ඒත් සමගම දෑස නිලංකාර වන නිල පැහති ආලෝකයක් එක්වරම මා ඉදිරියෙන් දිස් විය.
ප්‍රතිසංස්කරණය කර තිබු පහත මහලේ සියලුම
දොරවල් සහ ජනෙල් මහා හඬින් වැසී අගුලු වැටුනේ නිමේෂයකිනි. මම භීතියෙන් ඇලලී
ගියෙමි. කුමක් කරන්නද කියා සිතා ගත නොහැකි විය. මගේ සිත අනේකවිධ සිතුවිලි
සමුදායකින් පිරි ගියේය. ඊළඟ මොහොත පිළිබඳව අවිනිශ්චිත හැඟීමක් මා තුල විය. තවත්
කිසිවක් සිතන්නට ඉඩ නොතබා අදිසි හස්තයක් විසින් මා ක්ෂණයකින් බිම ඇද දමනු ලැබීය.
මා ඇද වැටුනේ මගේ වම් පසින් තිබු ගලින්
නිම කල පැතලි පුවරුවක් පාමුලටයි. මගේ හිස මදක් කරකැවෙන්නට විය. දෑසද බොඳ විය. නමුත්
මම ඉතාම හොඳ සිහියෙන් සිටියෙමි.
පළමු වරට මගේ සිත තුල මරණ බිය ඇති විය.
වහා පැන දුවන්නට සිත් විය. නමුත් මා නැගී සිටීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.
හිස හැර මගේ සිරුරේ අනෙක් කිසිඳු අවයවයක් මට නොදැනුනි. හිස පමණක් යන්තම් සෙලවීමේ හැකියාව
පැවතුනි. මට කළහැක්කක් නොවීය. බොඳ වී තිබු මගේ දෑස යථා තත්ත්වයට පත් වන විට මා හැර
අවට තිබු සියල්ලම එලෙසම පැවතුනි. පෙර දුටු නිල් ආලෝකය එහි නොවීය. මේ සියල්ල සිදු
වීමට ගත වුයේ තත්පර කිහිපයක් පමණි.
මේ අත්භූත අඩවියෙහි සිදු වන, වෙනත්
මනුෂ්‍ය ප්‍රාණියෙකු නොඅසන නොදකින මේ සිදුවීමෙහි කොටස් කරුවකු බවට පත් වන්නට මට
සිදු විය. ඔහු විසින් පවසන ලද ඇයගේ සිරකරුවකු බවට මමද පත් වීමි. මගේ අවසන් නිගමනය
වුයේ එයම පමණි. මීළඟ මොහොතේ කුමක් සිදු වුවත් මා ඊට මුහුණ දිය යුතුය. ජීවිතය රැක ගැනීම
පිලිබඳ වූ සියලු ආශාවන් මම අත හැර දැමුවෙමි. අවසානයට ළඟා වීමට පෙර මෙහි සත්‍යය මට දැන
ගැනීමට අවැසි විය.
“ඒ කුමක්ද?” මම වෙවුලන ස්වරයෙන්
ඔහුගෙන් විමසීමි. පිළිතුරක් නොමැත. යන්තමින් හිස ඔසවා අවට පිරික්සුවෙමි. අත පය
සෙලවීමට තැත් කලෙමි. නැත. ඒ සියල්ල දැනටම මිය ගොස් වන්නට ඇත. මගේ ස්නායු පද්ධතිය
අකර්මන්‍ය වෙමින් පවතී. මේ මාගේ සිතිවිලි වලින් බිඳකි.
“ඔබට ඇය නව ජීවිතය ලබා දුන්නේ නැතිද?”
හදිසියේම ඔහුගේ හඬ අවධි විය. මට දැනුනේ තරමක ප්‍රීතියකි. මා තවම තනි වී නැත. අඩුම
ගන්නේ මට සත්‍ය දැන ගත හැකිය. මම වහා ඔහු සමග කතා කලෙමි.
“ඒ කුමක්ද? ඒ ඇය නම් නුඹ කියූ ලෙස ඇයි
ඇය මා මරා නොදැමුවේ?”
“කවුරුන්ද පැවසුවේ ඇය නුඹව මරා දමන බව.
ඇය නුඹට වෙනස් ආකාරයක ජීවිතයක් ලබා දෙනවා පමණයි. ඇය අති ප්‍රභල මායාකාරියක්.ඔවුන්
සිටින්නේ මා සිටින මානයේ.”
“ඔවුන්?”
“ඇය සහ ඇගේ අනුගාමිකයින්. මායා කර්මය ඇයට
මිත්තනියගෙන් උරුම වුවක්. සැමියාත් දරු දෙදෙනාත් අහිමි වූවායින් පසු ඇගේ විභව
ශක්තීන් මතු වුනා. එම ශක්තීන් ඇගේ පාලනයට යටත් කර ගත් පසු අති ප්‍රභල මායාකාරියක්
බවට පත් වුනා. සෑම වසර දහයකටම වරක් මනුෂ්‍යයෙක් ඇගේ අනුගාමිකයෙක් බවට පත් කරගන්නට ඇයට
බලය හිමියි. මේ ඇගේ භුමිය. නමුත් මා සිතන ලෙස ඔබට ඒ අවස්ථාව අහිමි වී ඇති හැඩයි.”
“ඇයි ඇය මනුෂ්‍ය අනුගාමිකයින් සොයන්නේ?”
