Monday, July 30, 2012

ආදරයක අත හිත.....




ආදරය කියන්නේ ගොඩාක් ලස්සන වචනයක්. අපි කවුරුත් ආදරය ලබන්න ආදරේ කරන්න ගොඩාක් කැමතියි. මං මේ ලියන හැම දෙයක්ම ගොඩාක් ආසාවෙන් ලියන්නේ. මං ලියන දේවල් ගැන ඕනෙ කෙනෙක්ට ඕනෙම දෙයක් හිතන්න පුලුවන්. ඒක ඔයාගේ නිදහස. මේක මගේ නිදහස. මේ ලියන දෙකින් කාගේවත් හිත රිදෙනවටවත් මේ දේවල් පාවිච්චි කරලා කවුරුත් කාගේවත් හිත රිදවන්න උත්සහ කරනවටවත් මගේ කිසිම කැමැත්තක් නෑ. 

Monday, July 23, 2012

පස් වන දිගහැරුම


“චුටි ඇයි ඔයා යන්නෙ? මං ඔයත් එක්ක රන්ඩු වෙන හන්දද? කියන්න මට. මේ වෙනකල් අපි දෙන්න දවසකට වැඩිය කතා කරන් නතුව ඉඳල තියෙනවද? ඔයා ගෙට උන වෙලේත් මං ජනේලේ ලඟට වෙලා අම්ම එලවද්දීත් ඔයත් එක්ක කතා කළා. ඔයාට හරියට කන්න දෙන් නෑ කියලා මං අම්මට රණ්ඩු කළා. ඒ දවස් වල තාත්ත මට ගෙනාව ඇපල් දොඩම් රටකජු හොරෙන් ජනේලෙන් කාමරේට දැම්මා. මතකද නංගි. එහෙවු මාව ඔයා දාල යනවද? ඔයා යන්නෙ ඉගෙනගන්න කියල මං දන්නවා ඒ උනාට.....”

සිවු වන දිගහැරුම


අපේ ලොකු අයියා මේ බවක් මට කීවේ වත් නැත. මමත් අනෙක් අය සේම අලුවා කෑල්ලක් සහ කෙසෙල් ගෙඩියක් ගත්තෙමි.

තෙවන දිගහැරුම


මොහොතකට පෙර මා සමග කතා කරමින් සිටි තැනැත්තිය මා ඉදිරියේ සිනාසෙමින් සිටියාය. ඇය ඇඳ සිටියේ ඩෙනිම් සායක් සහ නිල පැහැ ටී ෂර්ට් එකකි. කොණ්ඩය කඩා දමා තිබුණි.

“අපේ අක්කගෙ කතා ගනන් ගන්නෙපා. එයා එහෙම තමයි. කටට එන එක ඔහේ කියල දානව. බය වෙන්නෙපා අපි නිවුන්නු. ආ... ඒක නෙවෙයි මම සෙනුරි මගෙ අක්ක මිනුරි. අපෙ අක්ක හරි හොඳයි. ඒ වුණාට ටිකක් සැරයි. කොහොම වුනත් අපේ අක්කගෙ කතාවට ඔයාගේ හිත රිදුන නම් මං ඒකට ඔයාගෙන් සමාව ඉල්ලනවා. හරි හරි දැන් ඉතින් කියන්නකෝ ඔයා කවුද කියල.” පියකරු සිනාවක් මුවග රඳවා ගනිමින් ඇය පැවසුවාය.

Thursday, July 19, 2012

මොන්ටිසෝරි බබාගේ පොත් කියවීම.


මේ දවස් වල අපේ ගෙදර කට්ටිය මට නිශේද බලය පාවිච්චි කරනවනේ මං ගෙදර අවම ගෙදර ෆෝන් බිල ලයිට් බිල එහෙම වැඩි කියලා. පියුම් මාම ෆෝන් බිල ගේන දවස මට අපලයි කෙලින්ම සෙනසුරු මහා දසාව තමයි. මේ පාරත් සුපුරුදු දේශනාව මදි නොකියන්න අහගත්තා.

