Wednesday, December 20, 2017

ඊළඟ නැවතුම....



කට කපල සෙනග හිටි බස් එකේ කොහොමහරි කරලා එල්ලුනේ ඊලගට එන බස් එකෙත් මේ සන්තෑසියම වෙන හන්ද. ටික දුරක් යන මන් වගේ මගියෙක් දැක්කම ශ්‍රී ලංගමල යන්නෙ ඉගිල්ලිලා. දවස් දෙකයි එක්කගෙන ගියේ. ඊලග දවසෙ ඉඳං එයාල අපිට ගෑස් පෙන්නනවා.  

අන්තිමටම බස් එකට නැග්ග මට යන්න උනේ ෆුට් බෝඩ් එකේ. සිංහලවත් නොතේරෙන නන්නාදුනන මිනිස්සු හතර වටේටම ඉන්න මේ වගේ පලාතක බස් එකක යන එක ටිකක් අමාරුයි සමහර වෙලාවට. එයාල අපි දිහා බලන්නේ අමුතුම ඇහැකින්. ගෑණු ආත්මයක් ලබන්න ඇයි මෙච්චර පව් කළේ කියල මගෙ හිතට එන වෙලාවල් නැතුවා නෙවෙයි.

මගෙ අත ලිස්සුව. නොහිතුව වෙලාවක බස් එක බ්‍රේක් කළා. හිතට ආවෙ හිතාගන්න බැරි තරමේ බයක්. මාව එලියට ඇදිල ගියා. මට කෑගහන්න ඕනෙ වුණා. එළියෙන් ආව සීතල හුළගේ මාව හිරි වැටිලා යද්දී කොහෙන්දෝ ආව උණුසුම් ශක්තිමත් අතකින් මගෙ අත අල්ලගත්ත. තත්පරයකින් මං ආයෙත් ඇදිල ආව. මොහොතකට මට දැනුනේ හිතාගන්න බැරි තරම් බයක්. මාව වෙවුලුවා. මේ හැම දේකටම ගත වුනේ තත්පර ගානක්. ඒත් මට දැනුනේ පැය ගානක් වගේ. මේ සිද්දිය දැනුනේ මටත් මාව වැටෙන්න නොදී අල්ලගත්ත කෙනාටයි විතරයි.

තවමත් මගෙ අත අල්ලාගෙන ඉන්න ඒ මුණ දිහා මං බැලුවේ බොහොම අසරණ විදියට.

“බොහොම ස්තුතියි....” කියන්න දේවල් ගොඩක් හිතේ ගොනු කරගෙන හිටියත් කියාගන්න පුළුවන් වුනේ එච්චරයි. ඒ ඇස් වල තිබුණු නපුරු බැල්ම මට දරාගන්න බැරි වුනා. ආයෙමත් මාව වැටෙන්න යද්දී ඒ ග්‍රහණය තව වැඩි වුනා. ගිණි පිට වෙන ඇස් දිගටම මගෙ මුණ දිහා බලාගෙන හිටියා. හිතට දැනුනු කාලකන්නි තනිකමත් එක්ක ලොකු කඳුළු බිංදු දෙකක් මටත් නොකියාම මගෙ ඇස මුලට එකතු වෙලා තිබුනා.

කියන්න දෙයක් කරන්න දෙයක් හිතාගන්න බැරුව මගෙ ඔලුව බිමට බර වුනා. මම දැක්කේ ලස්සන කැන්වස් සපත්තු ජෝඩුවක්. දුවිලි පිරුණු කළු ගැහුණු පරණ සෙරෙප්පු මැද්දේ කිටි කිටියේ හිර වුනු දිලිසෙන සපත්තු. කඳුළු අමතක වෙලා මගෙ හිතට දැනුනේ පුදුමයක් . ඒ වගේම ලැජ්ජාවක්. මොකද මගේ රබර් සෙරෙප්පු දෙකත් මට ලොකු අවනම්බුවක් වග හිතට දැනුන නිසා.

“ගොඩක් ස්තුතියි මගෙ ජීවිතේ බේරුවට.” කොහේදෝ නැති ධෛර්යයක් මගෙ හිතට කඩා වැදුනා. එත් ඒක මෝඩ කතාවක්. මට තේරුනා ආගන්තුකයාගේ මුනේ ඇදුනු සමච්චල් හිනාවෙන්. මම ඔහුගෙන්  කුමක් හෝ පිළිතුරක් බලාපොරොත්තු වුනා. නමුත් ඒ මුනේ ඇදුනු ලා හිනාවත් කොහේදෝ අතුරුදන් වෙලා ගියා. බොහොම පිළිවෙලට හැඳ පැලඳ හිටිය ඔහුගේ පෙනුම බොහොම කඩවසම්. මේ වගේ පළාතකට ඕනෙවටත් වැඩි ඔහුගේ පිළිවෙල. ඉරිසියාවක් දැනුනු මගෙ හිත එහෙම කීව.

