ අම්ම පාඩම් කලොත් විතරලු. ඒ හන්ද එයාටත් මං පාඩම් කරන ඒවා හොඳට මතකයිලු. 

Friday, September 14, 2012

අබරන් රොසලින් ආදර අන්දරය....3


“කොහෙද ගියේ? වීඩියෝ එක නම් පට්ට පට පට බං. ෆොටෝ ටික. ඇස්වහක් කටවහක් නෑ. හරියට කාජල් වගේ. පොඩ්ඩක් හැරියන් බලන්න. උඹේ කොන්ඩේ එච්චර ලස්සනද බං. එච්චර දිගද?” මගුලක් කතා කරනවා.
“සර් මට ෂෝට් ලිව් එකක් ඕනෙ.” කකුල් දෙකට හයිය අරන් මං ගියා ඔෆිස් එකට. මෙහෙම ගියොත් මට යන්න වෙන්නේ ෂෝට් ලිව් නෙමේ ලෝන්ග් ලීව්. අහලක පහලක ලිඳක්වත් නෑනේ. මොකටද අහන්නෙපා. පනින්න.
“ආ.. දෙන්නම්. හැබැයි මට පොඩි උදවුවක් කරන්න ඕනෙ. ඔයා මේ ගෙනත් දීපු ෆොටෝස් ගත්ත කෙනාගේ එඩ්රස් එක හරි ෆෝන් නම්බර් එක හරි දීල යන්නකෝ. අද වැඩි වැඩකුත් නෑනේ. ඔයා යන්න.” මේ යකා කතා කරන්නේ ඇඟට පතට නොදනී. මගේ මේ කන දෙකෙන් කොහොම අහන් ඉන්නද? කොලයක් අරගෙන ලියල දීල මං ආව. දැන් හිතනවා ඇති මං කොහොමද ඕව දන්නෙ කියල.
දැන් ඉතින් කෝල් කරලා පල් වෙන නැතැයි. මගේ මොකෝ. මං නම ලියල ආවේ නෑනේ. මට කෝල් කලොත් ගන්නෙත් නෑ. මං මේ අනුන්ගේ පිටින් අරින්නේ මා එක්ක තියෙන තරහම නේද?

Thursday, September 13, 2012

මගේ ප්‍රණාමය


තුන් මාසයක් තිස්සේ ආ මේ                       ගමන
සොඳුරුය සැහැල්ලුය මසිතට සතුට              දෙන
ඔවදන සවිය නොඅඩුව දුන් සෑම                   දෙන
තුති මල් පුදමි ඔබ වෙත මගෙ මුළු                හදින

Tuesday, September 11, 2012

අබරන් රොසලින් ආදර අන්දරය......... 2 කොටස


මෙහෙ එන්න දවස දෙක තුනකට කලින් මං අපෙ අම්මට කීවා මමමේ මට චූටි අම්මලේ ගෙදර ගිහින් අඳින්න ලස්සන සයක් මහල ඕනේ කියල. එයා මගෙන් අහනවා ඇයි තියෙන ඒවා මදිද කියල. මං ඉතින් කීවා අම්මේ මේ කලිසම් කොට ගහන් ගියොත් එහෙම එහෙ කොල්ලෝ මට පස්ස පැත්තෙනුත් හිනා වෙයි කියල. ඒ පාර නිල් පාට මල් වැටුන රෙද්දකින් ලස්සන සායක් එයා මට මහල දුන්න. මං ඒකත් ඇඳගෙන ටී එකකුත් දාගත්ත.  
“මල්ලි සරුංගල් අරින්න යන්කො.” පව්, පොඩි එකා ගණන් ගොඩක් හිර වෙලා.
“හෙට මේ ටික හදන් යන්න ඕනේ බට්ටි අක්කේ.” මූ ඔලුව කහ කහ කිවුව විදියට දුකේ බෑ.
“හරි හරි මං හවසට ඔය ටික හදන්න ටිප් ටොප් ක්‍රමයක් කියල දෙන්නම්කො. මෙහෙම හිටියට ඔයාගෙ බට්ටි අක්ක හොඳ ගණන් කාරියක් හරිද.”
“අපෝ අපි දන්නවා බට්ටිච්චි.....” අපි දෙන්න සරුංගලේ අරන් වේලට දිවුව. දැන් මං ඇවිත් දවස් තුනක් විතරනේ. එදා සිද්දියෙන් පස්සේ ඇල පළාතේ ආවේ නෑ. මේ වගේ තැනකට ඇවිත් කොහොම ගෙට වෙලා ඉන්නද අනේ. අපොයි, මං එළියට බැහැල තියෙන්නේ රාහු කාලෙනේ. මේ ගොරකයටත් සරුංගල් අරින්න මතක් වෙන්නේ අපි එන වෙලාවටමනේ.
“ගගනයියේ..... ඔන්න අපිත් ආව. අපෝ ඔයාගෙ සරුංගලේ උඩ යන් නෑනෙ. මගේ එක ඔයිට වඩා යනවනේ. බට්ටි අක්කේ මේක අරිමුකෝ.”
කාට කියන්නද? මේ මෝඩ පැටියට මෙවුව තේරෙන එකක්යැ.

