Tuesday, June 19, 2012

මේ දෛවය ද?


මේක බොහොම දුක හිතෙන කතාවක්. කියවලම බලන්න.

අපි එයාට කියන්නේ කඩේ ආච්චි කියල.එය ගොඩක් අහිංසක වයසක ආච්චි කෙනෙක්. එයාගේ ළමයි හැමෝම බැඳලා ඒ වූනාට එයා පුංචි ගෑනු ළමෙක්ව හදාගත්තා. පොඩි කාලේ අම්මට එපා කියපු දරුවෙක්. මේ ආච්චි කඩයක් කරල තමයි මෙයාව හැදුවෙ. එයාගේ ළමයිවත් කැමති වුනේ නෑ මේ ළමයව හදාගන්නවට.ඒ වුනත් මේ කඩේ ආච්චි පොඩි එකාව ගොඩක් ආදරෙන් බලාගත්තා. එයාට පුළුවන් විදියට හැම දේම කළා. ඉස්කෝලේ යැවුවා කන්න බොන්න දුන්න, කිසිම දේකින් අඩුවක් කලේ නෑ. ගොඩක් ආදරෙන් හිටියා. අපි මෙයාට දැන් ඉදන් කියමු වාසනා කියල.ඔය විදියට වාසනා වයසින් වැඩුනා. අපේ අම්මලාගේ බාසාවෙන් කියනවා නම් වාසනා හොඳ ඇහැට කනට පේන ගෑණු ළමයෙක්.

 කඩයක් කීවම ඉතින් දන්නවනේ ගොඩක් සෙනග ගැවසෙන තැනක්නේ. මේකත් ගම් වල තියෙන අනිත් සම්ප්‍රදායික කඩ වගේම තමයි. හවසට හවසට තේ බොන්න කට්ටිය එනවා, කෙහෙල් කොටුව පැත්තේ ගිහින් එන කට්ටිය එනවා.(කෙහෙල් කොටුව කියන්නේ ඉතින් දන්නවනේ, අර කචල් පැන්ට විකුනන්නේ) ඔය අතරෙදී වාසනා ගමේ ඉලන්දාරියෙක් එක්ක පොඩි පලහිලවුවක් ඇති කර ගත්තා. එච්චර දැනුමක් තේරුමක් නෑනේ.ඉස්කෝලේ නමය වසරේ. ඇරත් කඩේ ආච්චි එයාව කොහෙවත් වැඩිය ඇවිදින්න යැවුවෙත් නෑනේ. වැඩි ආරක්ෂාවට එයා ළඟම තියාගත්තා. ඒ නිසා මෙයාට ගමේ මිනිස්සු ගැන ලොකු අවබෝධයක් තිබුනෙත් නෑ. ටිකක් හිර වෙලා හැදුන නිසාද දන්නෑ මෙයා ටිකක් මුරන්ඩුයි. කඩේ ආච්චි නැති වෙලාවට කඩේ බඩු විකුනන්නේ වාසනා තමයි. කොහොම කොහොම හරි මෙයාලගේ ආදර කතාව දිගටම ගලාගෙන ගියා කඩේ ආච්චිට පුංචි සැකයක්වත් ඇති නොවෙන විදියට.
වෙසක් කාලෙට ගමේ ලොකු කැරකෙන කූඩුවක් ගහනවා. එක හදන්නේ කඩේ ආච්චිගේ කඩේ ළඟ තියෙන හිස ඉඩක. මේ කාලෙට හැමෝම බරටම වැඩ. වාසනාටයි එයාගේ ආදරවන්තයටයි මේක ගොඩක් හොඳ චාන්ස් එකක්නේ නිතරම මුණ ගැහෙන්න.

මේ අතර දවසක මේ දෙන්න මොකක් හරි ප්‍රශ්නෙකට තරහ වුණා. වාසනාට හොදටම තරහ ගිහින් කඩේ තුබුන බූමිතෙල් බෝතල් බාගයක් වීතර බිවුවා. එතකොට තමයි වාසනාගේ ආදර කතාව ගමේ ගොඩක් අය දැනගත්තේ, අපේ කඩේ ආච්චි පවා. 

