Wednesday, October 7, 2015

G.අක්බර් වෙත H.ජෝදා ගෙන් උපන්දින සුභපැතුම්.......


යට ගිය දවස එකදාස් නවසිය අනු එකක් වූ වප් මස අට වැනි දින G.අක්බර් උපත ලැබීය. ඔහු H.ජෝදා වන මට වඩා හරියටම සති තුනකින් වැඩිමහළුය. එකම නගරයේ එකම ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ අපි උපත ලැබුවෙමු. කතාව පටන් ගනු ලබන්නේ මෙලෙසය. මට ඔහුව හමු වන්නේ මීට වසර සෑහෙන ගානකට පෙර අපි පාසලේ අපොස සා.පෙ පන්තියේ ඉගෙනුම ලබන දිනවලය. (එසේ නම් දැන් ඔබට ගණන සාදා ගත හැකි වනු ඇත.) 

 
ඔහු මා සිටින පන්තියට පැමිණෙන්නේ අපේ පන්තියේ එකෙකු විසින් කරනු ලබන පාහර ක්‍රියාවක් ප්‍රතිඵලයක් ලෙසය. එනම් G.අක්බර් මගේ පන්තියේ එකාගේ පැරණි මිතුරෙකු වූ බැවින් උප විදුහල්පති තුමා විසින් G.අක්බර්ට තෝරා දී තිබු පන්තිය වෙනස් කිරීමෙනි. (කුඩා තුන්ඩු කැබැල්ලක සටහන් කර තිබු 10-E යන්න 10-C බවට වෙනස් කිරීමෙනි. අපේ උප විදුහල්පති තුමාගේ අත් අකුරු වල පැහැදිලි භාවය මේ සඳහා ඔහුට බෙහෙවින් ඉවහල් විය.) එසේම පනින රිලවුන්ට ඉනිමන් බඳිනවා සේ G.අක්බර්ව පන්තියට ගෙන යාමට භාර කොට තිබුනේ එකල ශිෂ්‍ය නායකයකුව සිටි අපේ පන්තියේ එකාටමය. එලෙස G.අක්බර් මගේ පිටුපස පේලියට පැමිණියේය. ඒ මා දහයේ පන්තියේ සිටියදීය. 

එකොලොස් වෙනි පන්තියේදී කොන්දේසි හතකට යටත් වූ ඔහු ඔහුගේ සහචරයන්ගේ ෆුල් සපෝට් එක සහිතව මාව දැලේ දා ගත්තේය. අනේ ඉතින් අහිංසක මාද එදා ඒ දැලට හසු වුයෙමි. නමුත් කල් යත්ම මට වැටහී ගියේ ඒ දැල එතරම් නරක නැති බවය. එකටම අපොස උ පෙ පන්තිද ගියෙමු. මා නිසා (නැත ඔහු සතුව කුඩයක් නොතිබූ නිසා මගේ කුඩයට පැනීමේ වරදට) ඔහුට එක අවස්තාවක අපේ එක්තරා උපකාරක පන්ති ගුරුතුමෙකුගෙන් පාර මැද බැනුම් අසන්නටද සිදු විය.

ඉන් අනතුරුව මගේ හිතුවක්කාර කම සහ බලධාරීන්ගේ අතපසු වීමක් මත සමන්තුරේ සිර ගත වීමි. (ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය. ව්‍යවහාරික විද්‍යා පීඨය) G.අක්බර් මෙය කියවනවා නම් දැන් මට අනිවාර්යෙන් සිතින් බැනවැදෙනු ඇත. ඊට වසරකට පසු ඔහු මොරටුවේ සිර ගත විය. දැනට කෙටියෙන් කතාව මෙසේයි..

අද ඔහුට සුවිශේෂී දිනයකි. ඉතින් එය මටද සුවිශේෂී වෙයි. නමුත් ඔහුට මේ දින වල හමු වී සිටින අති භයානක හතුරා නිසා අද දිනයවත් නිදහසේ ගත කිරීමට ඉස්පාසුවක් නැත. ඔහුගේ හතුරා මගේත් හතුරාමය. (මට එන කේන්තිය නම් කියා නිම කල නොහැක.) මමද මේ දින වල මේ සටන අවසන් කිරීමට ඔහුට හැකි පමණ සහයෝගය ලබා දෙමින් සිටිමි.

(රාත්‍රී නවය පමණ පසු වූ විට මිනිත්තු පහලවෙන් පහලවට පමණ (doida) කෙටි පණිවුඩයක් යැවීමෙනි. යම් විටෙක එයට පිළිතුරු ලැබේ. (naaaa. Thawa godak thiyeeee. Epa wenawa. Mathaka hitin naaaa) මෙවන් පිළිතුරක් ලැබුනොත් මා සතුටු වෙමි. මන්ද ඔහු කෙසේවත් නිදා නොගන්නා බැවිනි. පිළිතුරු නොලැබුනොත් වහා ක්‍රියාත්මක වෙමි. මෙය රාත්‍රී 12.30 පමණ වන තෙක් මේ දින වල සිදු වෙයි. එසේම පාන්දර 5.30ට මගේ නිදි කුමරියට මදකට සමු දී කොට්ටය එහා පැත්තේ ඇති දඩ වහල්ල ගෙන ඇස් නොහැරම call button දෙවතාවක් ඔබා කන උඩ තබා ගෙන මද වෙලාවක් සිට හෙලෝ හෙලෝ ලෙස හු තැබීමෙනි. මෙසේ පස් හය වතාවක් උත්සහ ගන්නා විට යන්තම් එහා පැත්තෙන් හෙලෝ කියන තත්වයට පත් කර ගත හැක. ඉතින් මේ දින වල මගේ රාජකාරිය මෙය වෙයි.)

