Tuesday, September 19, 2017

දුර්ග චාරිකා... (ඇගේ සිව්වන සටහන)



මුල්  කොටස් වලට මෙතනින් යන්න.




ඇත්තෙන්ම මට මතක එපමණය. මා නැවත දෑස විවර කලේ මට ආගන්තුක වූ කුටියකයි. බටහිර චිත්‍රපට වල මා දැක ඇති සිර මැදිරියක් බඳුවිය. කුඩා ප්‍රමාණයේ කුටියක් වූ එය ඇඳක් ජල කරාමයක් හා වැසිකිලියකින් පමණක් සමන්විත විය. යකඩ දොරටුවක් සහ දොර මද්‍යයේ කුඩා විවරයක් විය. එය ආහාර ලබා දීම සඳහා සකසා තිබිණි. කුටිය මද්‍යයේ කුඩා විදුලි බල්බයක් දැල්විණි.  එමෙන්ම මගේ ඇඳට මුහුණලා පුළුල් තිරයක් තබා තිබිණි. සිහි එලවා ගැනීමට මට මද වෙලාවක් ගත විය. සිදු වුයේ කුමක්ද? මා මෙහි පැමිණියේ කෙසේද? මා සැත්කම් පිහිය මගේ හෙදියගේ ගෙලට තබනු ත් ඇයගේ වචනත් මගේ මතකයට පැමිණියේය. නමුත් ඉන් පසු කුමක් සිදු විනිද? මට මතක නැත. මම දැඩි ලෙස එම අවස්ථාව මතකයට නගා ගැනීමට වෙහෙසුනෙමි. එහෙත් මා ඒ කිසිවක් නොදනිමි. මම කෑ ගසා කතා කලෙමි. නමුත් කිසිවෙකු පැමිනියේ නොවේ.

ආහාරත් ජලයත් සපයනු ලැබිණි. නමුත් කිසිවෙකු නොපැමිණියේය. දොරේ තිබු විවරයෙන් කිසිවකුගේ අතක් පමණක් මට දැක ගත හැකි විය. ඒ හැම විටම මම කෑ ගසා ඔවුන්ට කතා කලෙමි. නැත. මට කිසිවෙකුගෙන් පිළිතුරු නොලැබිණි.



ඒ දිනයේ කවර වෙලාවක්දයි දැන ගැනීමටවත් මට හැකියාවක් නොමැති විය. මව් රටින් පැමිණ මාස දහයක් පමණ ඉකුත්ව තිබිණි. මා කොතෙකුත් උත්සහ කලේ නින්ද මා හා මිතුරු කර ගැනීමටයි. මට කල හැක්කක් නැත. දිනක් දෙකක් ගෙවී යන්නට ඇත. මම ආහාර ගැනීම අත් හලෙමි. ජලය පමණක් බීමට ගත්තෙමි.බෙරිහන් දී කෑ ගැසුවෙමි. කිසිවකින් පලක් නැති බව දැනෙන්නට දින දෙක තුනක් ගත වන්නට ඇත. මා නිදා සිටියෙමි.දිගටම ගැඹුරු නින්දකට පිවිස සිටියෙමි. මියැදෙන තෙක් මා නිදා ගත්තෙමි. 

මා පිබිදුනේ දකුණතේ දැඩි වේදනාවක් සමගයි. මගේ දකුනතේ පිට පැත්තේ නහරය සිදුරු කල සලකුනූ ඉතිරිව තිබිණි. එනම් කවුරුන් හෝ පැමිණ ඇත. නමුත් කිසිවෙකු නැත. හදිසියේම මා ඉදිරියේ තිබු පුළුල් තිරය දසුන් පෙළක් මැවුවේය.

මට ඔහුව දැක ගත හැකි විය. නමුත් ඔහු සිටින වටපිටාව මට ආගන්තුක විය. එය නවාතැන් පලක කාමරයක් වන්නට ඇත. මා මේ ඔබට පවසන්නේ සචිත් අකලංක අබේකෝන් නමැති මගේ පෙම්වතා පිළිබඳවයි. මා ඔහු දුටුවේ මාස හතර පහකට පසුවයි. කිසිවෙකු පැමිණ ඔහුගේ කාමරයේ දොරට තට්ටු කරයි.  ඔහු දොර විවෘත කරයි.

