Friday, September 15, 2017

දුර්ග චාරිකා... (ඇගේ තෙවන සටහන)




මුල්  කොටස් වලට මෙතනින් යන්න.



මුල්ම පියවර තැබුවේ ලී සියෝල් ය. ඇය මහාචාර්ය ඩේවිඩ්ගේ සහායකයකු වූ එක තරුණයෙකු සමග කතා බහ කොට ඇගේ නිවසේ ලිපිනය ලබා දී උදව් අවශ්‍ය බව නිවසට ලිපියක මාර්ගයෙන් දැනුම් දෙන ලෙස පැවසීය. ඔහු මදක් කලබලයට පත් වුවත් එය අන් අයට නොදනෙන ආකාරයට වග බලා ගැනීමට සියෝල් සමත් විය. සියෝල් ගේ සොහොයුරා චීන රජයේ රහස් නියෝජිතයෙකි. එනිසා ඔහුට මේ සම්බන්දව ක්‍රියා මාර්ගයක් ගත හැකි වේ යයි අපි තදින්ම් විස්වාස කළෙමු. තවත් පුංචි බලාපොරොත්තුවක් අප සතු විය.
දෙදිනක් අවසානයේ නැවතත් මුහුණ දීමට සිදු වුයේ අප කිසිසේත් නොසිතු තත්වයකටයි.
 
ලී සියෝල්ගේ සොහොයුරා සේවයේ යෙදී සිටියදී හදිසි ගින්නකින් මිය ගොස් සිටියේය. මේ සිදුවීම සැල වීමත් සමග මා වචනයෙන් විස්තර කල නොහැකි අන්දමේ මානසික ඇද වැටීමකට ලක් විය. සිතට එක වරම පැමිණියේ ආකාශ්ගේ පෙම්වතියගේ සිදුවීමයි.


තවත් මසක් පමණ ගෙවී යන තුරු අපට ලී දැකිය නොහැකි විය. එම ස්ථානයේ තවත් එක නීතියක් වුයේ තමන්ගේ කුටිය හැර වෙනත් කිසිදු අයකුගේ කුටියකට අපට ඇතුල් විය නොහැකි වීමයි. එනිසා සියෝල් නැවත පැමිණෙන තුරු අපට බලා සිටීමට සිදු විය.

සියෝල් ගේ සොයුරාගේ මරණය ඇත්තෙන්ම සැක සහිත බව සිතට දැනුනද එය එසේ නොවන බවට පැහැසර මා හා තර්ක කළේය. එය අනතුරුදායක රැකියාවක් නිසා ඕනෑම මොහොතක ඕනෑම දෙයක් සිදු විය හැකි බව ඔහු මට කීවේය. එය සැබෑවකි. නමුත් මගේ සිත එය පිළිගන්නට කැමති වුයේ නැත. අප බලා සිටියේ නැවතත් මහාචාර්ය ඩේවිඩ් කවදාක පැමිණේද යන්නය.


දිගින්දිගටම දේශන පැවැත්වීමේ කටයතු සිදු කෙරිණි. ලී සියෝල්ගේ සිද්දියෙන් සති තුනකට පමණ පසු නැවතත් මහාචාර්ය ඩේවිඩ් සහ පිරිස පැමිණියේය. පුරුදු පරිදි ඔහු මිනිස් සිරුර නම් අති විශිෂ්ට නිර්මාණය පිළිබඳව සාකච්චා කළේය. නමුත් අපේ ඇස යොමුව තිබුනේ ඔහුගේ පිරිස වෙතයි. ලී තම ලිපිනය ලබා දුන් තරුණයා සොයා අපි නෙත් වෙහෙසවීමු. නමුත් ඔහු එම පිරිස අතර නොසිටියේය.

සිත බියෙන් හා කුහුලින් පිරී තිබුණි.. එදින විවේක කාලයේ මහාචාර්ය ඩේවිඩ්ගෙන් අපි ඔහු පිළිබඳව විමසුවෙමු. ඔහු දිගු සුසුමක් පිට කර තම හිස දෙපසට සැලුවා විනා කිසිවක් නොපවසුවේය. ඉදිරිය දැඩි සේ අඳුරු බව අපි වටහා ගත්තෙමු. 