Friday, September 7, 2012

අබරන් රොසලින් ආදර අන්දරය......... 1 කොටස


අපෙ අක්කේ.... බට්ටිය එනවෝ....”
ඉසුරු මල්ලි කෑගැහුවේ හරියට ගමට සුනාමියක් එනව වගේ. අද ඉස්කෝලේ නිවාඩු දෙන දවසනේ. ඉතින් මෙයා ඉස්කෝලේ ඇරිලා ඇවිත් කලිසම් කොටේ පිටින් වෙලට පැනල සරුංගල් අරිනවා. ඒ අතරේදී තමයි කොල්ල මාව දැක්කේ. එහෙමම පැනල මූට ටොක්කක් අනින්නමයි මට හිතුනෙ.  
“පුළුවන් නම් මාව වට්ටනවකෝ. මේ සයිකල් කට්ටේ දාන් ගිහින්.” මං ආවේ දිල් අයියගේ සයිකල් කට්ටේ. දිල් අයිය කියන්නේ මගේ මස්සිනා. අම්මයි තාත්තයි මමයි අපෙ නෑයෝ බලන්න යන ගමන්. මං වැඩියෙන්ම ආස චූටි අම්මලේ දිහා ඉන්න. එහෙ මරු.
මෙයා බයිසිකලේ වලවල් වල දානවා ඉවරයක්‌ නෑ. පාරත් සුපිරි. එකයි අවුල. ඔයාල දන්නවද? බයිසිකලේ ඉඳං යන්නත් කලාවක් තියනවා. මං ඉතින් වැඩ දන්න හන්ද හොඳයි. මං මෙහෙ ආවේ මාස තුනකට පස්සේ. අපෙ චූටි අම්ම මාර හොඳයි. එයා හදන කෑම ඔක්කොටම වඩා හොඳයි.
“නෙලුමියෝ මං ආවෝ......” නෙලුම්, එයා තමයි මං මෙහෙ එන ප්‍රධානම ඉලක්කය. එයා නෙවි එකේ. හරි දක්ෂයි. දක්ෂම වෙඩික්කාරිත් වුනා. මේ දවස වල නිවාඩු. උණක් හදාගෙන. හැදිලද හදාගෙනද දන් නෑ. අහල බලමුකෝ. අපි දෙන්න සෙට් වුනොත් රටක වුනත් ඇල්ලුවැකි.

Monday, September 3, 2012

මලක මහිම.........




යනෙන මග ඇති    මලින් බර වුනු 
වතුසුදු ගසකි                           එය
              මල් වට්ටි සරසවන       සිතට සහනය ගෙනෙන                      කුසුම                                               වතුසුදුමය
බැතිමතුන්ගේ         සිත් සනසවන 
මේ කුසුම්                          පොදිය
              තුරුණු විය සැරිසරන            කෙලි රංචුවකගේ      
              ජීවිතය                                                 වැනිය          

Saturday, September 1, 2012

ගොඩේ ගාෆීල්ඩ් සහ මම.....

අයියෝ යාලු මගේ වෙලාව හරිම නරකයි. මේ පොස්ට් එක මගේ අතින් delete වුනානේ. ඔන්න අදහස් පල කරපු යාළුවො මා එක්ක තරහ වෙන්න නම් එපා හොඳේ. තවම නීච ග්‍රහයෝ අයින් වෙලා නෑනේ.


මේ දවස් වල මගේ ග්‍රහය නීච වෙලා. අන්තිම නරකයි. කරන කරන දේ යන්නේ නොපිටමයි. සෑහෙන්න අහගන්නවා. හරිම දුක්ඛදායකයි. මං මේ දහ අතේ කල්පනා කරන්නෙ මේ අසුභ කාලේ කවද ඉවර වෙයිද කියල. ඔයාලට කියවන්න කතාවක්වත් ලියන්න බැලුව. ඒකත් හරි ගියෙ නෑ. අම්මගෙන් නම් කෝටියක්‌ බැනුම් අහන්න ඇති. අනේ අම්මෝ.... 

ගොඩේ ගාෆීල්ඩ් තමයි මේ.....

එදා මට අපේ ගාෆීල්ඩ්ගේ ෆොටෝ දාන්න විදියක් තිබුණ නෑ යාලු. මේ ඉන්නේ එයා තමයි. මේවා ගන්න සෑහෙන මහන්සි වුනා හොඳේ.

