Friday, August 21, 2015

දඩබ්බර සිතූ






එකොළහේ පන්තියේ සිතුම්යගේ පලවෙනි දවස. ශිෂ්‍යාවක් විදියට එයා ඉස්කෝලේ සෑහෙන වගකීමක් තියෙන චරිතයක්. ඒ නිසා පලවෙනි දවස ගොඩක් කාර්යබහුලයි. ශිෂ්‍ය නායිකාවක් විදියට පොඩි පන්ති බලාගන්නයි එයාගේ අලුත් පන්තියේ වැඩයි එහෙට මෙහෙට දුවනවා ඉවරයක් නෑ. උදේ වරුවේ වැඩ ටිකක් ඉවර උන ගමන් පොඩි විවේකයක් ගන්න එයා හැමදාම වගේ පුස්තකාලෙට දිවුව

ගිය වාරේ පුස්තකාලේ මිස්ට වද දීල ගේන්න පොරොන්දු කරවගත්ත ෂර්ලොක් හෝම්ස් ඉතිරි පොත් ටික බලනකල් සිතුට නිවාඩුවේ හරියට නින්ද ගියෙත් නෑ.

මේ රාක්ක මොකට මෙච්චර උසට හදනවද මන්ද. හදිසියකට පොතක්වත් ගන්න බෑ. ඉසුරියාවත් හිටිය නම්....” 


 පෙනි පෙනි ගන්න බැරුව තියෙන හෝම්ස් පොත් සෙට් එකට කෙල හල හල සිතු කේන්තියෙ පුපුරනවා. ඉසුරි කියන්නේ සිතුගේ හොඳම යාළුවා. හරියට බෝලෙයි පිත්තයි වගේ. වෙලාවකට මරාගන්නවා. ඒ වගේම තමයි මොනවා වුනත් එකට ඉන්නවා. ඒ වගේම ඉසුරි ගොඩක් නෙමේ ගොඩා....ක් උසයි

හෝම්ස් පොත් සෙට් එක. පට්ටයිනේ. මොකද්ද කියවන්නේ....? සිව් රහස් සලකුණ හොඳයි.” කව්දෝ කොල්ලෙක් සිතූ උඩ පැන පැන පොත් ගන්න හැදුව රාක්කෙන් හරියටම එයා ගන්න හිත හිත හිටිය පොතම අරගත්තා. කව්ද මේ සිතුගෙයි හොම්ස්ගෙයි මැද්දට පැන්න දුෂ්ටය. හැම අව්රුද්දේම වගේ පුස්තකාල මිස්ගේ උදව්වට මේ අව්රුද්දෙ ඇවිත් තිබුන ඕලෙවල් ලිව්ව අයිය කෙනෙක් කියල තේරුම් ගන්න සිතුට වැඩි වෙලාවක් ගියේ නෑ.

මමයි ඔය පොත ගන්න හිටියේ.”

ඉතින් ඔයා ගත්තේ නෑනේ මං ගත්ත.”

කමක් නෑ. මං මිස්ගෙන් අහන්නම් තව එකක් තියනවද කියල.”

බොහොම කනගාටුයි. මේක විතරයි තියෙන්නේ. වැඩිපුර ගෙනත් නෑ.”

එහෙනම් ඉතින් ඕක මට දෙන්න.”

ඒ මොකටද? තව දවස් දෙක තුනකින් එන්න. මං කියවල දෙන්නම්.” සිතුට හොඳටම කේන්ති ගිහින්. මුණත් රතු කරගෙන ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියේ.

මේ ඔයා ඇවිත් ඉන්නේ පොත් කියවන්න නෙවෙයි. මිස්ට හෙල්ප් කරන්න. මේ පොත් අයිති අපිට. ඒවා අපිට ඕනේ වෙලාවට ගන්න පුළුවන් වෙන්න ඕනේ.” සිතු කියවන්න පටන් ගත්ත. දුෂ්ටය මොකද්ද කියන්න හැදුව. එත් එයාට කට අරින්නවත් ලැබුනේ නෑ.

