Monday, July 23, 2012

සිවු වන දිගහැරුම


අපේ ලොකු අයියා මේ බවක් මට කීවේ වත් නැත. මමත් අනෙක් අය සේම අලුවා කෑල්ලක් සහ කෙසෙල් ගෙඩියක් ගත්තෙමි.


නිවුන් සොයුරියෝ එකම වාගේ ඇඳ පැළද සිටියහ.වෙනසක් සොයන්නටම බැරි තරම්ය. අනෙක් අයගෙන් එක්කෙනෙක් කැරලි සහිත කොණ්ඩය ගොතාගෙන කොටු සහිත පිජාමා එකක් ඇඳ සිටියාය. තවකෙක් උරහිස දක්වා ඇති කොණ්ඩය කඩා දමා ¾ කලිසමකුත් ටී ෂර්ට් එකකුත් ඇඳ සිටියාය. අනෙක් තැනැත්තිය මගේ දුරකථනය රැගෙන ආ තැනැත්තියයි. ඇය සායක් සමග බ්ලවුසයක් ඇඳ කොණ්ඩය බැඳ සිටියාය.

අප මෙහි පැමිණි මොහොතේ මා මේ නිවුන් සොයුරියන් නොදුටුවේ මන්දැයි දස අතේ කල්පනා කලෙමි. මා එතරම් හොඳ සිහියකින් නොසිට ඇත. කෙසේ වුවද මා ඒ ගැන කනගාටු වුයෙමි. ලොකු අයියා මට කීවේ සෑම දෙයක් පිළිබඳවම හොඳ අවධානයකින් පසු විය යුතු බවයි.

 අපි නිහඬව තේ පානය කළෙමු. රෝසි නන්දාගේ දුරකථනය නාද වීමෙන් ඇයට උන් හිටි තැන අමතක වුවා සේ ඇගේ කාමරයට දිවුවාය..

“ඉතින් දැන්.... මගේ වාරෙ, මෙහෙම ගල ගිල්ල වගේ ඉඳල හරි යන්නෑනේ. කෙරෝලෙන් පටන් අරන් නම ගම කිවුව නම්. ආ... කැමතිම නළුවාගේ නමත් කියන්න හරිද.”

ඒ අපේ කටකාර මිනුරිගේ හඬයි. ඇගේ සොයුරිය සෙනුරි අතින් කට වසාගෙන සිනාසුනාය. ඇය දෙස රවා බලා වැලමිටි පහරක් ගැසූ මිනුරි යලිත් කතා කළාය.

“මං ම පටන් ගන්නම්කො. මම මිනුරි. ගම අනුරාධපුර රඹෑව. ආසම නළුවා රිතික්. එතකොට මෙයා මගේ නංගි. නම සෙනුරි. එයා ආස නළුවා මේ ලඟදි මැරුණා. නෑ නෑ අභාවප්‍රාප්ත වුනා.”

“මම ගෝතමී. අවේ නුවර ඉදන්.” කැරලි කොන්ඩකාරිය පැවසුවාය.

“කෝ නළුවා.” මිනුරි බැරෑරුම් ලෙස ඇසුවාය.

“රොෂාන් රණවන.” බිම බලාගෙන ලජ්ජා සහගතව ඇය පැවසුවාය.

“next”

“මම සෙනන්යා. ගම වරකාපොල. නළුවන්ට ආස නෑ.”  ඉතාම නොසැලකිලිමත් ලෙස ¾ කලිසම්කාරිය පැවසුවාය.

“ම්හ් ඒකත් එහෙමද? නළුවන්ට ආස නැත්නම් නිළියන්ට ආසද?” මිනුරි ඇසුවාය.

“ඇයි අහන්නේ? ඔයාට මොකටද?” මෙසේ කියමින් රවාගෙන ඇය යන්නට ගියාය.

“අහන්නේ දැනගන්නනේ හා නැද්ද? අකමැති නම් කියන්නෙපා.”මිනුරි අමනාපයෙන් කීවාය.

මගේ වාරය පැමිණියේය. ඇත්ත වශයෙන්ම මම කැමති නළුවාගේ නම මට අමතකව තිබුණි.

“මම හංසිනී, ගම ගම්පහ.” පැවසු මම නිහඬ වීමි. මිනුරි මගේ ඇස දෙස කෙලින් බලා සිටියාය.

 මම මදක් අපහසුතාවට පත වීමි.

“මං ආස රාජ මුදලාලිට.” වැඩිදුර නොසිතාම කියා දැමුවෙමි.

හැමෝම සිනාසුනහ. “කවුද අනේ රාජ මුදලාලි කියන්නේ?” සිනා හඬ අතරින් සෙනුරි ඇසුවාය.

“ම්..... මං දන්නවා කවුද කියල. මටත් නම මතක නෑනේ.”ඒ මිනුරිය.

“මං තිසාරා. ආවෙ මාතර ඉඳලා. මං ආස ජැකී චෑන් ට.” අමාරුවෙන් හිනාව නවත්වාගනිමින් අවසන් තැනැත්තිය කීවාය.

“නියමයි. ඇයි දන්නවද මං ඔයාලගෙන් ආස නළුවා ඇහුවේ? සාමන්‍යායෙන් කවුරුහරි කැමති එක දෙයක් දැනගත්තම එයා ගැන ටිකක් විතර තෙරු ගත්තැකි. වරදින වෙලාවලුත් නැත්තේම නෑ. එහෙනම් සභා තොමෝ සතුටින් විසිර ගියහ හොදේ.” 

මිනුරි නිරායාසයෙන්ම අපේ නායිකාව බවට පත්ව හමාරය. අපි නැවතත් තම තමන්ගේ කාමර වල තනි වීමු. තවමත් අස් කර නොතිබූ මගේ බෑග් වලින් ඒවායේ ඇති දේවල් එකින එක එලියට ගත්තෙමි.

මා මෙහි පැමිණීමට පෙර දින අම්මාත් එහා ගෙදර කුමුදු අක්කාත් මගේ බෑග් සකස් කළහ. ගේ අස්සරහ අඹ ගහ යට බංකුව උඩ මමත් පොඩි අයියාත් ඔහේ බලාගත්තු අත බලාගෙන සිටියෙමු. වෙනත් දිනයක නම් තොර තෝංචියක් නැතුව කියවන අපි දෙන්නාගේ කටවල් එදා වැසී තිබුණි.

No comments:

Post a Comment

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...