Friday, August 24, 2012

අඳුරු වලාකුළු -2


“ඇයි රත්තරනේ ඔයා මට කියන්නෙත් නැතුව ගියේ?”
මේ විදියට පටන් ගත්ත රවිඳුගෙන් සඳලිට ප්‍රශ්න කෝටියක්‌ විතර හම්බුනා. එයාල පන්සල ඉස්සරහ තිබුන රෙස්ටෝරන්ට් එකකට ගියා.
“අපිට කෝපි ගේන්න.”සඳලි කීවේ බොහොම සැහැල්ලුවෙන්. කාලෙකට පස්සේ එයාගේ හිතට සැනසුමක් ලැබිල.
“ඔයාගේ හැම ප්‍රශ්නෙට උත්තර මං අද දෙන්නම් රවීඳු. මං ඔයාව හම්බ උනේ අවුරුදු හතරකට පස්සේ. අගේ අයියගේ හත දවසේ දානෙට කලින් දවසේ මට ලියුමක් ආව. ඒ මගේ පලවෙනි ගුරු පත් වීම. මං දැන් මගේ අයිය වගේම maths teacher කෙනෙක්. මට ඔයාලව දාල එන්න ලොකු හේතුවක් තිබුන.
ඔයාට මතකද දවසක් මට අයියගේ ඩොක්ට කෝල් කළා. එයා මට කීව අයියගේ වෛද්‍ය වාර්තාව දෙන්න එන්න කියල. මං ගියා. ඒ වෙලාවේ මං ගොඩක් දේවල් දැනගත්ත. මගේ අයියට තිබුනේ ජාන වලින් එන අසනීපයක්‌. ඒක ගොඩක් විරලයි. ඔයා දන්නවනේ. එයා සිගරට් එකක්වත් බීව කෙනෙක් නෙවෙයි කියල. ඒක කැන්සර් එකක්ලු. ඒත් සාමාන්‍යයෙන් හැදෙන ජාතියේ එකක් නෙවෙයිලු. ඉතින් මං එයාගෙම නංගිනෙ.ඒක මටත් තියෙන්න පුළුවන් කියල මං දැනගත්ත.

Monday, August 20, 2012

අඳුරු වලාකුළු -1


සඳලි හිටියේ කැඩපත ඉස්සරහ. පලවෙනි වතාවට එයා එයාගේ ප්‍රතිබිම්බය දිහා කල්පනාවෙන් බැලුව. ටික වෙලාවක් බලා ඉද්දි එයා දැක්කේ එයාගේ රුපය නෙවෙයි. එයාගේ අයියගේ රුපය. ඒත් ඒක ක්ෂණිකව නැතුව ගියා. ඊළඟට සඳලි ගියේ එයා ළඟ අයිය ගැන තියෙන වටිනාම සහ එකම මතකය හොයාගෙන.
“සඳලි අක්කේ, අදට අවුරුදු හතරක්.”ලොකු සුසුමක් එක්ක රුවන් කීවේ සඳලිගේ කාමරේ දොර ලඟට වෙලා. සඳලි රුවන්ගේ මුණ දිහා වතාවක් බලල ආයෙත් ඇඳ යට තිබිල ගත්තු පෙට්ටියේ අදින්න පටන් ගත්ත. අන්තිමේදී එයාට තමන් හෙවුව දේ හම්බ වුනා. ඒක පොඩි බිඳුණු කැඩපතක්. එයා ඒක ගෙනාව විදියටම තිබුන.
“අක්කේ, ප්ලීස් අදවත්...” රුවන් කියන්න හදපු දේ කියන්න වුනේ නෑ. සඳලි දබරැඟිල්ල තමන්ගේ කටට තිබ්බ. රුවන් ආපහු යන්න ගියා.
සඳලි පාසල් ගුරුවරියක්. රුවන් කියන්නෙත් එයත් එක්ක එකට ඉස්කොලේ උගන්නන කෙනෙක්.සඳලි නැවතිලා ඉන්නේ රුවන්ගේ ගෙදර. දැන් අවුරුදු හතරකට කිට්ටුයි. ඒ කියන්නේ සඳලිට තමන්ගේ කියල හිටපු එකම ඥාතිය නැති වුන දවස වල ඉඳල. සඳලි අතීතෙට ගියා.

Friday, August 17, 2012

අටවන දිගහැරුම. ස්නේහයක සිතුවම්


 
“කවුද බං ඒ හෝතඹුව?” කොණ්ඩය වවා සිටි තරුණයා දෙස බල ඇය මගේ කනට ලංව ඇසුවාය.
“දෙන්නෙක් ඉන්නවා නේද?” මද වෙලාවක් කල්පනා කල ඔහු විසිල් පාරක් ගසා තවත් යාලුවෙකුට කතා කළේය.
“දැන් හරි. කොන්ඩ කිරිල්ලි යමු මා එක්ක.” මා දෙස බලමින් ඔහු පැවසුවේය.
“අනේ මට බෑ. මං බයයි. සෙනු ඔයා යන්න.”
“අයියෝ මොකද්ද හලෝ එනව එනව. මේ නංගි එයාව එවන්න.” 
සෙනුරි හිනා වේවි මාව තල්ලු කළාය. මම සෑහෙන අමාරුවෙන් බෝට්ටුවට නැගගත්තෙමි. අපි ගියෙමු. ඇත්තෙන්ම එය ඉතාම සුන්දර විය. ඔහු දෙතුන් වතාවක් මා දෙස බලා සිසාසුනේය.
“නන්ගීයෝ ඔයාගේ ඔය කොන්ඩේ මේකේ ඉන්න මාළුන්ට කන්න දෙනවද?” ඔහු ඇසුවේය.මම වහා හැරී බැලුවෙමි. මගේ දිගු කොණ්ඩය වතුරේ පාවෙමින් තිබුණි.

