Friday, February 8, 2013

හැමදාමත් යාලුවේ... 3 කොටස



“වෙනුර..... වෙනුර.....’ මං ආව වෙනුරලගේ ගෙදරට. මගෙ ඔරලෝසුව හොඳයි වගේ. වෙනුරය නෑ.
“ආ.... මේ කවිත් පුතානෙ. එමු එමු. මං බැලුව කවුද කියල. වෙනුර නම් නෑ. පුතා මේ කොහේ යන ගමන්ද?”      
“නංගිව පන්ති දාන්න ආව අංකල්. මට අංකල් එක්ක පොඩ්ඩක් කතා කරන්නත් ඕනෙ...... මේ.....” මං කීව තාලෙට අන්කල්ට හිනා.
 
“මොකද්ද ප්‍රශ්නේ පුතා. කියන්න බලන්න.”
“මේකයි අංකල්.....” මෙහෙම අටන් අරගෙන මුල සිට සරලව මගෙ හිතේ තිබුන හැම දේම අන්කල්ට කීව. අම්මෝ ඔලුව උඩ තිබුන අලි කළු ගලක් බිම තිබ්බ වගේ.
අංකල්ගේ අතරමැදි ප්‍රශ්න වලට උත්තර බඳින්න ගියාම තමයි පොඩ්ඩක් ඇනෙන්නෙ. යටගිය දවස බරණැස් නුවර කතන්දර එහෙමත් දිගාරින්න සිද්ද වුණා. පැතුමට කවදාහරි මිකී අංකල්ගෙන් චරිත සහතිකයක් ගන්න ඕනෙ වුනෙත් එහෙම ඌට දෙයියන්ගෙම පිහිටයි. ඒත් ඉතින් කමක් නෑ.   
“මං මේක අංකල්ට කියන්න හිතුවේ උදවුවක් ගන්න පුළුවන් කියල හිතුන හින්ද. අපේ අම්මට හරි තාත්තට හරි කීව නම් අංකල් දන්නවනේ. හැබැයි අංකල් මේ කිසි දෙයක් වෙනුරට කියන්නෙපා. වෙනුර දන් නෑ අද මං මෙහෙ එනවා කියලවත්” කියල කට ගන්න හම්බුන් නෑ වෙනුරය මතු වුනා දොර ලඟින්.
“අඩෝ උඹ මෙහෙ. කියන්ඩවත් එපා. මොකද උඹ අපේ තාත්ත එක්ක සෙට් වෙලා තව දොඩම කඩයක් දාන්නද මට හොරා.” උගෙන් බේරිලා එන්න සෑහෙන අමාරු වුනා. රටේ නැති පච ටිකක් හලල යාන්තම් පැනගත්ත.
“පුතා, අපි බලමු මොනවා හරි කරන්න.” වෙනුරව මග ඇරලා අංකල් ඒ කීව වචන ටික වුණත් මට මසුරං වගේ. ඔලුව නිදහස් කරගෙන නංගිගේ ක්ලාස් එකට ගියා. අද කාලෙ කෙල්ලෙක්ව පරිස්සම් කරන්න තියෙන අමාරුවක්. පොඩ්ඩ එහෙ මෙහෙ වුනොත් මොකෙක් හරි හාල්පාරුවෙක් ඇල්ම බැල්ම දානව. ඒ හන්දම තමයි අපේ එකිගෙ මුරට අම්ම මාව එවන්නෙ.
මං නංගිලෑ ක්ලාස් එක ළඟට යද්දී දැක්කෙ මේ දවස්වල කරලියට බැහැල ඉන්න පතුමගේ අලුත් කෙලි පොඩිත්ත. මාව එතනම බ්‍රේක් වුණා. කොහෙද තාම ක්ලාස් එක ඇරලත් නෑනේ. මගෑරලා යන්නත් බෑ.
“කොහොමද නංගි? ඔයාගේ පොත හම්බ වුණාද?” විහින් නාගන්න වෙයිදෝ කියල හිත හිත මං ඇහුව.
“ආ ඔව්. පොත නම් හම්බුනා. ඒත් මේ....” තවත් මොනාහරි කියන්න හදල කෙල්ල ගිලගත්තා.
“ඇයි නංගි? මොකද්ද ප්‍රශ්නේ?” අහපු මෝඩකම තේරුනේ පස්සෙ.
“පැතුම් ගුණරත්න කියන්නෙ අයියගේ යාලුවෙක් නේද?” ඇඟ කිලිපොලා යන ප්‍රශ්නනෙ මෙයා අහන්නේ? දීපල්ලකෝ උත්තර දැන්. මේ මී හරකගෙ සේරම තකතීරු වැඩ යන්නේ මගෙ කර පිටින්නෙ.
“ඔව්.... ඇයි නංගි?’මං අගට පතට නොදනී උත්තර දුන්න.
‘මගෙ පොත අරගෙන තියෙන්නෙ එයා. අද හවස ඒක මට ආපහු දුන්න. නිකම්ම නෙවෙයි. මං හිතුවේ නෑ එයා එච්චරටම මෝඩයෙක් කියල. කවුරුහරි එයාට කීවොත් ලිඳට පනින්න කියල ඒකත් කරයි.” පුංචි වුනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ. වැඩේ කියන්නේ මට ඒ කියපුවයින් බාගයක්වත් තෙරුන් නෑ. කොහොමින් කොහොම හරි මගේ වෙලාවට ක්ලාස් එක එවෙලේම ඇරිය.
“එයාට කියන්න ටිකක් පරිස්සම් වෙලා ඉන්න කියල. සමහරවිට ඔයා සමහර දේවල් දන්නෙත් නැතුව ඇති. යාළුවව පරිස්සම් කරගන්න එක ඔයාලගේ වැඩක්.නැත්තම් මංවත් දන් නෑ මොනවා වෙයිද කියල. එහෙනම් අපි යනවා.” හරියට පාතාල ලෝකෙ පච්ච සිරාගෙන් ආව තර්ජනයක් වගේ. 


මොනවා නැතත් මට තේරුණා මේකේ මං නොදන්නා දේවල් සෑහෙන්න තියෙනවා කියල. කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුවට වුන එකේ අනිත් එක පැතුමට වෙන්න යන්නෙ කියල මගෙ හිත කිව.

 පස්සෙ දවසෙ පතුමගෙන්ම මේකේ අල ගිය මුල ගිය තැන් අහගන්න හිතාගෙන මං ඉස්කෝලෙ ගියා. ඒත් මේක ඉස්කෝලෙ ආවේ නෑ.
“මචං වෙනුර ඊයෙ මාර වැඩක් වුනානේ හවස.....” නංගිගේ ක්ලාස් එක ලඟදි වෙච්ච කතන්දරේ වෙනුරයට් කීවම උගෙ ඇස් ගෙඩි දෙකත් උඩ ගියා.
“මේක මොන බාල්දියක් පෙරලගