Wednesday, October 7, 2015

G.අක්බර් වෙත H.ජෝදා ගෙන් උපන්දින සුභපැතුම්.......


යට ගිය දවස එකදාස් නවසිය අනු එකක් වූ වප් මස අට වැනි දින G.අක්බර් උපත ලැබීය. ඔහු H.ජෝදා වන මට වඩා හරියටම සති තුනකින් වැඩිමහළුය. එකම නගරයේ එකම ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ අපි උපත ලැබුවෙමු. කතාව පටන් ගනු ලබන්නේ මෙලෙසය. මට ඔහුව හමු වන්නේ මීට වසර සෑහෙන ගානකට පෙර අපි පාසලේ අපොස සා.පෙ පන්තියේ ඉගෙනුම ලබන දිනවලය. (එසේ නම් දැන් ඔබට ගණන සාදා ගත හැකි වනු ඇත.) 

Thursday, October 1, 2015

අභිරහස් අකුණු සැරය. (අවසානය)

මුල් කොටස මගහැරුනා නම් මෙතනින් යන්න.


ඒත් සමගම දෑස නිලංකාර වන නිල පැහති ආලෝකයක් එක්වරම මා ඉදිරියෙන් දිස් විය.


ප්‍රතිසංස්කරණය කර තිබු පහත මහලේ සියලුම දොරවල් සහ ජනෙල් මහා හඬින් වැසී අගුලු වැටුනේ නිමේෂයකිනි. මම භීතියෙන් ඇලලී ගියෙමි. කුමක් කරන්නද කියා සිතා ගත නොහැකි විය. මගේ සිත අනේකවිධ සිතුවිලි සමුදායකින් පිරි ගියේය. ඊළඟ මොහොත පිළිබඳව අවිනිශ්චිත හැඟීමක් මා තුල විය. තවත් කිසිවක් සිතන්නට ඉඩ නොතබා අදිසි හස්තයක් විසින් මා ක්ෂණයකින් බිම ඇද දමනු ලැබීය. මා ඇද වැටුනේ මගේ වම් පසින් තිබු  ගලින් නිම කල පැතලි පුවරුවක් පාමුලටයි. මගේ හිස මදක් කරකැවෙන්නට විය. දෑසද බොඳ විය. නමුත් මම ඉතාම හොඳ සිහියෙන් සිටියෙමි. 

අභිරහස් අකුණු සැරය



වැහි බර කාලගුණය ඒ සවස් යාමයට එක් කලේ චමත්කාරජනක සුන්දරත්වයක් නම් නොවේ.  හෙමින් හෙමින් පා වී ආ කළු වලාකුළු තවමත් මා ආගන්තුක වූ ඒ පැරණි මන්දිරය ගිල ගනිමින් තිබිණි. වර්ෂාවේ සොඳුරු බව නිබඳවම අත් විදීමට කැමති මා සිත, ගතට දැනුනු සීතලද විඩාවද පසෙකලා ඒ සඳලු තලහිම මා රැඳවීමට වග බලා ගත්තේය.   
මා රැඳී සිටි අර්ධ වෘත්තාකාර තෙමහල් ගොඩනැගිල්ලට ඉදිරියෙන් නැගී සිටියේ මෙම ගොඩනැගිල්ල වැසී ගත් අති විශාල සිව් මහල් ගොඩනැගිල්ලකි. ඒ මද්‍යයේ ඇති ගෙමිදුලක් වැනි වූ සුදු වැලි අතුරා තිබු බවට සාධක ඇති ඉඩ ප්‍රමාණය එකල කුමක් සඳහා භාවිතා කලේ දැයි වටහා ගැනීමට මට නොහැකි විය.

Sunday, September 6, 2015

සැබැවින්ම නුඹ මාගේ මිතුරියක්ද?



කෙලෙසකද මා නුඹව වටහා ගන්නේ
මට ප්‍රථම නුඹ මා ගැන සිතයි
මා නුඹව සිහි කිරීමටත් පෙරම
නුඹ මා වෙත පැමිණෙයි.
පැමිණිය යුතු වේලාව නුඹ දන්නා නමුත්
නොපැමිණිය යුතු වේලාව නුඹ නොදනී.