Monday, August 13, 2012

කඳුලක සතුට (කෙටිකතාව) 2 කොටස


“සුනෙත් නැතුව එකී පැලිලා මැරෙයි බං. ජීවිතේ විනාස කර ගත්තද දන්නෙත් නෑ. මං දන්නවා එකී සුනේත්ට කොච්චර ආදරේද කියල.”     
“එහෙම දෙයක් වෙලා නැතුව ඇති. ටිකක් හිතපන් එයාට යන්න තැනක් තියෙනවද? මං ගෙදර ගැන හෙවුවා. ගෙදරිනුත් සෑහෙන්න කරදර තිබිල තියෙනවා. සුනේත්ගේ ප්‍රශ්නෙටම.”
ඊළඟ දවසේ පවනි තරිඳුට කතා කළා.
තරිඳු හිරු ගැන ආරංචියක් තියෙනවද? ධනන්ජයට කොහොමද?”
“නෑ මොනවත්ම නෑ. ධනන්ජයට දැන් හොඳයි.”
“මාත් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. මං වැඩ කරන්නේ සුනෙත් ළඟ. මේ සේරටම මුල සරසි කියල කෙල්ලෙක්. එයා සුනේත්ගේ සෙකට්‍රි. ඒකි සුනේත්ව අල්ලේ නටවනව. හිරුට රට ඉන්න කාලේ ඉදන්ම ප්‍රශ්න දැම්මේ සරසි. මං ගැනත් සැක කරලා තියෙන්නේ. වැඩිය කතා කරන්න බෑ. මං ඇඩ්රස් එකක් එවනවා. ඒකට යන්න.”
ධනන්ජයට කියන්නේ නැතුව තරිඳු පවනි දුන්නු ඇඩ්රස් ඒකට ගියා. එකේ හිටියේ සීය කෙනෙක්.
“ තරිඳු නේද?”
තරිඳු ඔලුව වනුව.

කඳුලක සතුට (කෙටිකතාව) 1 කොටස


“උඹ තව මොනවා වෙනකල් ද බලන් ඉන්නේ කතා කරන් නැතුව? මොකද බං මෙහෙම වුණේ?” තරිඳු එහෙම ඇහුවේ ධනංජයව ඉදන් හිටි පුටුවෙන් ඇදල අරන්. ඒත් ධනංජය හිටියේ මුකුත්ම ඇහුනේ නැති ගානට. හරියට හැඟීමක් දැනීමක් නැති මනුස්සයෙක් වගේ.
“උඹ අමුම අමු පිස්සෙක්. හිතක් පපුවක් නැති නරුමයෙක්.තරිඳු ඒ විදියට බැන්න. එයාට ඕනේ වුණේ යාළුවව කොහොම හරි කතා කරවන්න. ධනංජයත් අයෙ පුටුවට වැටුනා. ධනංජයල හිටියේ බීච් ඒක ළඟ තිබුණු රෙස්ටොරන්ට් එකක. ඒ වෙලාවේ ම මෙසේ උඩ තිබුණු ධනංජයගේ ෆෝන් එකට sms එකක් ආව. ධන්ංජයට ඇහුනෙවත් නැති ගානයි. තරිඳු ෆෝන් එක අරගෙන බැලුවා. එකේ තිබුනේ හිරන්‍යාගේ නම. නිර්මාල් පුටුවෙන් නැගිට්ටවුනේ ඉබේමයි. දෙපාරක් හිතුවේ නෑ. එයා හිරන්‍යගෙ sms ඒක බැලුව.
“ධනංජය, අද හවස 4.00ට සාරංගි එකට එන්න.” එකේ තිබුනේ ඒ විදියට. තරිඳුට ඉවසුම් නැතුව ගියා. ඒ වෙනකොටත් වෙලාව 2.30 පහු වෙලා. දැනට දවස් දෙක තුනක ඉඳන් මේ යාළුවො දෙන්නට හරියට කෑමක්වත් නෑ. මේ වෙලාවේ මොන කෑමද කියල හිතපු තරිඳු තමන්ගේ අතිජාත මිත්‍රයවත් ඇදගෙන බස් එකකට නැග්ග.

Friday, August 10, 2012

තවත් එක් පීතෘ ඝාතකයෙක්!!!!!!!!


මේක මම ඇහින් දැකපු දෙයක් නෙවෙයි. මං අහපු දෙයක්. හැබැයි ඇත්තක්. නම් ගම් මනඃකල්පිතයි. 

රාජතිලක වලවුව. කන්දේගම ගමේ නම ගිය වලවුවක්. රාජතිලක හාමු බොහොම වැදගත් විදියට ජිවත් වුනා. (හාමුලගේ වැදගත්කම දන්නවනේ ඉතින්. උඩින ඔපේ යටින් හපේ) එයාගෙ බිරිඳ චන්ද්‍රතිලකා මැණිකේ. වැඩට හිටියේ සිරිසේන කියල වයසක උන්දැ කෙනෙකුයි තිලකාවතී කියල ගැහැණු කෙනෙකුයි. මේකත් ඔයා ගොඩක්ම අහල තියෙන මණ්ඩලේ කචල් සාම්ප්‍රදායික වලවුවක්.

Thursday, August 9, 2012

ඔයත් සංවේදී ද?


කෙල්ලෝ ගොඩක් වෙලාවට හොටු පෙරාගෙන අඬන ජාතියක්ලුනේ. හැමෝම කියන්නේ එහෙමනේ. බහුතරයකට නම් ඒක ඇත්ත. කෙල්ලෙක් සංවේදී වෙන්නත් ඕනේ ගොඩක්ම. මං දන් නෑ කොච්චර දුරට හරිද කියලා. වැරදි නම් කියන්නකෝ. අම්ම කෙනෙකුගේ දුවෙකුගේ තරුණියකගේ පෙම් වතියකගේ සංවේදීකම මත තමයි ගොඩක් දේවල් රඳා පවතින්නේ. හොඳ හෝ නරක. 

