Friday, July 13, 2012

ස්නේහයක සිතුවම්. දෙවන දිගහැරුම


මට මහා තනිකමක් පාළුවක් දැනුණි. මා සමග සිටි අනෙක් ගැහැණු ළමයි ද ඔවුන්ගේ ලෝක වල තනි වී සිටියහ. රෝසි නැන්දා අපට අපේ කාමර පෙන්වූවාය. 

“ඔයාලගේ කට්ටිය අඩුයිනේ. ඒ හන්ද ඔයාල හරිම ලකී ගොඩක් ෆැසිලිටීස් තියෙනවා. මේකේ අයිතිකාරයෝ කොරියන් කාරයොනේ. උන් හිතන්නේ අපේ ළමයිත් උන්ගේ ළමයි වගේ කියල තනියම හැදෙන. කොහොමහරි ඔයාල හැමකෙනාටම තනි කාමරේ ගානෙ ලැබෙනවා. මං නම එකට ටිකක්වත් කැමති නෑ.මොකද ඔයාල එකට ඉන්න තරමට හොඳයි. තමන්ගේ කාමරේ තියෙන දේවල් ගැන තමන් වග කියන්න ඕනෙ. ඔයාලට කබඩ් එකයි මේසෙයි පුටුවයි ඇඳයි ලැබෙනවා......”

තවත් මොනවදෝ කීවාය. මම මගේ කාමරයට ආවෙමි. ගෙදර මගෙත් අම්මාගේත් කාමරය තරම්ම වූ එහි රෝසි නැන්දා කියූ පරිදි ඇඳක් මේසයක් පුටුවක් කබඩ් එකක් තිබුණි. විදුලි පංකාවක් ද විය. දිය ඇල්ලක විශාල ඡායා රූපයක්‌ ද ලා නිල ආලේපිත බිත්තියේ එල්ලා තිබුණි. අපි හය දෙනාටම තිබුනේ නාන කාමර දෙකකි.

හිත හුදෙකලාවෙන් පිරී තිබුණි. අස් කිරීම පැත්තක දමා මම ඇඳුමක් තුවායක් සහ සබන් රැගෙන නාන කාමරය සොයා ගියෙමි. මා එහි යන විටත් නාන කාමර පිරී තිබුනේය. එනිසා මම ආපසු හැරුනෙමි.

“ස්.. ස්.... මේ ඇටකිච්චි කොහෙද යන්නේ? මෙහෙ මෙහෙ....” මගේ පිටුපසින් ඇසුනි. මම පුදුමයෙනුත් පුදුමයට පත් වුයෙමි. මහත් හුරු පුරුදු බවක් දැනුනු බැවින් මම ආපසු හැරුනෙමි. සිනාවෙන මුව පිරුණු ගැහැණු ළමයෙක් මා දෙස බලා සිටියාය. කරලට ගොතා තිබු කෙස් වැටිය මුදා හරිමින් මම ද ඇය අසලට ගියෙමි.

සාදරයෙන් පිලිගන්නවා ලිඳ ළඟ සංගමේට. ඉතින් ඉතින් කොහොමද...?”

ඩෙනිම් සායක් සහ රතු පැහැ ටී ෂර්ට් එකක් ඇඳ කොණ්ඩය උඩට කර බැඳගෙන තුවායක් කරේ දමාගෙන සිටි බලල් ඇස් ඇති තැනැත්තිය සිනාසෙමින් ඇසුවාය.

“හොඳයි. ඒ වුනාට දුකයි අනේ” කඳුළු නැවත්වීමට විශාල උත්සාහයක් දරමින් මම කීවෙමි.
"මුණ කජු ලෙල්ලක් වගේනෙ මට නම් හොඳක් පෙන් නෑ. මට හිතුන ඔයා වගේ හොටු බබාල ඉඳී කියල.” 

කියන්නට වචන අමුණා ගත නොහැකිව මම ලතැවුනෙමි. ඇයට සිතින් බැන වැදුනෙමි. මා ළඟ සිටි තැනැත්තිය ගැන නොතකුවෙමි.

අප සිටියේ යකඩ වැටකට හේත්තු වෙමිනි. අපේ එක් පසෙකින් වසා දැමූ කාමරයක් තිබුණු අතර අනෙක් පසින් නාන කාමර වලට යන පටු කොරිඩෝව තිබුණි. නාන කාමර දෙකම එක ළඟ පිහිටා තිබුණි. මම එළිමහන දෙස බලා සිටියෙමි.

මේ වෙලාවේ මම ගෙදර සිටියා නම් අම්මත් එක්ක ලොකු කතාවකි. නැත්තම් කතා පොතකට යට වී සිටී. නැත්තම් පොඩි අයිය එනතුරු මග බලාගෙන සිටී. ආයේ කවද ගෙදර යන්නද? මං කොච්චර සතුටකින්ද ගෙදර හිටියේ?  මගේ සිත ගෙදර ගියේය. උසස් පෙළ විභාගයට පෙනී සිට මට නිදහසේ ගෙදර සිටීමට හැකි වූයේ මාසයකටත් අඩු කාලයකි. විභාගය අවසන් වී දවස් කිහිපයක් ගත වී ගියේය. එක දවසක රාත්‍රියේ කොළඹ නේවාසිකව සිටින අපේ ලොකු අයියා හදිසියේ පැමිණියේය. සාමාන්‍යයෙන් ඔහු පැමිණෙන්නේ මාසයකට වතාවකි. ඔහුගේ හදිසි පැමිණීමෙන් අපි මදක් කලබලයට පත් වීමු. අපේ තාත්තා කෝටියක්‌ ප්‍රශ්න ඇසුවේය.

අපේ ලොකු අයියා අමුතුම පුද්ගලයෙකි. ඔහු අනෙක් අය තරහ ගැන්වීමට හපනෙකි. එමෙන්ම පුදුම ඉවසීමක් ඇති පුද්ගලයෙකි.

“චූටි, මං මේ හදිස්සියෙ ආවෙ ඔයාව එක්ක යන්න.” ලොකු අයියා කීවේ කෑම මෙසයේදීය.

“මං....... මං කොහේ යන්නද ලොකු අයියෙ.”
    
“පොඩි exam එකක් තියෙනවා ඔයාට හෙට.”

අයිය මොනවද මේ කියන්නේ, විහිලු කරන්නෙපා අනේ මේ හදිස්සියේ මොන exam ද?”

“බය වෙන්නෙපා මැට්ටි, මෙයා හොදටම බය වෙලානේ. මේ පොඩි එකක් හෙට උදේම ලෑස්ති වෙන්නකෝ. ගිහින්ම බලමු.”

වෙනත් කිසිවක් නොපැවසූ ඔහු නිදන්නට ගියේය.
මගේ සිත මහත් තැවුලට පත් විය. අහම්බෙන් කඩාවැටුණු මේ හිසරදය පිළිබඳව මම තාත්තාගෙනුත් අම්මාගෙනුත් පොඩි අයියාගෙනුත් විමසුවෙමි. නමුත් සතුටුදායක පිළිතුරක් මට නොලැබුණි.

කෙසේ වුව ද පසු දින මම ලොකු අයියා සමග කොළඹ ගියෙමි. ලොකු අයියාගේ මහා ලොකු  exam එක ලිවුවෙමි. එතරම් සැර නොවූ නමුත් ලෙහෙසි ද නොවූ එය සාමාන්‍ය දැනුම සහ ගණිත ගැටළු වලින් සමන්විත විය.

පිටට වැදුණු හදිසි පහරකින් තතිගන්වුනු මම ආපසු හැරුනෙමි. 
    

No comments:

Post a Comment

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...