Wednesday, December 20, 2017

ඊළඟ නැවතුම....



කට කපල සෙනග හිටි බස් එකේ කොහොමහරි කරලා එල්ලුනේ ඊලගට එන බස් එකෙත් මේ සන්තෑසියම වෙන හන්ද. ටික දුරක් යන මන් වගේ මගියෙක් දැක්කම ශ්‍රී ලංගමල යන්නෙ ඉගිල්ලිලා. දවස් දෙකයි එක්කගෙන ගියේ. ඊලග දවසෙ ඉඳං එයාල අපිට ගෑස් පෙන්නනවා.  

අන්තිමටම බස් එකට නැග්ග මට යන්න උනේ ෆුට් බෝඩ් එකේ. සිංහලවත් නොතේරෙන නන්නාදුනන මිනිස්සු හතර වටේටම ඉන්න මේ වගේ පලාතක බස් එකක යන එක ටිකක් අමාරුයි සමහර වෙලාවට. එයාල අපි දිහා බලන්නේ අමුතුම ඇහැකින්. ගෑණු ආත්මයක් ලබන්න ඇයි මෙච්චර පව් කළේ කියල මගෙ හිතට එන වෙලාවල් නැතුවා නෙවෙයි.

මගෙ අත ලිස්සුව. නොහිතුව වෙලාවක බස් එක බ්‍රේක් කළා. හිතට ආවෙ හිතාගන්න බැරි තරමේ බයක්. මාව එලියට ඇදිල ගියා. මට කෑගහන්න ඕනෙ වුණා. එළියෙන් ආව සීතල හුළගේ මාව හිරි වැටිලා යද්දී කොහෙන්දෝ ආව උණුසුම් ශක්තිමත් අතකින් මගෙ අත අල්ලගත්ත. තත්පරයකින් මං ආයෙත් ඇදිල ආව. මොහොතකට මට දැනුනේ හිතාගන්න බැරි තරම් බයක්. මාව වෙවුලුවා. මේ හැම දේකටම ගත වුනේ තත්පර ගානක්. ඒත් මට දැනුනේ පැය ගානක් වගේ. මේ සිද්දිය දැනුනේ මටත් මාව වැටෙන්න නොදී අල්ලගත්ත කෙනාටයි විතරයි.

Sunday, November 26, 2017

ඉර නැතුව අහසටත් දුක ඇති හරියටම මේ මට වගේ...




Related image
බිංදු වැටෙනා වැහි පොදේ අද රටා නෑ වෙනදා වගේ
දිගට ඇහෙනා චුරු චුරුව අද මගේ හිත හඬනව වගේ

අහස ඉහිරුණු කළු වළාකුළු මගේ මුකුලිත මුව වගේ
ඉර නැතුව අහසටත් දුක ඇති හරියටම මේ මට වගේ

Wednesday, October 4, 2017

දුර්ග චාරිකා ...(ඇගේ අවසාන සටහන)

පෙර කොටස් වලට

දුර්ග චාරිකා... (ඇගේ සය වන සටහන)
දුර්ග චාරිකා... (ඇගේ පස් වන සටහන)


එය කිසිවෙකුත් නැති පාලු මුසල ස්ථානයක් බව ප්‍රධාන දොරටුව අසලදී අපිට වැටහිණි. නමුත් විශාල කුනාටුවකට පෙර ඇති නිහඬ බවින් අපේ සිත් සසල වී තිබිණි. අප ඉක්මන් කල යුතු විය. පිටින් දුටුවාට වඩා එම ගොඩනැගිල්ල විශාල විය. ඊළඟ විනාඩි පහලව ඇතුලත අප නැවත පැමිණිය යුතුය.  අපි ගියෙමු. 