සත් වන දිගහැරුම. ස්නේහයක සිතුවම්


“ඔයත් යමු අක්කේ අපි එක්ක, අපි පොඩි රවුමක් යනවා.” 

“මං තාම මුණ හොදලත් නෑ හලෝ ඔයාලගේ සද්දෙට ඇහැරුනේ, මං ටක් ගාල එන්නම් ටිකක් ඉන්නකෝ.”

“දරුවෝ, දැන් යන්ට එපා ආපහු , ඔයාට මුණ හෝදන්න හොඳ තැනක් තියනවා .”බුලක්‌ කෙල පාරක් ගසමින්  නන්දාවතී නැන්දා කීවාය.

අවට සිරිය බලමින් අපි නැන්දා පස්සේ වටුනෙමු. අය අපව රැගෙන ගියේ කදිම තැනකටයි. එය විශාල දොළ පාරකි. ඇත්තටම ලස්සනය. මිනුරි පැන මුණ සේදුවාය. නිදහසේ සිටින්නට කියාපු තැනකි. අපිත් වතුරට බැස්සෙමු. නන්දාවතී නැන්දා සිනාසෙමින් බලා උන්නාය. පසුව නැන්දාගේ වදය නිසාම ආපසු හැරුනා මිසක මට නම් යන්නට සිතකවත් තිබුණේ නැත. 

උදේ අහාරයෙන් පසු අපි පස් දෙනා හෙටින් ඇරබෙන අපේ අලුත් පාසල ගැන කතා කළෙමු. ඔහේ කියෙවුවෙමු. අපි ඉතා ඉක්මනින් සෑහෙන කලක සිට දන්නා පිරිසක් වුනෙමු. නමුත් සෙනන්යා නිතරම සිටියේ අපෙන් වෙන වී තනිවය. අපි ඇය අපට එකතු කර ගැනීමට කොතෙකුත් උත්සහ කළෙමු. ඇය ඊට කැමැත්තක් නොදැක්වීය. කාලය ඔහේ ගෙවී ගියේය. 

මගේ පොඩි අයියා ගැන මේ අය සිතා සිටින්නේ මගේ පෙම්වතා කියාය. සවස් කාලයේ මම ඔහු සමග කතා කලෙමි. මගේ කාමරයට සෙනුරි අවේ එවිටමය. ඇය යන්නට ආපසු හැරෙත්ම මා දුරකථනය පසෙක තබා ඇයට කතා කලෙමි.

“ සෙනූ ඉන්නකෝ”

“කතාව ඉවරද? මං උදැල්ල දැම්ම නේද?”

“පිස්සුද මැට්ටි, අපේ අයිය ඔහොම තමයි මං තියනකල් තියන් නෑ.”

“ඔයා ඉතින් අපට කියන නෑනේ එයා ගැන, ඇත්තටම ඒ ඔයාගේම අයියද හංසි?”

මා නම් ඇගේ මුහුණ දුටුවේ ප්‍රශ්නාර්ථ ලකුණක් මෙනි. මා ඇයට අයියාත් මාත් ගැන සියලු දේ පැවසුවෙමි. මට ඇඩුනි. ඇය ඉතා සාවදානව අසා සිටියාය. මදකුදු  බාධා නොකළේය. අවසානයේ ඇගේ ඇසටද කඳුලක් නැගුණි.

 “ මං මගෙ අක්කට ගොඩාක් ආදරෙයි. ඒත් අපි ඔයාල තරම් සමීප නෑ.” ඇය දුකින් බර වූ මුහුනින් යුතුව කීවාය.
 
දුක්බරව ගෙවී ගිය නිදි නැති මහා මුසල රාත්‍රියකින් පසුව මගේ පාසලේ පළමු දිනය උදා විය. අපට නිශ්චිත නිල ඇඳුමක් නොවුනි. මම ඩෙනිමක් සමග මෙහි ඒමට පෙර පොඩි අයියා අරන් දුන් බ්ලවුසයක් ඇන්දෙමි. කොණ්ඩය ගොතා දමා වැඩි විච්චුරන නැතිව වැන් රියට ගොඩ වුනෙමි. මිතුරියන්ද අලුත් පාසලේ පළමු දිනයේ යම් චකිතයකින් පසු වුහ. 8.15 පමණ වන විට අපි පාසලට ලඟා වීමු. ඉහල පන්ති වල සිසු සිසුවියන් විසින් අපව උණුසුම්ව පිළිගනු ලැබිණි.

පුංචි තරුවක් සහිත බැජ් එකක් පැළදවුහ. පුංචි සංග්‍රහයක් ද පැවැත්විණි. පුංචි පිළිගැනීමේ උත්සවය කොරියානු සංගීතයෙන් වර්ණවත් විය. එය ඇත්තෙන්ම සිත ඇද ගත්තේය. 

Friday, August 3, 2012

කොල්ලො ඕක වහපිය.


“කොල්ලෝ, ඔය මලඉලවුව වහල දාපන්කෝ. නැත්තම් මං ඕකට ගහනවා මගෙ මේ හැරමිටියෙන් අම්මප.” 