Tuesday, September 1, 2015

දඩබ්බර සිතු 3



  (සිදු වූ ප්‍රමාදය ගැන මාගේ බලවත් කනගාටුව.)
සිතුට සාමාන්යෙන් වැඩිය පන්තියේ ඉන්න වෙන් නෑ. එයා ගොඩක් බාහිර වැඩ කරනවා. ගොඩක් පැති වලින් දක්ෂයි. ඉතින් පුරුදු විදියටම එයා සංගීත කාමරේ තමයි වැඩිපුර වෙලා ගත කලේ ළඟ එන තරඟ වලට පුරුදු වෙන්න. එයාලගේ සංගීත කාමරේ තියෙන්නේ ගොඩක් ලස්සන තැනක. ඉස්කෝලේ එක කෙළවරකට වෙන්න හරිම නිස්කලංක තැනක්. ඊට එහා පැත්තෙන් තාප්පෙට කිට්ටුව අඹ ගස් සෙවනක් තිබුන. ඉතින් හවස ඉන්න වෙන දවස් වලට එයා යාලුවොත් එක්ක එකතු වෙලා අඹ කැඩුවා හැබැයි හොරෙන්

සිතු තමයි මේ ගැන්සියේ ප්‍රධානියා. එයාට ඉන්නේ අයියල දෙන්නෙක්ම හින්දද මන්ද තියෙන්නෙම කොලු වැඩ. එක අඹ ගහක් තිබුන එයා හැමදාම නගින්න පුරුදු වෙලා හිටිය. හිතට මොකක් හරි ප්‍රශ්නයක් ආවම එයා කෙලින්ම යන්නේ එතෙන්ට. එක එයාලගේ පුහුණු වෙන කණ්ඩායමට නම් ප්‍රසිද්ද රහසක්. හැබැයි ඉස්කෝලේ වෙලාවට නම් කවදාවත් එයා එතෙන්ට යන්නේ නෑ

අම්මේ... සුභ උපන් දිනයක් වේවා.



අද අපිට විශේෂ දවසක්. ඇයි දන්නවද? අද අපේ අම්මගේ උපන්දිනේ. දැන් අපේ අම්මට වයස 56ක්. මං එයා වෙනුවෙන් කවි ටිකක් ලීව. ඔයාලත් කැමති නම් බලන්න. ටිකක් පණ්ඩිත වැඩිද මන්ද. මං එයාට ගොඩක් ගොඩක් ගොඩා.....ක් ආදරෙයි. එයා තමයි ලෝකේ ඉන්න හොඳම අම්මා. අමතක නොකර ඔයාලත් අපේ අම්මට සුභ පතන්න හොඳේ.


දෙව්දුව නුඹයි මා සිත සනසන නුඹමයි
සඳවත නුඹයි මසිතට සිසිලස නුඹමයි
රැජිණිය නුඹයි සිත දිරි වඩවන නුඹමයි
අම්මා නුඹයි මගෙ මුළු සවියද නුඹමයි

දැනුනු හැඟුමන් මා උපන් දා නුඹට මතක ඇති
මෙවන් දිනයක නුඹේ මව්ටත් එයම දැනෙන්නැති
නුඹේ දිරියද සවිය දැක ඇගෙ සිතට සතුටු ඇති
හොඳම දියණිය නුඹම බව ඈ නිසැක සිතනු ඇති


මෙදා වාගෙම සැමදාම නුඹ මගේ ළඟ වේවා
මතු භවේටත් පතන්නෙමි නුඹ මගේ මව් වේවා
මට සවිය දුන් නුඹට සවියක් වන්ට හැකි වේවා
නුඹ වැනිම අම්මා කෙනෙක් වනු මටත් හැකි වේවා

පතන්නම් මම නුඹට අම්මේ ජයෙන් ජය වේවා
නුඹේ සුන්දර සිනහ සුරැකිව කඳුළු වියැකේවා
නිරෝගී සුව සිතට සැනසුම නිබඳ ලැබ දේවා
සුභ උපන්දින දිගාසිරි ලැබ සතුට රජ වේවා. 

(කවි වල හොඳ නරකත් කියන්නකෝ. මේ පොස්ට් එක කලින් දාන්න හිටියේ. ඒත් වෙලාවක් හම්බ වුනේ දැන් තමයි.)
 

 

Tuesday, August 25, 2015

දඩබ්බර සිතු 2










අහන්නකො. මං ළඟ තියනවා පොඩි ප්ලෑන් එකක්. මං නම් කියන්නේ ඔය යකාට ඒ පොත් ටික බලන්න දෙන්නම නරකයි. හෙට අපි සෙට් එකම ගිහින් අලුත් හෝම්ස් පොත් ටික ඔක්කොම ගමු. පස්සේ මාරු කර කර මාස ගානක් තිස්සේ බලමු.” සිතු රස කර කර කියවනවා.