“මොකද්ද කාරණේ?” ඔහුගේ කාරුණික කටහඬ මට ඇසිය හැකි විය.

“මට සමාවෙන්න සර්. ඔවුන් මට කීව ඔබට මෙය දෙන්න කියල.” මෙසේ පවසමින් ඔහු අසලට  පැමිණි අමුත්තා කර ලා සිටි බෑගයෙන් යමක් සොයයි. ගත වුයේ නිමේෂයකි. සියල්ල සිදු වී හමාරය. ඔහුගේ හිසට සැනෙකින් එල්ල වූ පිස්තෝල උන්ඩ දෙකකින් ඔහු කපා හෙලු ගසක් මෙන් ඇද වැටිණි.

මෙය සිහිනයක්ද? මට විස්වාස කල නොහැකිය. එය නපුරු සිහිනයක් වේවි මම පැතුවෙමි. නැත එය යථාර්ථයයි. මා වටා තිබූ සියල්ල කැරකෙන්නට විය. මෙය ද මට ලැබෙන දඬුවම? මගේ වරදට ඇයි ඔවුන් දඬුවම් විඳිය යුතු? මම උගුර ලේ රහ වන තුරු කෑ ඇසුවෙමි. හැඬුවෙමි. සිහියක් නොමැතිව ඔහේ වැතිර සිටියෙමි. එක මොහොතක මම දෑස් හැරියෙමි.

“ජේ 2, ඔබ දැන් සන්සුන් විය යුතුයි. ඔබට කල හැකි කිසිවක් නැහැ. ඔබ එය වටහා ගත යුතුයි.ඔබ ඔවුන්ට තව දුරටත් අවදානමක් වනවාද? ඔබ දැන් එය තීරණය කල යුතුයි............... ඔබට තවත් පැය24ක් ලබා දෙනවා.  එවිට ඔබ මා සමග කතාකලයුතුයි.

එසේ ඔවුන් මා ඇමතුවේය. සිහිනයෙන් මෙන් මට ඒ වචන ඇසිනි. ඔවුන් තවත් බොහෝ දේ කියන්නට ඇත. මට වෙනත් තෝරාගැනීමක් නැත. මම වේගයෙන් මගේ හිස බිත්තියේ ගසා ගත්තෙමි. මට ඉක්මනින්ම මිය යන්නට අවශ්‍ය විය. නමුත් මට ඒ අයිතියත් නැත  කවුදෝ පැමිණ මා ඇඳට තබා  බැඳ දැමුවේය. හිසේ තුවාලයට බෙහෙත් දමනු ලැබීය. අධික වේදනාවක් සමග මා කොපමණ කල් එසේ සිටියාදැයි නොදනිමි.
අවසානයේ මම අවධි වීමි. ඔවුන් සමග කතා කලෙමි. නැවතත් මෙවැනි කිසිවක් සිදු නොවන බව පැවසුවෙමි. මා ඔවුන් රැක ගත යුතුය. මා නිසා කිසිවකුට හානියක් නොවිය යුතුය. මෙහි සිදු වූ කිසිවක් කිසිවකුට දැන ගැනීමේ අයිතියක් නැත. මට මගේ මුව අගුලු ලා ගැනීමට සිදු විය.

ඔවුන් අපේ සෑම ඉරියව්වක්ම නිරීක්ෂණය කරයි. මුවින් පිට වන සෑම වදනක්ම අසා සිටී. ඔවුන්ට හොරා හුස්මක්වත් ගැනීමේ හැකියාව අපට නැත. ඔවුන් අපේ සමහර ක්‍රියාවන්ට ඉඩ සලසා අපට යම් යම් දේ වටහා දෙයි. පිලිවෙලින් ආකාශ ,ලී සියෝල් සහ මම ඔවුන්ගේ පාඩම් උගත්තෝ වෙමු. 