ආරක්ෂකයා කියූ පරිදි පඩිපෙළ නැග්ගෙමු. දෙවන මහලට පිවිසෙනවාත් සමගම මගේ වම් පසින් සිටි පැහැසර කිසිවෙකු විසින් අල්ලා ගනු ලැබිණි. මම අත තිබු ගිනි අවිය ක්‍රියාත්මක කලෙමි. ඉන් එක උණ්ඩයක් නිකුත් විය. ඒ සමගම මා අත තිබු ගිනි අවිය විසි වී ගියේ මගේ පිටුපසින් සිටියකුගේ පා පහරකිනි. පසුව මගේ ගෙල ප්‍රදේශයෙන් ඉතා සියුම් වේදනාවක් දැනිණි. එපමණය. මා සම්පුර්ණයෙන්ම අඩපන විය. 

Friday, September 29, 2017

දුර්ග චාරිකා... (ඇගේ සය වන සටහන)


පහුගිය කොටස් වලට 
දුර්ග චාරිකා... (ඇගේ පස් වන සටහන)

දුර්ග චාරිකා... (ඇගේ සිව් වන සටහන)

“හැම මනුස්සයෙක්ගේම පැති දෙකක් තියෙනවා. පුංචි කාලේ ඉඳන් තමන් ජීවත් වෙන වටාපිටාවත් එක්ක තමන්ගේ එක පැත්තක් වර්ධනය වෙනවා. හැඩ ගැහෙනවා. මට ඕනේ ඒ විදියට එක පැත්තක් වර්ධනය වුනු අය නෙවෙයි. මේ දැන් ඉන්න ඔයාල වගේ අය. දැන් ඔයාල මෙහෙට ආව දවසේ හිටපු අය නෙවෙයි. එක ඔයාලට පිළිගන්න සිද්ද වෙනවා. එහෙම නේද? ඔයාල සම්පුර්ණයෙන්ම වෙනස්. හැබැයි ඒ වෙනසට මම ගොඩක් කැමතියි. එක තමයි අවශ්‍ය. ම්ම්... ඔයාල ආවේ කොහෙන්ද? මට මතක නෑ. සිම්රන්?”සර් ජේම්ස් සිම්රන් වෙත හැරුනේය.

ඔහුට පසෙකින් සිටගෙන සිටි සිම්රන් තම අතින් කිසිවක් සන් කළේය.

Tuesday, September 26, 2017

දුර්ග චාරිකා... (ඇගේ පස් වන සටහන)



පහු  ගිය කොටස් වලට 

“කැමතිද ගොළු භාෂාව ඉගෙනගන්න. ඔයාගේ අකමැත්තක් නැත්තම් මං ඒකට උදව් කරන්නම්.”

 එසේ පැවසුවේ අප සමග සිටි ඉන්දියානු ජාතික ආලියා යි. නමුත් ඇය කිසිම විටෙක සිම්රන් සමග කතා බස් නොකලාය. ඇත්තෙන්ම මම පුදුම වීමි. කෙසේ නමුත් මා ඇගේ යෝජනාව ඉතා සතුටින් පිළිගත්තෙමි. ඇය ආභාදිත ළමුන් සිටින පාසලක ගුරුවරියක් ලෙස මාසකිහිපයක් කටයුතු කර තිබිණි.  මා ඇගෙන් ගොළු බස උගත්තෙමි. ඉතා ඉක්මනින් අත්‍යවශ්‍යදෙවල් මතක තබාගත්තෙමි. දෙසතියකින් පමණ මම ගොළු බස හැසිරවීමෙහි තරමක් දක්ෂ වීමි. සිම්රන් ඒ ගැන ඉතා සතුටට පත්ව සිටියාය. මම ඇය සමග සිත් සේ කතා බහ 
කලෙමි.

නමුත් අනතුරුදායක වන කිසිවක් ඇගෙන් නොවිමසා සිටීමට වග බලා ගත්තෙමි. හුදෙක්ම මාගේ මානසික සන්තුෂ්ටිය උදෙසා එසේ කලෙමි. ඇය මගේ සොයුරියක් බව හැඟෙන තරමට ඇය මා වෙත සමීප වුවාය. මගේ සිතේ ඇති පීඩනය වටහා ගත්තාය.

Related Posts Plugin for WordPress, Blogger...