ලී සියෝල් නැවතත් පැමිණියාය. අප ඇයව උණුසුම් අයුරින් පිළිගන්නට සැරසුනෙමු. නමුත් ඇය පර්යේෂණාගාර දොරටුව පසු කර කෙලින්ම දිව ගියේ ආකාශ් වෙතටයී. ඇය ආකාෂ්ගේ කම්මුල හරහා වේගවත් පහරක් එල්ල කළේය. නමුත් ආකාශ් ඔහේ බලා සිටියා මිස ඒ පිලිබඳ කිසිදු ප්‍රතිචාරයක් දක්වුයේ නැත. අනතුරුව ඔවුන් එකිනෙකා බදාගෙන කුඩා දරුවන් සේ වලපුනහ. කිසිවක් සිතා ගත නොහැකි අපි ඔවුන්ට ලං වුනත් ඔවුන් අප මග හරියේ කිසිවක් සිදු නොවූ පරිද්දෙනි. ලී සියෝල්ද ආකාෂ්ගේ භූමිකාවම රඟ දක්වන්නට විය. ඉතාම නිහඬ ගුප්ත චරිතයක් විය.දැඩි නින්දකට වැටී ඇති සෙයකි. ඇයව පිබිදවීමට අප නොයෙක් වර උත්සහ දරීමුත් ඒ සියල්ල ඵල රහිත විය.

විටින් විට ලැබෙන ව්‍යාපෘති හා අලස දේශන සමග කාලය ගෙවී ගියේ අප ඇවිදින මල මිනී බවට හරවමිනි.
කාලයත් සමග පුළුල් තිරයෙන් නිවැසියන් දැකීම මට එපා විය. ඔවුන් ඉතා සතුටින් ජීවත් වෙයි. කෝ මට ඒ සතුට. මේ අයුරු ඉතා කුරිරු ආත්මාර්ථකාමී සිතිවිලි මසිත උපන්නේය. කුඩා කල සිට හැදී වැඩී හැකි උපරිමයෙන් ඉගෙනගෙන මා ලබා ගත්තේ මොනවද? මටත් අහිමි ජීවිතයක්ද? ඔව්. එය එසේය. මෙය නම් ඉරණමයි.

මගේ පෙම්වතා. ඔහු මා අත හැර ගොස් ඇතුවාට සැක නැත. කිසිඳු තොරතුරක් නොලද විට මා ඔහු අත හැර ඇති බව සිතා මට වෛර කරනු ඇත. එසේ සිතන්නට වූ දා සිට ප්‍රධාන කාර්යාලයෙන් ඔහුගේ රුප රාමු නොඉල්ලුවෙමි. මන්ද ඔහු සමග තවත් යුවතියක දැකීමට මම බිය වීමි. අකමැති වීමි. ඒ සමය කෙතරම් සොඳුරුද? නැත. එය කිසිසේත්ම අවශ්‍ය නැත.

මේ කාලය තුල අප සමග සිටි රෝසි උදරාබාදයකින් පීඩා වින්දාය. ඇය වෙත සති පතා වෛද්‍ය සායනය මගින් ලබා දෙනු ලැබූ ඖෂදයක් මීට හේතු විය හැකි බව අප අනුමාන කළෙමු. වහාම ඇයව ශල්‍ය කර්මයකට බාජනය කරන බව අප වෙත දැන්වීය. ඉන් අනතුරුව අපට ඇය කිසි දාක දකින්නට නොලැබුණි. ඔවුන් කියා සිටියේ වෙනත් ශාල්යාගාරයකට ඇයව මාරු කරන ලද බවත් ඇය ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවත්ය.
අප කණ්ඩායමෙන් එක සාමාජිකාවක අඩු විය. පිරිමි පාර්ශවය පස් දෙනෙකුත් ස්ත්‍රී පාර්ශවය සිව් දෙනෙකුත් ඉතිරිව සිටියහ. මේ අතරවාරයේ අපට ප්‍රතිකාර කරන ජෙසී මා සොයා ආවය. විශේෂ ප්‍රතිකාර පන්තියක් සඳහා මා යොමු විය යුතු බව ඇය පැවසුවාය. ඇත්තෙන්ම මා බිය වුයෙමි. මගේ සිරුරට කිසිඳු අපහසුථාවක් නොදනිනි. මා කිසියම් රෝගයකට ගොදුරු වී ඇත්දැයි ඇයගෙන් විමසුවෙමි.

එවැනි කිසිවක් නොමැති බවත් නිරෝගීව සිටිනා කාලය අතරතුර ඉදිරියේදී යම් රෝගයකට ගොදුරු වී රුධිරය අවශ්‍ය වුවහොත් ඒ සඳහා පෙර සුදානමක් ලෙස රුධිරය ලබා ගැනීමත් ඉන් පසුව සිරුරට යම් ලෙස අපහසුවක් වුවහොත් නිසි ප්‍රතිකාර ලබා දීමටත් මෙය සිදු කරන බව ඇය පැවසුවාය. සිරුර යතා තත්වයට පත් වූ විගස පෙර පරිදි සේවයේ යෙදීමට හැකි බවට මා දැනුවත් කළාය.

රුධිරය ලබා ගත් පසු ඩොක්ට ජෙසීගේ සහාය හෙදියකට මා භාර කෙරීනි. ඇය මගේ සමග පැය 24ම සිටියාය. අපි නොයෙක් දේ කතා බහ කළෙමු. නමුත් මෙම ගොඩනැගිල්ල තුල සිදු වන කිසිවක් සම්බන්දව කතා කිරීම ඇය ප්‍රතික්ෂේප කළාය. මා ඒ සම්බන්ද කිසිවක් අසා විට ඇය මා මග හැරියාය.