අන්තිමට මටම දුන්න බිල දෙකම ගෙවල එන්න කියල. මටත් ඉතින් ගෙදර කම්මැලි කමේ ඉඳල එපා.... වෙලා හිටියේ. අදාල බලධාරියාටත් දන්වල පොඩි ෂොපින් පාරක් දාන්න කියලා ගානකුත් කඩාගෙන මං ගම්පහට ගියා කියමුකෝ. ඒ වෙනකොට උදේ 10 30 ට විතර ඇති.

පැය එක හමාරක විතර කට්ටක් කාල ගිනි මකරෙක් වගේ ඇස දෙකෙනුයි කන් දෙකෙනුයි ගින්දර පිට කර හිටිය සමහර අයගේ රස්නේ මට බස් එකෙන් බහින්නත් කලින් දැනුණා. මං හිතුවේ ඒ ගිනි නිවන්න ගිනි නිවන හමුදාවට කතා කරන්න වෙයිදෝ කියලා. කොහොම කොහොම හරි ගිනි නිවලා පැය ගානක් තිස්සේ හතරැස් වෙලා තිබුණු මූණ ආපහු යථා තත්වයට ගන්න විනාඩි දහයක් විතර ගියා. ඊටපස්සේ අම්මා ගෙවන්න දුන්න බිල් දෙකත් ගෙවලා අපි දෙන්න රන්ජන් එකට ගොඩ වුනා.

වටේ පිටේ ටිකක් ඇවිදලා එහෙම ඕනෙ කරන දේවලුත් අරගෙන යන්න හැරුනම මගේ සඟයටත් මොනවද ගන්න ඕනෙය කියලා අයෙත් මාව ඇදගෙන ගියා හතර වටේ. හැබැයි ඉතින් ගත්ත දේකුත් නෑ. මං අයෙත් ඇහුව මොනවද ඕනෙ යන්නේ නැද්ද කියලා. එතකොට මෙයා කියනවා එළියේ මාර රස්නේයිනේ මේක ඇතුල සීතලයිනේ ඔන්න ඔහේ ඉමු අනේ කියලා.

ඊටපස්සේ කොහොමහරි සැහෙන අමාරුවෙන් රන්ජන් එකෙන් ඇවිත් සරසවි බුක් ෂොප් එකට ගියා. පොත් හොයන්න ඕනෙ කමකටමත් නෙවෙයි ගියේ. මං හොඳ නවල් එකක් තෝරන අතරේ මගේ සඟයත් ඇවිද ඇවිද හිටියා. මං හැමතැනම හෙවුවා. මට එයාව හොයාගන්න පුළුවන් වුණේ කොහෙන්ද දන්නවද? සිබිල් නැන්දගේ කතන්දර පොත් තියෙන රාක්කේ ළඟ එයා හිටියා. මොන්ටිසෝරි ළමයෙක් වගේ කට හද හද ඇස දෙක ලොකු කරගෙන එයා සිබිල් නැන්දගේ කතා පොත් බලනවා. මොන්ටිසෝරි යන පොඩි කොලු ගැටයෙක් එයාට ටිකක් එහායින් ඉනට අත් දෙකත් තියාගෙන ඇස් ලොකු කරගෙන එයා දිහා ගිලින්න වගේ බලාන ඉන්නවා. ඇත්තමයි මට පොලව පලාගෙන යන්න හිතුනා. කවදාහරි එයාට තෑග්ගක් දෙන්න එහෙම හිතුනොත් මතා.....ක් කරලා සිබිල් නැන්දගේ කතා පොතක් දෙන්න අමතක කරන්නෙපා හොදේ........ 
 
සාමාන්‍යයෙන් අපි දෙන්න පාරේ යනවා නම ඒ පාරේ යන දෙතුන් දෙනෙකුගේවත් ලේ පිරිසිදු වෙනවා. ඔහේ පාරේ යනවට වඩා හොදයිනේ ඒ වගේ පින් කමක්වත් කරගන්න එක නේද?             