“මනුෂ්‍යයෙක් ඇගේ අනුගාමිකයෙක් බවට පත්
වූ විට ඒ තැනැත්තාට අසීමිත බලයක් හිමි වෙනවා. එවිට ඇගේ කටයුතු තවත් පහසුයි.”
“එසේ නම් මා මේ සිටින්නේ එහි පළමු
පියවරේද?”
“නැහැ. ඇය ඔබට කුඩා මායා කර්මයක් සිදු කරල
පමණයි. මට වැටහෙන් නෑ. ඒ ඇයි කියා.”
නැවතත් ඒ නිල පැහ ආලෝකය මා අසලින් මතු
විය. මගේ දෑස නිලංකාර විය. මුළු ලොවම මා වටා භ්‍රමණය වන්නට විය. උණුසුම් දෑතක් මගේ
හිස පිරිමදින්නට විය. එසේම මගේ කනට කිසිවක් කොඳුරන්නට විය. මා නොදැනුවත්වම නින්දට
වැටුනෙමි.
නැවත මා අවධි වුයේ ග්‍රාමීය රෝහලක වූ
ඇඳක් මතයි. එහි රැස්ව සිටි වෛද්‍යවරයෙකු හා හෙදියන් කිහිප දෙනෙකු ඉතාම විමසිලිවන්තව
මා දෙස බලා සිටීම මා නෙත ගැටුණු මුල්ම දසුනයි..
“ඔබට දැන් කොහොමද?” වෛද්‍යවරයා ඉතා
කාරුණික ලෙස මගෙන් විමසුවේය.
“මං හොඳින්.” සැබවින්ම මගේ ගතට කිසිඳු
අපහසුතාවයක් නොදැනුනි.
“ඒත් මං කොහොමද මෙහාට ආවේ?”
“ඔබට මතකද ඔබ සිටි ස්ථානය?” වෛද්‍යවරයා
සැකමුසු ස්වරයෙන් මගෙන් විමසුවේය. මට දිය යුතු පිළිතුර සිතා ගත නොහැකි විය. සත්‍ය
නොපවසන ලෙස මගේ සිත මට බල කර සිටියේය.
“ඔබට මතක නැද්ද?” ඔහු නැවත විමසයි.
“මම මිතුරකු හමු වීමට මෙහි පැමිණියා.
මේ ප්‍රදේශයට අමුත්තෙක් නිසා ආපසු ගමනේදී මග වැරදුනා. ඉන් එහාට නම් කිසිවක් මතක
නෑ.” මම පසුගිය සිදුවීම මතකයට නගා පැවසුවෙමි.
“පුදුමයක් නෑ. ඔබ පැරණි සොලමන් මන්දිරයේ ගේට්ටුව අසල වැටී සිට තිබෙනවා. අසල ගම්වැසියන් කිහිපදෙනෙක් ඔබව මෙහි ගෙන ආවේ
සිහි විසංඥව සිටියදී. මගේ අත්දැකීම් අනුව ඔබ යම්කිසි කම්පනයකට පත් වෙලා. නමුත් ඔබ
බිය විය යුතු නෑ.”
“ඔබට බොහොම ස්තුතියි මට දැක්වූ
කරුණාවට.”
“මේ පලාතට පැමිණි ආගන්තුකයින් කිහිප
දෙනෙක්ම අතුරුදන් වී තිබෙනවා ඔබ වැටී සිටි ප්‍රදේශයේදී. ඔබට අනතුරක් නොවීම සිතට
සහනයක්.”
“එසේද? මා නැවතත් ඔබට ස්තුතිවන්ත වනවා.”
සිදු වූ සියල්ලම මගේ මතකයේ සිතුවමක්
මෙන් ඇඳි තිබුණි. නමුත් ඇය මට කොඳුරා පැවසුවේ කුමක්ද? එය නම් හිස්තැනකි. මතකයේ එම
කොටස අදුලු දමා ඇති සෙයකි. නමුත් එතැන් සිට මා නිතරම දකින සිහිනයකි.
එදා මා දුටු නිල් පැහ ආලෝකය මගේ සයනය
අසලට පැමිණෙයි. ඉන් පසුව එය ඉතා සුන්දර ස්ත්‍රී රුවක් බවට පත් වෙයි. නිල් පැහැති
දිලිසෙන ගවුමකින් සැරසී සිටින ඇය ඉතා කාරුණික වදනින් මා අමතා පිටව යයි.
“නුඹ මගේ පරපුර නියෝජනය කරන අයෙක්.
නුඹේ සිරුරේ දුවන්නේ මගේ පරපුරේ රුධිරයයි. නුඹ මගේ ආදරනීයයෙක්. නුඹට කිසිදා කිසිඳු
උවදුරක් සිදු වන්නේ නෑ. මා මේ ගත කරන ඵල රහිත ජීවිතය නුඹ ලබා ගත යුතු නෑ. නැවත එහි
යන්න එපා....”
නිමි.
ඔහේ හිතට ආව අදහසක්. ලියල දැම්ම. මෙලෝ රහක් නැද්ද මන්ද. හිතෙන දෙයක් ලියන්න අමතක කරන්න එපා.
Tawa ekak liyamu neda me wage
ReplyDeleteහ්ම්... අසාර්ථක නිසා ලියන්න හිතක් නෑ. බලමුකෝ.
Delete