ඔවුන් මට දෙවන මහලට යන ලෙස දැනුම් දෙනු ලැබීය. මා තනිව යා යුතු විය. කිසිවෙකු මා සමග පැමිණියේ නැත.මම සෝපානය වෙනුවට පඩිපෙළ තෝරා ගත්තෙමි. මට හැකි උපරිමය දැකිය යුතු විය. මම ඇවිද ගියෙමි. පළමු මහලට පිවිසියෙමි. විවිධ සටහන් දමා වසා දැමු කුටි එහි විය. මා කිසිඳු උනන්දුවක් නොදක්වීමි.දෙවන මහලට පිවිසියෙමි. මා මුලිම දුටුවේ  රෝසිගේ ඡායාරුපයක් සහිත දොරටුවකි. ඇගේ ඡායාරූපයට පහලින් යම් යම් දේ ලියා තිබිණි. රතු පැහ විශාල මුද්‍රිත අකුරින් “DEAD” ලෙස සටහන් කර තිබුණි. මට එය බලා සිටිය නොහැකි විය.

මගේ දෙපා ඒ අසල නතර විය. හැකි ඉක්මනින් එහි සඳහන් දේ කියවාගෙන ගියෙමි. මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය.  ඔවුන් කිසියම් සංයෝගයක් අත් හදා බැලීම සඳහා ඇයව යොදාගෙන තිබිණි. එ හේතුවෙන් ඇති වූ පිළිකා තත්වය ඇයව මරණය කරා ගෙන ගොස් ඇත.  ඇගේ මරනයට හේතුව වශයෙන් සටහන් කර තිබුනේ උදරයේ ඇති වූ පිළිකා තත්වයක් ඉතා සීග්‍රයෙන් පැතිර යාම හේතුවෙන් බවයි.

මම නැවතත් පර්යේෂණාගාරය වෙත ගියෙමි. සියල්ලන්ම මා දෙස බලා සිටියෝය. නමුත් මට පෙනුනේ ආකාශ් හා ලී සියෝල් පමණි.මම මදක් ඔවුන් දෙස බලා සිටියෙමි.  ඔවුන් දෙදෙනා වෙනස් තත්ත්ව යටතේ මට පෙර මේ අත්දැකීම වීඳ ඇත. ආකාශ් මා මෙන්ම  ඔහුගේ පෙම්වතිය මියෙනු දැක ඇත. සියෝල් ඇගේ සොයුරා මියෙනු දැක ඇත. මා දැන් ඔවුන්ගේ වේදනාව දනිමි. සත්තකින්ම මාද ඔවුන්ගේ බෝට්ටුවේය.
මම පැහැසර වෙත ගියෙමි. ඔහුගේ අත අල්ලාගත්තෙමි.

“රෝසි ආයේ එන්නේ නෑ. එයා මැරිලා.” මම පැවසුවෙමි. ඔහු තැතිගත්තේය.කුමක් කරන්නද? ඔහු මා වෙත ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කළේය. ඒ සියලටම මා මුනිවත රැක්කෙමි. ඒ වන විට පෙර සිදුවීම් වලදී මෙන්ම මගේ පෙම්වතා වෙඩි තැබීමකින් මිය ගොස් ඇති බව ඔවුහු දැන සිටියහ. ඔවුන් මගෙන් ඊට හේතු විමසුවහ. මගේ එකම  පිලතුර වුයේ මා දන්නේ නැත පමණි. සැත්කම් පිහියත් සමග මා කල සෙල්ලම ඔවුන් දන්නේ නැත.
එනිසා ඔවුන්ට මේ මරණය සැක සහිත නැත. 

මම මැරී මැරී ජීවත් වුයෙමි.ජීවිතය ඉතාම කටුකය. විටින් විට ලැබෙන ව්‍යාපෘති හා දේශන දිගටම සිදු කෙරුණි.  මම හිත හදා ගැනීමට කල හැකි සියල්ලම කලෙමි. සිතට කිසිඳු විවේකයක් නොදී එක දිගට මනස වෙහෙසවුයෙමි. කිසිවක් නොසිතා සිටියෙමි. භාවනා කලෙමි. මේ දේවල් තුලින් මා යම් තරමකට දැවෙන සිත නිවා ගත්තෙමි. පැහැසර නිතරම මගේ හෙවනැල්ල සේ ලඟින් සිටියේය. නමුත් මා  කිසිවක් නොකියා සිටීම ඔහුට දරා ගත නොහැකි විය. ඔහු කටේ කෙල සිඳී යන තුරු විටෙක මට බැන්නේය. විටෙක කුඩා දරුවෙකු සේ වැලපුනේය.