Wednesday, August 1, 2012

සය වන දිගහැරුම


රෝසි නැන්දාගේ අණ පරිදි අපි රාත්‍රී 8 00 ට කෑම මේසයට ගියෙමු. බත් සමග පරිප්පු, මාළු, ගොටුකොල සම්බල, පපඩම් හිබුනි. රෝසි නැන්දා සමග හැමෝම කෑම ගත්තෙමු. 

රෝසි නැන්දා බොහොම ප්‍රිය මනාප තැනැත්තියකි. කෑමෙන් පසු මද වෙලාවක කතා බහකින් පසුව පසු දින අපට විවේකී දවසක් වන බවත් අනිද්දා එනම් සඳුදා දින සිට අප පාසල් යා යුතු බවත් අපට දැනුම දෙනු ලැබීය.
කෑමෙන් පසුව අප හයදෙනාටම දැඩි මහන්සියක් දැනුනි. කාමරයට පැමිණ මම ඇදෙහි ඇල වුනෙමි. නිදි පොළ මාරු වී ඇති නිසාදෝ නින්ද මා අහලකටවත් නාවේය. පොඩි අයියා සමග කෙටි පණිවුඩ කිහිපයක් හුවමාරු කලෙමි. පසුව ඔහුටත් නින්ද යන්නට ඇත. මටත් නින්ද යන්නට ඇත. නමුත් රෑ මැද කිහිපවරක්ම අවදි වුයෙමි. ඒ හැම විටකම මට සිතුනේ අනේ මම ගෙදර හිටියා නම් යන්න පමණි.

Monday, July 30, 2012

ආදරයක අත හිත.....




ආදරය කියන්නේ ගොඩාක් ලස්සන වචනයක්. අපි කවුරුත් ආදරය ලබන්න ආදරේ කරන්න ගොඩාක් කැමතියි. මං මේ ලියන හැම දෙයක්ම ගොඩාක් ආසාවෙන් ලියන්නේ. මං ලියන දේවල් ගැන ඕනෙ කෙනෙක්ට ඕනෙම දෙයක් හිතන්න පුලුවන්. ඒක ඔයාගේ නිදහස. මේක මගේ නිදහස. මේ ලියන දෙකින් කාගේවත් හිත රිදෙනවටවත් මේ දේවල් පාවිච්චි කරලා කවුරුත් කාගේවත් හිත රිදවන්න උත්සහ කරනවටවත් මගේ කිසිම කැමැත්තක් නෑ. 

Monday, July 23, 2012

පස් වන දිගහැරුම


“චුටි ඇයි ඔයා යන්නෙ? මං ඔයත් එක්ක රන්ඩු වෙන හන්දද? කියන්න මට. මේ වෙනකල් අපි දෙන්න දවසකට වැඩිය කතා කරන් නතුව ඉඳල තියෙනවද? ඔයා ගෙට උන වෙලේත් මං ජනේලේ ලඟට වෙලා අම්ම එලවද්දීත් ඔයත් එක්ක කතා කළා. ඔයාට හරියට කන්න දෙන් නෑ කියලා මං අම්මට රණ්ඩු කළා. ඒ දවස් වල තාත්ත මට ගෙනාව ඇපල් දොඩම් රටකජු හොරෙන් ජනේලෙන් කාමරේට දැම්මා. මතකද නංගි. එහෙවු මාව ඔයා දාල යනවද? ඔයා යන්නෙ ඉගෙනගන්න කියල මං දන්නවා ඒ උනාට.....”

සිවු වන දිගහැරුම


අපේ ලොකු අයියා මේ බවක් මට කීවේ වත් නැත. මමත් අනෙක් අය සේම අලුවා කෑල්ලක් සහ කෙසෙල් ගෙඩියක් ගත්තෙමි.

තෙවන දිගහැරුම


මොහොතකට පෙර මා සමග කතා කරමින් සිටි තැනැත්තිය මා ඉදිරියේ සිනාසෙමින් සිටියාය. ඇය ඇඳ සිටියේ ඩෙනිම් සායක් සහ නිල පැහැ ටී ෂර්ට් එකකි. කොණ්ඩය කඩා දමා තිබුණි.

“අපේ අක්කගෙ කතා ගනන් ගන්නෙපා. එයා එහෙම තමයි. කටට එන එක ඔහේ කියල දානව. බය වෙන්නෙපා අපි නිවුන්නු. ආ... ඒක නෙවෙයි මම සෙනුරි මගෙ අක්ක මිනුරි. අපෙ අක්ක හරි හොඳයි. ඒ වුණාට ටිකක් සැරයි. කොහොම වුනත් අපේ අක්කගෙ කතාවට ඔයාගේ හිත රිදුන නම් මං ඒකට ඔයාගෙන් සමාව ඉල්ලනවා. හරි හරි දැන් ඉතින් කියන්නකෝ ඔයා කවුද කියල.” පියකරු සිනාවක් මුවග රඳවා ගනිමින් ඇය පැවසුවාය.

Thursday, July 19, 2012

මොන්ටිසෝරි බබාගේ පොත් කියවීම.


මේ දවස් වල අපේ ගෙදර කට්ටිය මට නිශේද බලය පාවිච්චි කරනවනේ මං ගෙදර අවම ගෙදර ෆෝන් බිල ලයිට් බිල එහෙම වැඩි කියලා. පියුම් මාම ෆෝන් බිල ගේන දවස මට අපලයි කෙලින්ම සෙනසුරු මහා දසාව තමයි. මේ පාරත් සුපුරුදු දේශනාව මදි නොකියන්න අහගත්තා.

අන්තිමට මටම දුන්න බිල දෙකම ගෙවල එන්න කියල. මටත් ඉතින් ගෙදර කම්මැලි කමේ ඉඳල එපා.... වෙලා හිටියේ. අදාල බලධාරියාටත් දන්වල පොඩි ෂොපින් පාරක් දාන්න කියලා ගානකුත් කඩාගෙන මං ගම්පහට ගියා කියමුකෝ. ඒ වෙනකොට උදේ 10 30 ට විතර ඇති.

පැය එක හමාරක විතර කට්ටක් කාල ගිනි මකරෙක් වගේ ඇස දෙකෙනුයි කන් දෙකෙනුයි ගින්දර පිට කර හිටිය සමහර අයගේ රස්නේ මට බස් එකෙන් බහින්නත් කලින් දැනුණා. මං හිතුවේ ඒ ගිනි නිවන්න ගිනි නිවන හමුදාවට කතා කරන්න වෙයිදෝ කියලා. කොහොම කොහොම හරි ගිනි නිවලා පැය ගානක් තිස්සේ හතරැස් වෙලා තිබුණු මූණ ආපහු යථා තත්වයට ගන්න විනාඩි දහයක් විතර ගියා. ඊටපස්සේ අම්මා ගෙවන්න දුන්න බිල් දෙකත් ගෙවලා අපි දෙන්න රන්ජන් එකට ගොඩ වුනා.

වටේ පිටේ ටිකක් ඇවිදලා එහෙම ඕනෙ කරන දේවලුත් අරගෙන යන්න හැරුනම මගේ සඟයටත් මොනවද ගන්න ඕනෙය කියලා අයෙත් මාව ඇදගෙන ගියා හතර වටේ. හැබැයි ඉතින් ගත්ත දේකුත් නෑ. මං අයෙත් ඇහුව මොනවද ඕනෙ යන්නේ නැද්ද කියලා. එතකොට මෙයා කියනවා එළියේ මාර රස්නේයිනේ මේක ඇතුල සීතලයිනේ ඔන්න ඔහේ ඉමු අනේ කියලා.

ඊටපස්සේ කොහොමහරි සැහෙන අමාරුවෙන් රන්ජන් එකෙන් ඇවිත් සරසවි බුක් ෂොප් එකට ගියා. පොත් හොයන්න ඕනෙ කමකටමත් නෙවෙයි ගියේ. මං හොඳ නවල් එකක් තෝරන අතරේ මගේ සඟයත් ඇවිද ඇවිද හිටියා. මං හැමතැනම හෙවුවා. මට එයාව හොයාගන්න පුළුවන් වුණේ කොහෙන්ද දන්නවද? සිබිල් නැන්දගේ කතන්දර පොත් තියෙන රාක්කේ ළඟ එයා හිටියා. මොන්ටිසෝරි ළමයෙක් වගේ කට හද හද ඇස දෙක ලොකු කරගෙන එයා සිබිල් නැන්දගේ කතා පොත් බලනවා. මොන්ටිසෝරි යන පොඩි කොලු ගැටයෙක් එයාට ටිකක් එහායින් ඉනට අත් දෙකත් තියාගෙන ඇස් ලොකු කරගෙන එයා දිහා ගිලින්න වගේ බලාන ඉන්නවා. ඇත්තමයි මට පොලව පලාගෙන යන්න හිතුනා. කවදාහරි එයාට තෑග්ගක් දෙන්න එහෙම හිතුනොත් මතා.....ක් කරලා සිබිල් නැන්දගේ කතා පොතක් දෙන්න අමතක කරන්නෙපා හොදේ........ 
 
සාමාන්‍යයෙන් අපි දෙන්න පාරේ යනවා නම ඒ පාරේ යන දෙතුන් දෙනෙකුගේවත් ලේ පිරිසිදු වෙනවා. ඔහේ පාරේ යනවට වඩා හොදයිනේ ඒ වගේ පින් කමක්වත් කරගන්න එක නේද?             