කොහොමහරි වාසනාට මොකුත්ම වුනේ නෑ. දවස දෙක තුනක් ඉස්පිරිතාලේ ඉඳල සනීප වෙලා ගෙදර අවා. ඉන්පස්සේ එයාට හැමෝගෙම අවවාද අනුසාසනා අඩුවක් නැතුව ම ලැබුණා. එයාගේ ආදරවන්තය ගෙ නරක ආරංචිත් එයාට අහන්න ලැබුණා. ඒ වුනත් ඒවා බීරි අලින්ට වීන වාදනය කරනවා වගේ තමයි. අයෙමත් එයාලගේ ආදර කතාව ලියැවෙවී තිබුණා කාටත් හොරෙන්. මේ විදියට කාලය ගත වුණා.

පුරුදු විදියට ඉස්කෝලේ ගිය එක දවසක වාසනා අපහු ගෙදර ආවෙ නෑ. එතකොට එයා දහය වසරේ. හැමෝම එයාව හෙවුවා. කඩේ ආච්චි පොලිසියටත් කිව. දවසකට පස්සේ එයයි එයාගේ ආදරවන්තයයි එහා ගමේ ගෙදරක ඉඳල හොයාගත්තා. කඩේ ආච්චි අඬා වැලපුනා. නීතියේ විදියට කොල්ල හිරේ ගියා. වාසනා රම්මුතුගල පරිවාස භාරයේ රැඳෙවුවා අවුරුද්දක විතර කාලයක්. 

මේ කාලේ එයාගේ ආදරවන්තය අයෙත් ගමට ඇවිත් කරන්න තියෙන හැම චන්ඩි වැඩක්ම කරන්න ගත්තා. කොටින්ම කීවොත් ගමටම මහා හිසරෆයක් වුණා. දෙතුන් පාරක් ආණ්ඩුවේ බෝඩිමේත් හිටිය. 
 
වාසනා එයාගේ පරිවාස කාලය ඉවර කරල ගොඩක් හොඳ විදියට කඩේ ආච්චි ලගට අයෙත් ආවා. ගාමන්ට් යන්නත් පටන් ගත්තා. හැමෝම හිතුව එයා දැන් කඩේ ආච්චිවත් බලාගෙන හොඳින් ඉඳීවි කියල. ඒත් ඒක එහම වුනේ නෑ. වැඩි කාලයක් යන්න කලින් වාසනා රෑ වැටුණු වලේ දවල් වැටුනා. එයා අයෙත් එයාගේ පරණ ආදරේ හොයාගෙන ගියා.

ඇත්තටම කියනවා නම් ගැහැණියකට විදින්න පුළුවන් උපරිම දුක් එයා වින්දා.එයාගේ ආදරණිය ප්‍රේමවන්තයගෙන් අප්‍රමාණ ගුටි කෑවා. අන්තිමේදී එයා පුංචි දුවකගේ අම්මා වුණා.
මේ වෙනකොට පොඩි කාලේ එයාව එපා කීව එයාවැ වදපු කෙනා (අම්මා නෙමෙයි) මේ දේවල් දැනගෙන හිටියා. එයා හිටියේ පිටරට.ඉතින් එයා වාසනාට කතා කරල කීවා රට එන්න හැමදේම ලෑස්ති කරල දෙන්නම් කියල. වාසනා දෙපාරක් හිතුවේ නෑ. එයාගේ පුංචි දු පැටියව නැන්දම්මා ළඟ දාල එයා රට ගියා. 

අවුරුදු දෙකක් පියාඹල ගිය. වාසනාගේ චූටි දුව එයාගේ ආච්චිලා ළග හැදුනා. ඒ අවුරුදු දෙක ඇතුලත වාසනා එයාගේ අම්මට සල්ලි එවුවා ගෙයක් හදන්න. කඩේ ආච්චිත් බොහොම අරපරිස්සමට විය පැහැදම් කරල වාසනාටයි එයාගේ දුවටයි ඉන්න ඉඩමක් අරන් පොඩි ගෙයක් හැදුව. මේ වෙද්දී වාසනාගේ නිත්‍යානුකුල ස්වාමි පුර්ෂයා හොරකමකට අහු වෙලා ආණ්ඩුවේ බෝඩිමේ හිටියේ.වාසනා ලංකාවට එනවත් එක්කම එයත් අවා. 