Friday, July 13, 2012

කිරි අම්මා වරු දනට වඩිනවා


ඊයේ උදේ අපේ ගෙදර කිරි අම්ම දානයක් දුන්නනේ. ඉතින් මෙහෙ හරියට වැඩ පෙරේද රෑ. අපේ අම්මටයි මටයි තත්පරයක්වත් නින්දක් නෑ. අපේ ගෙවල් ළඟ නැන්දලා දෙන්නෙකුත් උදවුවට අවා කිරිබත් උයන්න. අහල පහල ගෙවල් වල තියෙන හිරමණ දෙක තුනකුත් අරන් අවා. රෑ දොළහට විතර කිරිබතට පොල් ගාන්න පටන් ගත්තනේ.අපරාදේ කියන්න බෑ කට්ටිය පොල් ගාන්න වගේම ගමේ කට්ටියගේ කෝප්ප හෝදන්නත් හරී......ම දස්සයි. කොහොම හරි පාන්දර දෙක විතර වෙනකොට පොල ගාල මිරිකලා අහවර වුණා.ගෙදර කුස්සිය  පැත්තේ යාලත්තක් බාල කිරිබත උයන්න ලෑස්ති කරලා තිබුණේ. මොකද අහසට වහින්න මතක් වෙන්නෙත් අපි ඔහොම වැඩක් කරන්න ගියාමනේ. ලොකුම ලොකු මුට්ටියක හාල් සේරු දහයක විතර කිරිබතක් හැදි ගෑවා. දැක්කහම බඩ පිරෙනවා ඒ තරම් ලස්සනයි සුදට සුදේ කිරිබත් කැටි ටික. දානයක් දෙන්න හන්ද ඉතින් ලුණු බලන්නවත් විදියක් නැනේ. ඊටපස්සේ අපි කලින් දා හදපු අතිරහ යි ඇඹුල් කෙසෙල්ගෙඩි යි ලෑස්ති කළා. පාන්දර පහ වෙද්දි කිරි අම්මලා හත් දෙනෙක් සුදට සුදේ ඇඳලා ආවා අපේ ගෙදරට. පහන් පත්තු කරලා එහෙම යාදින්නාව පටන් ගත්ත.
පැය බාගයක් විතර පත්තිනි අම්මගේ වරුණේ කියද්දී මම නම් කිරා වැටුන. ඒ වුනාට යන්තම් එහෙන් මෙහෙන් කන්නලවුවයි කවි පදයක් දෙකකුයි ඇහුනා.
....තවද ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේ පරංගි සමයක්කරයාගේ යුද්ධය තුන් මසකට කල් තියා
 නවගමු දේවාලයෙන් රුවන් සලාන් සත් නමක් ඇලි කිඹුල් වාහනේ පිටින් මැදගොඩ ඇල්ලට වැඩම කරවා මැදගොඩ ඇල්ලේ කෙලි පුද ගන්ට වරන් දුන් සත්‍යනුභාවයෙන් ද ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේ අඳුන් ගිරි පර්වතයේ තපස් රකිනා තැනට ශක්‍රයෝ මහලු වෙසකින් වැඩ, නැගණියනි, මට දානයක් දෙවයි සැල කළ තැනේදී කුමන දානයක් දෙම්දැයි අසූ විට , අඳුන් ගිර පයින් මඩකර, දියෙන් ගිනි ගෙන බොජුන් තනා දෙන්ට ඕනෑයි කී තැනේදී, ඕකත් මට අපුර්වක්දැයි සිනා පහල කොට සත්‍යක්‍රියා කොට අඳුන් ගිර පයින් මඩ කොට සුවඳ ඇල්වී ඉස පැළකොට සත් දින ඇතුලත දන් දී, ලොව්තුරා බුදුබව පතා ශක්‍රයාගේ ආරාධනාවෙන් පඬිපුර අඹේ පිළිසිඳගෙන පඬියාගේ තුන් නෙතින් නළලෙ නෙත මැකෙන්ට වරන් දුන්නා සත්‍යවාදී සැබෑ වී නම් මතු බුදුවන දිව්‍යාංගනාවුන් වහන්සේ නමින් මෙවැනි මේ ආතුරයින් අද මෙතනදී සියලුම ඇප කැප භාර හාර ඔප්පු කර කිරි අම්මාවරු හත් දෙනාට දානය දුන් පුන්‍යනුභාවයෙන් මොවුන්ට වන්නා වූ දෙවි දෝස, ග්‍රහ දෝස, අන වින........