කුණු වුන එළවලු ගඳ, කල්ප කාලාන්තරයකින් හෝදලා නැති ඇදුම් වලින් එන හඩු ගඳට එකතු වෙච්ච දාඩිය පිලි ගඳ, තැන තැන දාපු හරක් මල කුණු වලින් එන ඉවසන්න බැරි කුණු ගඳ පිරුණු පොළ ළඟ බස් එක නැවතුනා. ලැබුණු පුංචි අවසරයකින් බස් එක ඇතුලට යන්තම් රින්ගගත්තු මම පහසු තැනක හිටගත්තා. ආගන්තුකයාගේ අතින් ගිලිහුණු මගෙ අත ඔහුව ආයෙත් මට මතක් කළා. දොර ලඟින් හිටගෙන තවමත් මං දිහා බලාන ඉන්න ඔහු  මගෙ හිතට මහා පසුතැවිල්ලක් එකතු කළා.

නාගරික ජීවිතයකට හුරු වුනු මං උපන් ගේ දාල මේ වගේ දුෂ්කර ගමකට ආවේ ජීවිතේ අත්වින්ද හැමදේම අමතක කරන්න. අලුතින්ම පටන්ගන්න. එත් මම තවම ඉන්නේ ඒ අඳුරු අතිතයෙමයි. අවුරුදු දෙකකට කලින් කැමතිම දේවල් අමතක කරලා අකමැතිම දේවල් ළං කරගෙන හැම දෙකින්ම පැනල ආවේ වෙනත් විකල්පයක් නොතිබුන නිසා.

වැරහැලි වුනු සාරි වලින් ඔලුවේ ඉදන් වහගෙන කොයි වෙලෙත් හපන බුලත් විට අතේ මිටි කරගෙන හිනා පොදක් මුනේ දකින්න නැති මේ වයසක මිනිස්සු එක්ක බලද්දී මට මොන ප්‍රශ්නද? දරුවෝ දහ දොළොස් දෙනෙක් එක්ක ඔට්ටු වෙලාම වැහැරිලා ගිය වෙව්ලන අත් වලින් එළවලු පලා ටිකක් හොයාගෙන සති පොලට ගෙනත් උගුර ලේ රහ වෙනකල් කෑගහල වේලක් කන්න හොයාගන්න මේ මිනිස්සු විඳින දුක වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මේ ජීවිත ගැන හැමදෙයක්ම දැනගෙනත් මේ ගමට එන්න තීරණය කරද්දී මගෙ උසස් නිලධාරියා මට පුන පුනා කීව තව හිතන්න කියන වචන ටික.

ක්වාටස් එක ළඟ තියෙන ලොකු මාර ගහ දකිනවත් එක්කම මගෙ කල්පනාව බිඳිලා ගියේ බහින්න ලැස්ති වෙන්න ඕනේ නිසා. මම බස් එකට නගින්නත් කලින්ම කොන්දොස්තර මහත්තයා මගෙ ෆුඩ් සිටි ලොකු බෑග් එක ඉස්සරහට දැම්ම. ඒකත් හොයාගෙන අමාරුවෙන් දොර ලඟට ආවේ මමයි මගෙ බෑග් එකයි නිසා අපහසුවට පත් වුනු මගීන්ගේ නොරුස්නා හඬවල් මැදින්. ඩෙනිම් කලිසමට දණහිසට දිග කමිසයක් ඇඳලා හිටිය මම වැඩිපුර මිනිස්සුන්ගේ මුනවල් දිහා බලන්නේ නැතුව ඉන්න පුරුදු වෙලා හිටියේ. හේතුව බහුතරයක් මිනිස්සුන්ට මාව පෙන්නේ පිටසක්වල ජීවියෙක් විදියට. ඒ බැල්මට මගේ තියෙන අකමැත්ත.

නමුත් මගෙ විදිය මටම අමතක වෙලා ඒ ආගන්තුකයා දිහා ආයෙත් මම බැලුවා. ඒ ඇස් දිගටම තිබුනේ මගෙ දිහාවට හැරිලා.