මිනිහ හැප්පිලා තියෙන්නේ වැරදි කෙනෙක් එක්ක කියල එතකොටවත් තේරෙන්නේ නැතෑ.” ඉසුරි කීවේ ඉස්කෝලේ පටන් ගත්තු ගමන් කා එක්ක හරි පැටලෙන්න හම්බුන අවස්තාව ගැන සෑහෙන සතුටින්

Friday, August 21, 2015

දඩබ්බර සිතූ






එකොළහේ පන්තියේ සිතුම්යගේ පලවෙනි දවස. ශිෂ්‍යාවක් විදියට එයා ඉස්කෝලේ සෑහෙන වගකීමක් තියෙන චරිතයක්. ඒ නිසා පලවෙනි දවස ගොඩක් කාර්යබහුලයි. ශිෂ්‍ය නායිකාවක් විදියට පොඩි පන්ති බලාගන්නයි එයාගේ අලුත් පන්තියේ වැඩයි එහෙට මෙහෙට දුවනවා ඉවරයක් නෑ. උදේ වරුවේ වැඩ ටිකක් ඉවර උන ගමන් පොඩි විවේකයක් ගන්න එයා හැමදාම වගේ පුස්තකාලෙට දිවුව

ගිය වාරේ පුස්තකාලේ මිස්ට වද දීල ගේන්න පොරොන්දු කරවගත්ත ෂර්ලොක් හෝම්ස් ඉතිරි පොත් ටික බලනකල් සිතුට නිවාඩුවේ හරියට නින්ද ගියෙත් නෑ.

මේ රාක්ක මොකට මෙච්චර උසට හදනවද මන්ද. හදිසියකට පොතක්වත් ගන්න බෑ. ඉසුරියාවත් හිටිය නම්....” 

Thursday, August 20, 2015

අලුත් පණක්




කොහොමද යාලුවනේ? ගොඩා.....ක් කාලෙකින්. නිසල ගං දිය පා.....ලු වෙලා. දැන් නම් ඔයාලට මාව අමතකත් වෙලා ඇති. සාධාරණයි. මොකද මං මේ පැත්තට ආවේ නැති කාලය අවුරුදු වලින් ගණන් කරන්න පුළුවන් තරමට දිගයි. 

ජීවිතේ අමතක කරන්න බැරි ලස්සනම ලස්සන කාලයක් ගෙවිල ඉවර වුනා. අවුරුදු හතරකට කිට්ටු කාලයක් ගෙදරින් ගොඩක් දුර කැම්පස් එකකට ගිහින් ලොකු පොත් ගොඩකුයි ලොකු.... බෑග් ගොඩකුයි අරගෙන ආපහු ගෙදර ආව. එක අතකට සතුටුයි. එක අතකට දුකයි පාලුයි. ආයෙත් ඒ වගේ කාලයක් එන්නේ නෑ නේද කියල හිතෙනකොට දරාගන්න බැරි තරම් දුකයි. යාළුවො ටික මතක් වෙද්දී ඊටත් වඩා අවුල්. 

වෙලාවකට හිතෙනවා වෙන ලෝකෙකට අරගෙන ගිහින් අතැරලදෝ කියල. අම්මයි තාත්තයි මල්ලියි නම් ගොඩක් සතුටින් මං ආවට. ඒත් වෙලාවකට යාළුවො නැති පාළුව කියාගන්න බැරි තරම් දැනෙනවා.

කොහොම හරි ඔය අතරේ මට කෙනෙක් දෙයක් මතක් කරලා දුන්න ටොක්කක් ඇනලම. (ඇත්තම කිවුවොත් කන්දොස්කිරියාව අහගෙන ඉන්න බැරුව) ඒ තමයි නිසල ගං දිය. ඒ මතක් කරලත් දවස් ගානක් වෙනවා. ඉතින් මොනවා හරි ටිකක් ලියල ඔයාලගේ අදහස් උදහස් එක්ක මගේ පාලු මකාගන්න හිතුව. දිගටම ලියන්න පුළුවන් වෙයි කියල හිතනවා. රස කතා මඩ ප්‍රචාර මේ සේරම බලන්න පුළුවන් වෙයි ඉදිරියේදී. 

දැනට පුංචි කතාවක් තියනවා. (පුංචි කීවට පුංචිම නෑ.) දිග වැඩි නිසා කොටස් වලට කඩන්න වුනා. සමහර අය කැමති වෙයි. සමහර අය අකමැති වෙයි. කියවල බලල යෝජනා චෝදනා කරන්නකෝ.         
Related Posts Plugin for WordPress, Blogger...