කිරි අම්මාවරු පෙර එන                වෙලේ
මල වරුසා වස්සලු එම                  කාලේ
ඒ මල් අමුණා පැලඳුව                    මාලේ
බලයෙන් හැම දොස් දුරු විය           දෑලේ

මේ මට එහෙන් මෙහෙන් ඇහුන ඒවා තමයි. පත්තිනි අම්මා ගැන ලොකු වර්ණනාවක් තියෙනවනේ. හොද වගේම නරකත්. කොහොම හරි බාරෙ නිදහස් කළා කියල අපේ අම්මා නම් හරියට සතුටු වුනා.

සුබ වැඩක් හරි වැදගත් වැඩක් හරි කරද්දී ගොඩක් වෙලාවට දෙවියන්ට පඬුරක් ගැට ගහල බාරයක් වෙනවනේ. ඇත්තටම දෙවියන්ට පුලුවන්ද අපි ගැන බලන්න? අපේ අම්මා කියන්නේ නම් දෙවියන්ට බැරිලු විභාග පාස් කරන්නවත් ගෙවල් හදල දෙන්නවත්. ඒ වුනාට ලෙඩ වලින් එහෙම බේරන්න පුළුවන්ලු.ඒ කියන්නේ අපිට වෙන බාධා මග හරින්න පුළුවන්ලු එක එක්කෙනා කරලා තියෙන පින් පවු වල හැටියට එයාලට අපි දිහා බලන්න පුළුවන් සීමාවක් තියෙනවලු. එහෙම බැලුවොත් නම් ඉතින් ඇත්තක් නැත්තේම නෑ. කොහොම වුනත් මේ වැඩ හරිම ලස්සනයි. දැක්කම හිත පිරෙනවා. හා නැද්ද ?


නිසල ගං දිය සසල වෙලා.........


මේ මම වෙමි. මම ම වෙමි. අන් කිසිවෙකු නොවේ.
            මා ඔබ හඳුනතත් ඔබ මා හඳුනතත්
ඒ ඔබෙත් මගෙත් බාහිර පෙනුමින් පමණි.
            මගේ සිත ඔබ කිසිවෙකු නොහඳුනයි.
මා ද ඔබ සිත් නොහඳුනමි.
            මගේ සිත වැළපෙයි. ආත්මානුකම්පාවෙන් මිරිකෙයි.
මගේ දෙනෙත් කඳුළු හෙලීමට අවසර පතයි සිය දහස් වර.
            ඊට මාගේ ආත්මය ඉඩ නොදේ.
ඔබට මා නොතේරේ. ආදරය ඔබටවත්.
            කිසිවකු මා ආත්මාර්ථයකු යැයි හංවඩු ගසයි.
ඔහු හෝ ඇය මාගේ සිත නොහඳුනන නිසා මට කම නැත.
           දෛවය මට සරදම් කර ඇත මේ වසර ගණන පුරාවටම.
එනමුදු මා නොනැවතුනෙමි මාගේ ආත්ම තෘප්තිය තකා
           නමුදු ලැබුණු ආත්ම තෘප්තියක් නැත.
ලෝක පාලක දෙවියකු සිටී නම් මා මේ අමතන්නේ ඔහුටයි.
          ඇයි ඔබ මෙවන් දුක් ගෙනෙන්නේ ජීවිතය පුරා      විඳවන්නට.
ඇයි ඔබට බැරි මෙවන් දුක් උපන් ගෙයි මරා දමන්නට.
           එවන් ජීවිත තමන් අතින් වැනසී නොයන්නට.
ඇයි? ඇයි? ඇයි?
සිතේ ඇති දෑ වදන් වලට පෙරලන්නට
           නොහැකි තරමට සිත සැලී ඇත.
ඔබ මෙන් ලෝකය දකින්නට මම ද කැමැත්තෙමි
            නමුදු ඊට ඉඩක් නැත.
දෛවය මා සමග තවත් කොතරම් කලක් මා සමග සෙල්ලම් කරයි ද?
            මම නොදනිමි.
මුවෙන් සිනාසුනද සිතින් සිනාසෙන්නට තරම් සවියක් මට නොමැත.
           සිය දහසක් අසල සිටියත් මගේ හුදෙකලාව දුරු නොවේ.
මා මියෙන තුරා ගිනි ගෙන දැවෙන මගේ හද මට රිදුම් දෙවි.
           මේ කවියක් නොවේ. කතාවක් ද නොවේ. නිසදැසක් ද නොවේ.
       මේ මාගේ පියවි සිතිවිලිය.
              සැබැවින්ම නිසල ගං දිය සසල වී ඇත.   