Friday, July 13, 2012

කිරි අම්මා වරු දනට වඩිනවා


ඊයේ උදේ අපේ ගෙදර කිරි අම්ම දානයක් දුන්නනේ. ඉතින් මෙහෙ හරියට වැඩ පෙරේද රෑ. අපේ අම්මටයි මටයි තත්පරයක්වත් නින්දක් නෑ. අපේ ගෙවල් ළඟ නැන්දලා දෙන්නෙකුත් උදවුවට අවා කිරිබත් උයන්න. අහල පහල ගෙවල් වල තියෙන හිරමණ දෙක තුනකුත් අරන් අවා. රෑ දොළහට විතර කිරිබතට පොල් ගාන්න පටන් ගත්තනේ.අපරාදේ කියන්න බෑ කට්ටිය පොල් ගාන්න වගේම ගමේ කට්ටියගේ කෝප්ප හෝදන්නත් හරී......ම දස්සයි. කොහොම හරි පාන්දර දෙක විතර වෙනකොට පොල ගාල මිරිකලා අහවර වුණා.ගෙදර කුස්සිය  පැත්තේ යාලත්තක් බාල කිරිබත උයන්න ලෑස්ති කරලා තිබුණේ. මොකද අහසට වහින්න මතක් වෙන්නෙත් අපි ඔහොම වැඩක් කරන්න ගියාමනේ. ලොකුම ලොකු මුට්ටියක හාල් සේරු දහයක විතර කිරිබතක් හැදි ගෑවා. දැක්කහම බඩ පිරෙනවා ඒ තරම් ලස්සනයි සුදට සුදේ කිරිබත් කැටි ටික. දානයක් දෙන්න හන්ද ඉතින් ලුණු බලන්නවත් විදියක් නැනේ. ඊටපස්සේ අපි කලින් දා හදපු අතිරහ යි ඇඹුල් කෙසෙල්ගෙඩි යි ලෑස්ති කළා. පාන්දර පහ වෙද්දි කිරි අම්මලා හත් දෙනෙක් සුදට සුදේ ඇඳලා ආවා අපේ ගෙදරට. පහන් පත්තු කරලා එහෙම යාදින්නාව පටන් ගත්ත.
පැය බාගයක් විතර පත්තිනි අම්මගේ වරුණේ කියද්දී මම නම් කිරා වැටුන. ඒ වුනාට යන්තම් එහෙන් මෙහෙන් කන්නලවුවයි කවි පදයක් දෙකකුයි ඇහුනා.
....තවද ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේ පරංගි සමයක්කරයාගේ යුද්ධය තුන් මසකට කල් තියා
 නවගමු දේවාලයෙන් රුවන් සලාන් සත් නමක් ඇලි කිඹුල් වාහනේ පිටින් මැදගොඩ ඇල්ලට වැඩම කරවා මැදගොඩ ඇල්ලේ කෙලි පුද ගන්ට වරන් දුන් සත්‍යනුභාවයෙන් ද ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේ අඳුන් ගිරි පර්වතයේ තපස් රකිනා තැනට ශක්‍රයෝ මහලු වෙසකින් වැඩ, නැගණියනි, මට දානයක් දෙවයි සැල කළ තැනේදී කුමන දානයක් දෙම්දැයි අසූ විට , අඳුන් ගිර පයින් මඩකර, දියෙන් ගිනි ගෙන බොජුන් තනා දෙන්ට ඕනෑයි කී තැනේදී, ඕකත් මට අපුර්වක්දැයි සිනා පහල කොට සත්‍යක්‍රියා කොට අඳුන් ගිර පයින් මඩ කොට සුවඳ ඇල්වී ඉස පැළකොට සත් දින ඇතුලත දන් දී, ලොව්තුරා බුදුබව පතා ශක්‍රයාගේ ආරාධනාවෙන් පඬිපුර අඹේ පිළිසිඳගෙන පඬියාගේ තුන් නෙතින් නළලෙ නෙත මැකෙන්ට වරන් දුන්නා සත්‍යවාදී සැබෑ වී නම් මතු බුදුවන දිව්‍යාංගනාවුන් වහන්සේ නමින් මෙවැනි මේ ආතුරයින් අද මෙතනදී සියලුම ඇප කැප භාර හාර ඔප්පු කර කිරි අම්මාවරු හත් දෙනාට දානය දුන් පුන්‍යනුභාවයෙන් මොවුන්ට වන්නා වූ දෙවි දෝස, ග්‍රහ දෝස, අන වින........

කිරි අම්මාවරු පෙර එන                වෙලේ
මල වරුසා වස්සලු එම                  කාලේ
ඒ මල් අමුණා පැලඳුව                    මාලේ
බලයෙන් හැම දොස් දුරු විය           දෑලේ

මේ මට එහෙන් මෙහෙන් ඇහුන ඒවා තමයි. පත්තිනි අම්මා ගැන ලොකු වර්ණනාවක් තියෙනවනේ. හොද වගේම නරකත්. කොහොම හරි බාරෙ නිදහස් කළා කියල අපේ අම්මා නම් හරියට සතුටු වුනා.

සුබ වැඩක් හරි වැදගත් වැඩක් හරි කරද්දී ගොඩක් වෙලාවට දෙවියන්ට පඬුරක් ගැට ගහල බාරයක් වෙනවනේ. ඇත්තටම දෙවියන්ට පුලුවන්ද අපි ගැන බලන්න? අපේ අම්මා කියන්නේ නම් දෙවියන්ට බැරිලු විභාග පාස් කරන්නවත් ගෙවල් හදල දෙන්නවත්. ඒ වුනාට ලෙඩ වලින් එහෙම බේරන්න පුළුවන්ලු.ඒ කියන්නේ අපිට වෙන බාධා මග හරින්න පුළුවන්ලු එක එක්කෙනා කරලා තියෙන පින් පවු වල හැටියට එයාලට අපි දිහා බලන්න පුළුවන් සීමාවක් තියෙනවලු. එහෙම බැලුවොත් නම් ඉතින් ඇත්තක් නැත්තේම නෑ. කොහොම වුනත් මේ වැඩ හරිම ලස්සනයි. දැක්කම හිත පිරෙනවා. හා නැද්ද ?


Related Posts Plugin for WordPress, Blogger...