“පුරුදු නැති දේවල් කරන්ඩපා මිස්. ඒව ගැලපෙන් නෑ.” නුහුරු සිංහලෙන් ගැඹුරු හඬකින් ආගන්තුකයා මට කීව. මගෙ හදවත මොහොතකට නතර වුනේ ඒ වචන ටික මගෙ ජීවිතේටම ගැලපෙන නිසා. හදවත 
 නැවතුනත් ඒක නොපෙන්වා ස්තුති පුර්වක බැල්මක් එක්ක මම බස් එකෙන් බැස්සා.  

සතියකට කන්න ඇති වෙන්න හාල් තුන පහ එළවලු ටික ගන්න හැම සති අන්තයකම මම මේ පුංචි ටවුමට යනවා. ඒ යන හැම දවසකම හිතට දැනුන ඇල් මැරුණු පාලු මුසල ගතිය එදා දවස තරමක් දුරට පහ වෙලා ගිහින් තිබුන. ආගන්තුකයා දිගින් දිගටම හිත ඇතුලේ හොල්මන් කරද්දී අවුරුදු දෙකකට කලින් ගෙවිල ගිය ඒ අඳුරු මුසල දවස් කිහිපය ආයේ ආයෙත් මට මතක් වෙන්න ගත්ත.

අම්මෙක් තාත්තෙක් දැකලවත් නැති මමයි මගේ එකම අයියයි කොච්චර අමාරුකම් තිබුනත් බොහොම සතුටින් ජීවත් වුනා. එයා මට ඉගැන්නුවා. මාව පන වගේ ආරක්ෂා කළා. එයාට කොහෙත්ම දොස් කියන්න බෑ. නරකාදියක ඉඳන් එයා මට තව්තිසාව හදල දෙන්න උත්සහා කළා. ඒ වගේම එයා සාර්ථක වුනා. ඒත් අන්තිමේදී එයා කරපු හැම දෙයක් වෙනුවෙන්ම ලැබුනේ මොනවද? උගත්කමින් අන්ධ වෙච්ච කාලකන්නි නංගි කෙනෙකුගේ වෛරයක් පලිගැනීමක් විතරයි. මම දන්නවා මම මේ ගෙවන ජීවිතේ මට හොඳ වැඩී.
මහා විශාල පසුතැවීමක් එක්ක සමාවක් නොලැබෙන වරදක් එක්ක ජීවත් වෙන එක ගොඩක් අමාරු වැඩක්. හිර ගේක ලගිනවට වඩා ලොකු දඬුවමක්.

හදිස්සියේම මගේ ආත්මාර්ථකාමී හිතට මේ සිතුවිලි වලින් ඉක්මනින්ම බැහැර වෙන්න ලොකු උවමනාවක් ඇති වුනා. කව්රුවත් කතා නොකරන කාටවත් කතා නොකරන මගේ කුඩා දුරකථනය හොයාගෙන ගියේ ඒ නිසා. නිතර ගෙනියන අත් බෑග් එක නුවමනාවෙන් අවුස්සද්දී මගේ අතට හසු වුනේ මගේ නොවන කුඩා ලිපි කවරයක්.

හිතට ඇති වුනු තිගැස්මත් එක්ක මගේ ඇඟිලි තුඩු වඩාත් යුහුසුළු වුනා. කිසිම හැඩයක් නැති අපැහැදිලි ඒ හුරුපුරුදු අත් අකුරු මට කතා කළා.

“ආදරණීය පොඩ්ඩියේ,

  උඹ මේ කියවන්නේ මගේ අන්තිම කැමැත්ත. උඹ මගේ රත්තරන් නංගි. උඹ මොනවා කලත් කවදාවත් මං උඹත් එක්ක තරහ නෑ. උඹ ඒක දන්නවා. මගේ පන උඹ. මට හිටියේ උඹ විතරයි. අද ඉඳන් උඹ තනි වෙනවා. උඹ අතේ කිසිම වරදක් නෑ. උඹ හැමවෙලේම හිටියේ හරි පැත්තේ, මං වැරදි පැත්තේ. මං මගේ ජීවිතේ කරලා තියෙන පව්කාර වැරදි වලට උඹ වග කියන්න ඕනේ නෑ. මම දන්නවා දවසක මොන විදියකින් හරි මට වන්දි ගෙවන්න වෙනවා. ඒ වරද උඹේ පිටට දාගන්නෙපා. උඹ කලේ හරි දේ. මේ කාලකන්නි අයිය හින්දා උඹේ රත්තරන් වටිනා ජීවිතේ නාස්ති කරගන්නෙපා.