මොනවත් කියන්න එපා. ඔයා කියන්න යන්නේ ඔයත් මේ ඉස්කෝලේ ළමයෙක් කියල නම් ඒක වහාම ඉල්ලා අස් කරගන්න. මොකද ඔයා දැනට අපේ ඉස්කෝලෙන් ඉගෙනගෙන ඉවරයිනේ. රිසල්ස් ආවම වෙන ඉස්කෝලෙකට යයි. ඒ හින්ද ඔය පොතට ඔයාට වඩා අයිතියක් මට තියනවා. කරුණාකරලා ඕක මට දෙන්න.” හරියටම වයින් කරපු බෝනික්කෙක් වගේ. ඇත්තටම සිතූ වෙලාවකට ඕනෙවට වඩා කියවනවා.

හරි ඔයා කොහොමද හරියටම කියන්නේ මං මෙහෙන් අස් වෙලා වෙන ඉස්කෝලෙකට යනවා කියල.” දුෂ්ටයත් අතාරින් නැති පාටයි. සිතු පොඩ්ඩක් විතර පසු බැස්සද මන්ද.

කව්ද එහෙම කීවේ? මං කීවේ ෆිව්ච ටෙන්ස් එකෙන්. ඔයා කොහොම තේරුම් ගත්තත් ඒක මට අදාළ නෑ. පුස්තකාලේ වැඩිපුර අයිති ඉස්කෝලේ ඉගෙනගන්න ළමයිට. ඉගෙනගත්තු ළමයිට නෙවෙයි.” සිතු ඒ ටික කීවේ තර්ජනයක් කරනවා වගේ. එතන හිටිය අනිත් ළමයි ටිකත් කට ඇරගෙන බලාගෙන හිටිය.

සවිඳු... මේ අලුත් ළමයින්ගේ ෆෝම්ස් බාරගන්න පුතා.”  මිස් දුෂ්ටයාට කතා කළා.

සිතුගේ මුනේ ජයග්‍රාහි හිනාවක් ඇඳුනේ මිස්ගේ කටහඩට.

මදැයි මහා ලොකුවට මගේ පොත ගන්න ආව. හිතේ ඇති. හ්ම්.” සිතුගේ හිත කීවේ එහෙම.

දොඩම් ගෙඩි දෙකක්වත් උස නෑ. ඒ වුනාට කට නම් තියනවා. ඉන්නවකෝ කරන්න හොඳ වැඩක්.” එහෙම හිත හිත දුෂ්ටය ආයෙමත් පොත තිබුන තැනින්ම තිබ්බ. ඉන්පස්සේ සිතුට රවල නෝන්ඩි හිනාවක් දාල යන්න ගියා.

සිත්තෝ.. මොකද්ද හලෝ ඔච්චර රහ කර කර හිනා වෙවී කියවන පොත.” ඉසුරි එහෙම අහගෙන සිතු හිටිය තැනට ආවේ.

ඉස්කෝලේ පටන්ගන්න දවස උගන්නන දවසක් නෙවේනේ. සාමාන්යෙන් එදාට වෙන්නේ ගෑනු ළමයි නම් ලොකුම ලොකු වට මේස සාකච්චාවක් දානවා නිවාඩු කාලේ අකුරක් නෑර විස්තර කරන්න. බලපු ටෙලි නාට්‍ය විස්තර ටිකයි චිත්‍රපටි ටිකයි විස්තර කරන්න. එතකොට පිරිමි ළමයි ටික එක්කෝ බිත්ති කොන්දක් උඩ නැත්තම් තාප්පෙකට පිට දීල අලුතෙන් ඇවිත් තියන කාර් ගැනයි මැච් ගැනයි කෙල්ලෝ ගැනයි කතා වෙනවා. සිතුගේ පන්තියත් වෙනසක් නෑ. මෙහෙමම තමයි.

ඉසුරිට තිබුන ප්‍රශ්නේ වුනේ වට මේසෙට සිතු ආවේ නැති එක. ඒකයි එයා තකහනියක් සිතු ලඟට ආවේ. නිවාඩුව ගැන කතා කරන්නත් බැරි වුන නිසා.

ෂ්.... කරදර කරන්න එපා.... මං ලොකු වැඩක්.” සිතු දඟකාර විදියට කීව.

....නේ.... සිව් රහස් සලකුණ. මෙහෙන්ද ගත්තේ? ඒ කියන්නේ අපි ගිය වාරේ මිස්ට දීපු වැඩේ සාර්ථකයි.” ඉසුරිත් සිතු වගේම හෝම්ස් රසිකාවියක්.