ස්නේහයක සිතුවම්. දෙවන දිගහැරුම


මට මහා තනිකමක් පාළුවක් දැනුණි. මා සමග සිටි අනෙක් ගැහැණු ළමයි ද ඔවුන්ගේ ලෝක වල තනි වී සිටියහ. රෝසි නැන්දා අපට අපේ කාමර පෙන්වූවාය. 

“ඔයාලගේ කට්ටිය අඩුයිනේ. ඒ හන්ද ඔයාල හරිම ලකී ගොඩක් ෆැසිලිටීස් තියෙනවා. මේකේ අයිතිකාරයෝ කොරියන් කාරයොනේ. උන් හිතන්නේ අපේ ළමයිත් උන්ගේ ළමයි වගේ කියල තනියම හැදෙන. කොහොමහරි ඔයාල හැමකෙනාටම තනි කාමරේ ගානෙ ලැබෙනවා. මං නම එකට ටිකක්වත් කැමති නෑ.මොකද ඔයාල එකට ඉන්න තරමට හොඳයි. තමන්ගේ කාමරේ තියෙන දේවල් ගැන තමන් වග කියන්න ඕනෙ. ඔයාලට කබඩ් එකයි මේසෙයි පුටුවයි ඇඳයි ලැබෙනවා......”

තවත් මොනවදෝ කීවාය. මම මගේ කාමරයට ආවෙමි. ගෙදර මගෙත් අම්මාගේත් කාමරය තරම්ම වූ එහි රෝසි නැන්දා කියූ පරිදි ඇඳක් මේසයක් පුටුවක් කබඩ් එකක් තිබුණි. විදුලි පංකාවක් ද විය. දිය ඇල්ලක විශාල ඡායා රූපයක්‌ ද ලා නිල ආලේපිත බිත්තියේ එල්ලා තිබුණි. අපි හය දෙනාටම තිබුනේ නාන කාමර දෙකකි.

හිත හුදෙකලාවෙන් පිරී තිබුණි. අස් කිරීම පැත්තක දමා මම ඇඳුමක් තුවායක් සහ සබන් රැගෙන නාන කාමරය සොයා ගියෙමි. මා එහි යන විටත් නාන කාමර පිරී තිබුනේය. එනිසා මම ආපසු හැරුනෙමි.

“ස්.. ස්.... මේ ඇටකිච්චි කොහෙද යන්නේ? මෙහෙ මෙහෙ....” මගේ පිටුපසින් ඇසුනි. මම පුදුමයෙනුත් පුදුමයට පත් වුයෙමි. මහත් හුරු පුරුදු බවක් දැනුනු බැවින් මම ආපසු හැරුනෙමි. සිනාවෙන මුව පිරුණු ගැහැණු ළමයෙක් මා දෙස බලා සිටියාය. කරලට ගොතා තිබු කෙස් වැටිය මුදා හරිමින් මම ද ඇය අසලට ගියෙමි.

සාදරයෙන් පිලිගන්නවා ලිඳ ළඟ සංගමේට. ඉතින් ඉතින් කොහොමද...?”

ඩෙනිම් සායක් සහ රතු පැහැ ටී ෂර්ට් එකක් ඇඳ කොණ්ඩය උඩට කර බැඳගෙන තුවායක් කරේ දමාගෙන සිටි බලල් ඇස් ඇති තැනැත්තිය සිනාසෙමින් ඇසුවාය.