අලුත් ගෙදර වැඩ තව තිබුණා හන්ද වාසනා ආයෙත් නැන්දම්මා ළග තමයි නැවතුනේ. කඩේ ආච්චිගේ දරුවෝ කැමති වුනෙත් නෑ වාසනා අපහු එනවට කඩේ ආච්චි ලඟට. ඒත් කඩේ ආච්චි එයාට පුළුවන් හැම විදියටම වාසනාට උදවු කළා. එයාගේ මහත්තය නම් ටිකක්වත් වෙනස් වුනේ නෑ.

මේ අතරේදී වාසනාලගේ ගෙදරට උඩහ ගෙදර හිටපු එක අවාසනාවන්ත තරුණයෙකුට වාසනා ගැන හිතක් පහල වුණා. 

කාලයත් එක්ක ඒ තරුණයයි වාසනයි අතරේ අනියම් ආදරයක් ගොඩනැගුනා. වාසනා තුන්වෙනි වතාවටත් එයාගේ පුංචි දූ පටියාවත් දාල පැනල ගියා. අර තරුණය එයාගේ අම්මටත් ගෙදර පොඩිම පුතා විදියට ලොකු දුකක් ඉතුරු කරල අවාසනාව හොයාගෙන වාසනත් එක්ක ගියා. 

චූටි කෙල්ල ආච්චිලා දෙන්න ළඟ හැදුනා. කඩේ ආච්චි ඒත් හිතුව වාසනා සන්තෝසෙන් ඉදීවිනේ කියලා. පුදුම අම්මා කෙනෙක් නේද?

එයාගේ දෙවෙනි ස්වාමියා එක්කත් එයාට වෙඩි කාලයක් හොදින් ඉන්න ලැබුනේ නෑ. එයාගෙම චූටි දුවට එයා දුන්න ගින්දර එයාට ඇවිලෙන්න පටන් ගත්තා. ගොඩක් ප්‍රශ්න ඇති වුණා. වාසනා ආයෙත් ගාමන්ට් ගියා. මේ විදියට කාලය ගෙවුනා.

ඒක දවසක උදේ කඩේ ආච්චිට පණිවිඩයක් අවා වාසනාගේ දෙවෙනි මනුස්සයත් වහ බීල ඉස්පිරිතාලේ හොදටම අමාරුයි කියලා. 

ඒ තරුණයා වහ බීල එයාගේ අම්මට කෝල් කරල කිවලු අම්මේ මං වහ බිව මං මැරෙනවා කියලා. ඒ අම්මට මොනවා හිතෙන්න ඇත්ද?

අන්තිමේදී ඒ අවුරුදු ක්වත් නොවුන තරුණයා එයාගේ අවසාන ගමන ගියා.
අද තත්වය වාසනා රට ගිහින්. වාසනාගේ දුව එයාගේ ආච්චිලා හදනවා.චූටි දුවගේ තාත්තා ආණ්ඩුවේ බෝඩිමේ.

මේ ගැන මොකද හිතන්නේ? මේක ඇත්තම ඇත්ත කතාවක්. මේවට වග කියන්න ඕනෙ කවුද? මේ දෛවයද?     

3 comments:

  1. අම්මල තාත්තලාගේ වැරදි හන්ද දුක් විදින්නේ අසරණ ළමයි....කවද හරි ඔය ළමය ඉස්කෝලෙකට ගියහම කොහොමද සමාජෙට මුණ දෙන්නේ....??

    ReplyDelete
  2. මෙහෙම උන් ඇත්තටම සමාජයට බරක්, පවු අර පොඩි ළමයා ...

    ReplyDelete
  3. කථා දෙකම කියෙව්වෙ අද....

    කමෙන්ට් එකක් දාන්න හරියටම අදහසක් නෑ... හැමෝම ගැන දුකක් විතරක් හිතේ ඉතුරු උනා

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...