උඹ මාව පාවා දෙනවා. මං ඒක දන්නේ අදක ඊයෙක නෙවෙයි. උඹට මගේ ජරා වැඩ ඉවසන්න බෑ. මගේ ජීවිතේ මං කරලා තියෙන එකම හොඳ වැඩේ උඹට හොඳට උගන්නල ලොකු මහත් කරපු එක විතරයි. මං හින්දා උඹ පටන්ගන්න හදන ලස්සන ජීවිතේ අතාරින්න එපා. උඹේ ආදරේ උඹ එනකල් මග බලාගෙන ඉන්නවා. ඒ ආදරේට පයින් ගහන්න එපා. මට උඹෙන් ඉල්ලන්න තියෙන්නේ එච්චරයි. මගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කරපන්. ජාති ජාතිවත් මං උඹත් එක්ක තරහා නෑ. උඹේ අතේ කිසිම වරදක් නෑ මගේ රත්තරන් නංගියේ.
                                                                                        උඹට හැමදාම ආදරේ කරන අයියා.

ඇස් දෙකෙන් ගලන කඳුළු ගඟ නවත්තන්න මට ඕනේ වුනේ නෑ. මහා හයියෙන් ඇහෙන මගේ ඉකිය කාමරය දෙදරුම් කෑවා. කව්රුවත් නැති ක්වාටස් එකේ මගේ හැඬුම් අහන්න කෙනෙක් නැති බව මම දැනගෙන හිටියේ. ටික වෙලාවකින් ඇහුන දොරට මහා හයියෙන් ගහන හඬින් ආයෙත් පියවි සිහියට ආවා. දොර ඇරියේ කොහොමද කියන්න මම දන්නේ නෑ.

“අවුරුදු දෙකක් තිස්සේ මම හෙව්වා. මිස්ගේ අයියගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කරන්න.  මිස් ගැන තොරතුරක් හොයාගන්න බැරුව මිස්ගේ මහත්තය විඳින දුක අදටත් මට බලාඉන්න බෑ මිස්. මට දැන් කියන්න තියෙන්නෙත් කලින් කියපු දේම තමයි. පුරුදු නැති දේවල් ජීවිතේට ගලපගන්න හරිම අමාරුයි.”

ආගන්තුකයාගේ කතාවට වචනෙකින්වත් බාධා කරන්නවත් එකඟ වෙන්නවත් මට කිසිම ධෛර්යයක් තිබුනේ  නෑ කඳුළු වේලිලා තිබුණු ඇස් වලින් ඈත බලාගෙන ඉන්නවා හැර.

“අපේ ජීවිතෙත් හරියට බහින තැන දන්නේ නැති බස් ගමනක් වගේ මිස්. හොඳ පාරවල් වල යනවා. කැඩුණු පාරවල් වල යනවා. තව අය නගිනවා. සමහරු බහිනවා. වැරදි තැන් වල නවත්තනවා. කොහොම වුනත් අපේ ගමන අපිට ඉවර කරන්නම වෙනවා. හැබැයි අපිට ඉඳගන්න හොඳ තැනක් හොයාගන්න පුළුවන් අවස්තාවක් ලැබුනම.”

https://ak3.picdn.net/shutterstock/videos/23838673/thumb/1.jpg?i10c=img.resize(height:160)
ආගන්තුකයා ආපහු ගියේ මට හිතන්න ගොඩාක් දේවල් ඉතුරු කරලා. අයිය ඇරුනම මගේ ජීවිතේට ලං වුනු එකම පිරිමියා. කොයිතරම් ලස්සන දවස් කොයිතරම් ලස්සනට ගෙවිල ගියාද? ලස්සන මතකයන් කොච්චරක් අපි එකතු කලාද? එකිනෙකා ළඟ නැතුව හුස්මක්වත් නොගන්න තරමට ලං වෙලා හිටිය අපි කොහොමද මෙච්චර දුරට වෙලා මෙච්චර කාලයක් ගෙවල දැම්මේ? මම කොයිතරම් ආත්මාර්ථකාමී ද?

දහස් ගානක් සිතුවිලි එක්ක රණ්ඩු කරලා අවසානෙදි මම තීරණයක් ගත්තා. මේ චාරිකාවේ ඊළඟ නැවතුම වෙනකල් හොඳ මගියෙක් ළඟ තියෙන සුව පහසු ආසනයක ඉඳගන්න....

                                                                             නිමි.     

කාලෙකට  කලින් හිතට ආව අදහසක් වචන කරන්න හිතුනා. මේ කතාවේ සමහර තැන් විස්තර කරද්දී මට ගොඩක් පරිස්සම් විය යුතුයි කියල හිතුනා. කොයිතරම් සාර්ථකද දන්නේ නෑ. කියවන ඔයාලගේ අදහස් එකතු කරලා යන්න.

No comments:

Post a Comment

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...