“හොඳයි. ඒ වුනාට දුකයි අනේ” කඳුළු නැවත්වීමට විශාල උත්සාහයක් දරමින් මම කීවෙමි.
"මුණ කජු ලෙල්ලක් වගේනෙ මට නම් හොඳක් පෙන් නෑ. මට හිතුන ඔයා වගේ හොටු බබාල ඉඳී කියල.” 

කියන්නට වචන අමුණා ගත නොහැකිව මම ලතැවුනෙමි. ඇයට සිතින් බැන වැදුනෙමි. මා ළඟ සිටි තැනැත්තිය ගැන නොතකුවෙමි.

අප සිටියේ යකඩ වැටකට හේත්තු වෙමිනි. අපේ එක් පසෙකින් වසා දැමූ කාමරයක් තිබුණු අතර අනෙක් පසින් නාන කාමර වලට යන පටු කොරිඩෝව තිබුණි. නාන කාමර දෙකම එක ළඟ පිහිටා තිබුණි. මම එළිමහන දෙස බලා සිටියෙමි.

මේ වෙලාවේ මම ගෙදර සිටියා නම් අම්මත් එක්ක ලොකු කතාවකි. නැත්තම් කතා පොතකට යට වී සිටී. නැත්තම් පොඩි අයිය එනතුරු මග බලාගෙන සිටී. ආයේ කවද ගෙදර යන්නද? මං කොච්චර සතුටකින්ද ගෙදර හිටියේ?  මගේ සිත ගෙදර ගියේය. උසස් පෙළ විභාගයට පෙනී සිට මට නිදහසේ ගෙදර සිටීමට හැකි වූයේ මාසයකටත් අඩු කාලයකි. විභාගය අවසන් වී දවස් කිහිපයක් ගත වී ගියේය. එක දවසක රාත්‍රියේ කොළඹ නේවාසිකව සිටින අපේ ලොකු අයියා හදිසියේ පැමිණියේය. සාමාන්‍යයෙන් ඔහු පැමිණෙන්නේ මාසයකට වතාවකි. ඔහුගේ හදිසි පැමිණීමෙන් අපි මදක් කලබලයට පත් වීමු. අපේ තාත්තා කෝටියක්‌ ප්‍රශ්න ඇසුවේය.

අපේ ලොකු අයියා අමුතුම පුද්ගලයෙකි. ඔහු අනෙක් අය තරහ ගැන්වීමට හපනෙකි. එමෙන්ම පුදුම ඉවසීමක් ඇති පුද්ගලයෙකි.

“චූටි, මං මේ හදිස්සියෙ ආවෙ ඔයාව එක්ක යන්න.” ලොකු අයියා කීවේ කෑම මෙසයේදීය.

“මං....... මං කොහේ යන්නද ලොකු අයියෙ.”
    
“පොඩි exam එකක් තියෙනවා ඔයාට හෙට.”

අයිය මොනවද මේ කියන්නේ, විහිලු කරන්නෙපා අනේ මේ හදිස්සියේ මොන exam ද?”

“බය වෙන්නෙපා මැට්ටි, මෙයා හොදටම බය වෙලානේ. මේ පොඩි එකක් හෙට උදේම ලෑස්ති වෙන්නකෝ. ගිහින්ම බලමු.”

වෙනත් කිසිවක් නොපැවසූ ඔහු නිදන්නට ගියේය.
මගේ සිත මහත් තැවුලට පත් විය. අහම්බෙන් කඩාවැටුණු මේ හිසරදය පිළිබඳව මම තාත්තාගෙනුත් අම්මාගෙනුත් පොඩි අයියාගෙනුත් විමසුවෙමි. නමුත් සතුටුදායක පිළිතුරක් මට නොලැබුණි.

කෙසේ වුව ද පසු දින මම ලොකු අයියා සමග කොළඹ ගියෙමි. ලොකු අයියාගේ මහා ලොකු  exam එක ලිවුවෙමි. එතරම් සැර නොවූ නමුත් ලෙහෙසි ද නොවූ එය සාමාන්‍ය දැනුම සහ ගණිත ගැටළු වලින් සමන්විත විය.

පිටට වැදුණු හදිසි පහරකින් තතිගන්වුනු මම ආපසු හැරුනෙමි. 
    
Related Posts Plugin for WordPress, Blogger...