ඇය සමග ගත කල පස් වන දිනදී පමණ මම ඇගේ දෑතින් අල්ලාගෙන නවතා ගත්තෙමි. මගේ සිතට තව දුරටත් දරිය නොහැකි බවක් දැනිනි. වෙනත් අවස්ථාවක්ද නොමැති බව සිත මට පැවසුවේය. ඇය ඒ සමගම මගේ දෑස් දෙස කෙලින් බලා සිටියාය.

“කරුණාකරලා යන්න එපා. මට උත්තර දෙන්න.”

“ඕක කරන්න එපා. ඔයාටවත් මටවත් කිසිම කෙනෙකුට හොඳක් වෙන්නේ නෑ. මට යන්න දෙන්න.”

“මට වෙන අවස්තාවක් නැහැ. එකම එක දෙයක් විතරයි මට දැනගන්න ඕනේ.”

“එපා. ඔයා මගෙන් කිසිම දෙයක් අහන්න එපා. ඔයාගේ ප්‍රශ්න වලට දෙන්න උත්තර මා ළඟ නෑ. මම නිකක්ම නිකම් හෙදියක් විතරයි.”

මා හැඬුවෙමි.

“මට ගෙදර යන්න ඕනේ. කවදද මට යන්න දෙන්නේ?”

ඇය බොහෝ සෙයින් කලබලයට පත්ව සිටියාය. නමුත් ඇයද එදා මා ගැන දුක් විය. මා වෙනුවෙන් කඳුලක් ඇගේ නෙතටද ඉනුවේය. නමුත් ඇය කිසිවක් නොකියා මගෙන් සමාව අයැද සිටියාය. හැකි විගස මා හැර ගියාය. පසු දිනය කිසිවක් නොවූ අයුරින් ඇය හැසිරුනාය. සුහදව කතා බහ කලාය.

එදින මගේ සිරුර ස්කෑන් යන්ත්‍රයක් ආදාරයෙන් පිරික්සනු ලැබීය. එය සිදු කලේ එවිට මා සිටි කුටියට යාබද ශල්‍යාගාරයේ තිබු ඇඳ මත මා හාන්සි කරමිනි. පෙර දින රාත්‍රිය මට ඉතා දිගු වී තිබුණි. මගේ සිත යම් අරමුණක් වෙත රැඳී තිබිණි. කෙසේ හෝ එය සඵල කර ගැනීම මගේ අභිප්‍රාය විය.

අන් සියල්ලන්ගේම ඇස වසා මම එහි තිබු ශල්‍ය කර්ම වලදී යොදා ගන්න පිහියක් දිගු අත සහිත මගේ කමිසයේ රඳවා ගත්තෙමි. එලෙස මගේ කුටියට පැමිණ මගේ අවස්තාව පැම්ණෙන තුරු බලා සිටියෙමි. සවස තේ රැගෙන මා නමවත් නොදන්නා වෛද්‍ය ජේසීගේ සහායක හෙදිය පැමිණියාය. මා ඇය සමග තේ පානය කලෙමි. ඉන් අනතුරුව මගේ අවස්තාව මම ලබා ගත්තෙමි.

සඟවාගෙන සිටි සැත්කම් පිහිය ගෙන එය අයගේ ගෙලට තබා තරයේ අල්ලා ගත්තෙමි. ඇයට සෙලවීමටවත් නොහැකි විය. මෙය මා කිසි දා පුහුණු වුවක් නොවේ. නමුත් එය මා එය කල යුතුම විය.

“මට වෙන කරන්න කිසිම දෙයක් නෑ. මට කියනවා මේ මොකද්ද වෙන්නේ කියල. මේක ඇතුලේ අත්තටම මොනවද වෙන්නේ?”

ඇය ඉකි ගසා හැඬුවාය.

“මෙහෙම කරන්න එපා. මේකෙන් අමාරුවේ වැටෙන්නේ ඔයා නෙමේ. ඔයාගේ පවුලේ අය.”
 
ඒ ඇසීමෙන් මම තැති ගත්තෙමි. නමුත් මා ඇයව ඇත නොහරියෙමි. ඇයගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් සැත්කම් පිහිය ගෙලට තබා තද කලෙමි.

                                              
                                       විරාමයක්... 

  කතාව යන පැත්ත ගැන ඔයාල මොකද හිතන්නේ? ඉතිරි කොටස් ටිකත් ඉක්මනටම දාන්න බලාපොරොත්තු වෙනවා. අඩු පාඩු ගැනත් සටහනක් කරලා යන්න අමතක කරන්න එපා. කියවන හැමෝටම ගොඩක් ස්තුතියි.

2 comments:

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...