...යි. එතකොට අර මාව පොඩි උන් ටික ළඟ දාල දිවුවේ මේක ගන්නද?”

හ්ම්ම්ම්ම්.” සිතු හොඳට ඉසුරිගේ මුණ බලල ඇහැක් ගැහුවා.

පොඩ්ඩක් හෝව්, පොඩ්ඩක් හෝව්, මට ඒ විදිය නම් ඇල්ලුවේ නෑ නංගී....” ඉසුරි දඩි බිඩි ගාලා ඇවිත් සිතු ළඟින්ම වාඩි වුනා.

කියනවා. පැටලුනා නේද කා එක්ක හරි. කියනවකො....” සිතු එයාට වෙච්ච වින්නැහිය අකුරක් නෑර කීව.

මේකි වගේ එකෙක් නම්... ඒක නෙවේ ඉතින් කොහොමද ඕක අපහු ගත්තේ? කොහෙද අපේ පුස්තකාලේ ඒ අහල පහලක පුටුවක්වත් නෑනේ නගින්නවත්. ඉතින් ඉතින් මිස්ට කීවද?”

මොන  පිස්සුද? එතකොට ආයෙත් මට නෝන්ඩි වෙන්න වෙනවනේ අර යකාට. ඒකට මං මගේ ටිකිරි මොලේ පාවිච්චි කළා. අද පලවෙනි දවසනේ. වැඩිය කට්ටිය නෑ. 6 වසරට අලුතෙන් ආව පොඩි උන් ෆෝම් බාරදෙන්න ඇවිත් හිටියා.... මං එක පොඩි කෙල්ලෙක්ව උඩට උස්සල පොත ගත්ත.”

හ්ම්.... හැබැයි පොඩි අවුලක් තියනවා.” ඉසුරි මුලපිරුවේ බොහොම වැදගත් කතාවකට

ඔයාගේ දුෂ්ටය දිගටම තව කා.....ලයක් මෙහෙ ඉන්නවා. එතකොට පොර ලේසියෙන් ඔයාව අතාරින එකක් නම් නෑ. පුස්තකාලේ පැත්තටවත් යන්න බැරි වෙයිද දන් නෑ.”

.... එවුව කොහෙද මාත් එක්ක. මං වැරදි දෙයක් කීවේ නෑනේ. මං කීවේ ඇත්ත. මොනවා හරි කියන්න ආවොත් බලාගම්මුකෝ ඒක ඒ වෙලාවට. ” සිතු තරවටු ස්වරයෙන් කීව. පස්සේ එයා පොඩි දුෂ්ට හිනාවක් දැම්මේ තවත් මොනා හරි කියන්න මතක් වෙලා වගේ.

සිතු මොනාද කියන්න ගියේ කියල ඊළඟ කොටසේදී බලමු.....

මේ තමයි මම ලියන්න පටන් ගත්ත කතාව. පුංචි උත්සාහයක්. සාර්ථක වෙයිද නම් දන්නේ නෑ. බලමුකෝ. ඔයාලාගේ අදහස් මට ගොඩක් වැදගත්.

 

12 comments:

  1. ඔයා ඉස්කෝලේ යන කාලේ වගේමයි ..... ලස්සන කතාවක් දිගටම ලියුවොත් තමයි හොඳ

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ... මම බොහොම අහිංසක ළමයෙක් හරිද.... තැන්කු තැන්කු.

      Delete
  2. හ්ම්ම් හ්ම්ම්.. බලමු බලමු....

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස ළඟදීම. ආයෙත් එන්නකෝ....

      Delete
  3. ළඟදීම ඊළඟ කොටස බලන්න පුළුවන්.

    ReplyDelete
  4. ඉතුරු ටිකත් ඉක්මනටම කියවමුකාේ..................

    ReplyDelete
  5. කතාව දැනටනම් හොදයි.. අනික් කොටස් ටිකත් ලියමුකෝ බලන්න එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි. ඉක්මනටම බලන්න පුළුවන් වෙයි යාලු.

      Delete
  6. Replies
    1. ඉක්මනටම. ආයෙත් එන්නකෝ.

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...