H.ජෝදා හිරු පැරදවීමට අකමැති බව G.අක්බර් හොඳින් දනී. එනිසා ඔහු දුකට පත් වේ. නමුත් කමක් නැත. ඔහුගේ සතුරා මගෙත් සතුරාම බව මා නැවතත් මතක් කරමි. එසේම මා හිරු පැරදවීමට අකමැති නිසා ඔහුගෙන් මා ඇති පමණ බැනුම් අසා ඇත. නමුත් ඔහු හවස් වරුවේ සිටම කුම්භකරණ වන නිසා මම ද ඇති පමණ ඔහුට බැන වැදී ඇත්තෙමි. ඉතින් දෙපස සමාන යයි උපකල්පනය කොට එය අපේ සමීකරණයෙන් ඉවත් කල හැක.

මාතෘකාවෙන් පිට යාම ගැන මාගේ බලවත් කනගාටුව.

මේ අමන මරි මෝඩ සතුරා නිසා අද ඔහුට උපන්දිනය සමරන්නට නොහැකිය. ඊටත් වඩා මගේ පංගුව මට නොලැබී යයි. එය ඉතාම අසාධාරණය. බෝඩිමේ කට්ටිය ඔහු ගානේ අද රාත්‍රී ආහාරය ලබාගෙන ඇත. මට හුලන්ය. මම ඉරිසියාවෙන් පෙලෙන්නෙමි. නමුත් ඒ වෙනුවෙන් කෙල බිඳක් ගිලින්නටවත් ඉඩක් නැත. මන්ද ඔවුන් සැම මේ දින වල නියලී සිටින සටන නිසා ඔවුන් අමාරුවේ දැමිය නොහැක.

පෙර වසර වල මෙන් G.අක්බර් වෙත උපන්දිනය වෙනුවෙන් මා ලියනා කවි පදවැල් අද දින නම් ලබා දිය නොහැක. මන්ද මගේ කවි සිතුවිලි ඔහුගේ හතුරා නිසා වියලී ගොස්ය. ඒ වෙනුවෙන් උදහස් නොවන ලෙස G.අක්බර් ගෙන් ඉල්ලා සිටිමි. 

නිරෝගී සුවයත්, සිතේ සවියත් සතුටත් සදාකල් G.අක්බර් වෙත ලැබේවායි මම නිබඳවම ප්‍රාර්ථනා කරමි. මෙය කියවන කවුරුන් වුවද එසේ ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කල යුතුය.

ඊට අමතරම ලබන වසරේවත් එක්සෑම් නම් වූ අමන මරි මෝඩ සතුරු උපද්‍රවය ඔක්තෝම්බර් මාසයේදී අප වෙත ලං නොවේවායි මම ප්‍රාර්ථනා කරමි. ඔබද අප වෙනුවෙන් එසේ කල යුතුය.

තවද G.අක්බර් වෙත දැන්වීමට අති විශේෂ පණිවුඩයක් මා සතුව ඇත. තවත් දින අටකින් ඔබ පැමිණෙන විට මට දෙගුණයක් කේක්, දෙගුණයක් අයිස් පීම් සහ දෙගුණයක් චොකලට් රැගෙන ආ යුතුය. එසේ නොවුනහොත් එය ඔහුගේ සරීර සෞඛ්‍යයට අහිතකර වනු ඇත.

ඊට අමතරම මා සඳහා ඉංග්‍රීසි චිත්‍රපට 5ක්ද හින්දි චිත්‍රපට 2ක්ද කාටුන් චිත්‍රපට 5ක්ද ටීවී සීරිස් කිහිපයක්ද රැගෙන ආ යුතුය. එසේ නොවුනහොත් ඔහුගේ සරීර සෞඛ්‍යයට තව තවත් අහිතකර බලපෑම් එල්ල වනු ඇත.

G.අක්බර්, ඔබේ සියලුම පැතුම් සඵල වේවායි අවසාන වශයෙන් H.ජෝදා වන මම ඔබේ උපන් දිනය දා ප්‍රාර්ථනා කරමි. නුඹ අසලම නිබඳවම රැඳෙන බවටද සහතික වෙමි.

අපේ පෑන්කේක් ආදරයට ජය වේවා....!

මීට H.ජෝදා  


      

5 comments:

  1. ශා.. හරිම නරක වැඩක් මේ සතුරා කරලා තියෙන්නේ! same story here! :D හරියටම දවස් හයකට කලින්! :D

    ReplyDelete
    Replies
    1. අපොයි... හරිම කනගාටුයි මිත්‍රයා.... හ්ම්ම්ම්ම්

      Delete
  2. ඇච් ජෝදා ජී අක්බර් පිස්සු වගේ නේහ්...
    කොළුවට සුභ උපන් දිනයක් කීව ඔන්න අපිත්
    ඊළග අවුරුද්දෙ වත් දෙන්න එක තැනක සැට්ටෙලා උපන්දිනේ කන්න ලැබේවා කියල ඉත සිතින් පාර්තනා කොරනව
    ඕ යේස්

    ReplyDelete
    Replies
    1. බොහෝ......ම ස්තුතියි යාලු. අනේ ඉතින් මටත් වෙච්ච දෙයක්.

      Delete
  3. මේ ජෝ... ඔන්න ඔයාට මන් ඉල්ලපු ඒවා දුන්න හොදේ ...........................:) <3

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...