වසරක් ගත විය. අපි තවම ජීවත් වෙයි. වෛද්‍ය සායනයට සහභාගී වන සෑම මොහොතකම මගේ සිත තුල එකම පැතුමක් විය. මගේ මරණය ඉක්මන් කරවන්න යන්නයි. නමුත් සිදු වුයේ එය නොවේ. සිතින් දරුණු ලෙස වියපත් වූ මා ශාරීරිකව ශක්තිමත් විය. අප නවදෙනා අතර සිදු වන කතා බහ අල්ප විය.අදහස් හුවමාරු කර ගැනුනේ අත්‍යවශ්‍ය මොහොතක පමණි.

මේ අතරතුර ලී සොයෝල් සහ ජින් හෝ වෙනත් අංශයක් වෙත අනියුක්ත කල බව දැනුම් දෙනු ලැබිණි. මගේ සිත කඩා වැටිණි. මින් පසු ඔවුන්ට කුමක් සිදුවේවිද? වේදනාකාරී මරනයක්ද? දැන් අපේ පිරිස හත දක්වා අඩු විය. මා තුල මෙයින් පැන යාමේ චේතනාවක් නොතිබිණි.

දේශන වල ඇල් මැරුණු ස්වභාවයක් මට දැනෙන්නට විය. වෙනත් කරන්නට කිසිවක් නොමැති තැන කුමක් හෝ අවස්තාවක් සඳහා කාලය එළඹෙන තුරු රඳවා තබා ගැනීමක් පමනක් සිදු වන බට මට වැටහිණි. මහාචාර්ය ඩේවිඩ් දිනපතා පැමිණියේය. ඔහු දැන් දැන් අපට මනෝ විද්‍යා වැඩමුළු පවත්වන්නට විය. සහායක පිරිසෙන් ඔහු සමග පැමිණියේ සිම්රන් හා තවත් දෙදෙනෙක්  පමණි.

සිම්රන් ඉතා දක්ෂ තැනැත්තියකි. මහාචාර්ය ඩේවිඩ්ගේ දක්ෂතම සිසුවිය ඇය බව ඔහු අපට පවසා සිටියේය. ඇත්තෙන්ම එය සත්‍යයකි. ඉතාම ප්‍රිය මනාප සිනාවක් හිමි ඇය මහාචාර්ය ඩේවිඩ්ගේ විධාන පරිදි අප දැනුවත් විය යුතු යයි නම් කරන ලද පරීක්ෂණ ගෙන හැර දැක්වූවාය.ඇය පිළිබඳව සඳහන් කල යුතු තවත් වැදගත් කරුණකි. ඇයට කතා කිරීමේ හැකියාව නැත.

දැන් දැන් මට පෙනී ගිය එක කාරනාවක් වන්නේ සිම්රන් මා වෙත විශේෂ අවදානයක් දක්වන බවයි. ඇය මා සමග කතා කිරීමට උත්සහ කාලය. නමුත් මට ඈයව තේරුම් ගත නොහැකි විය. ඇයගේ භාශාවෙන් යම් යම් දේ පැවසීමට ඇය තැත් කළාය. එවන් සමහර අවස්ථා වල මහාචාර්ය ඩේවිඩ් අපගේ පරිවර්තකයා විය.
සිම්රන් සමග කතා කිරීමට ඉගෙන ගැනීමට මට සිත් විය. නමුත් ඊට ක්‍රමයක් නැත. 

                                                            විරාමයක්...

ඔයාල මොකද හිතන්නේ? එයාගේ ජීවිතේට මොනවා වෙයිද?

4 comments:

  1. Replies
    1. අපොයි.... දිගටම බලන්නකෝ...

      Delete
  2. හ්ම්ම්.... වෙනස් කතාවක්...ඊළගට මොකද වෙන්නේ කියලත් බලමු නේ?

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...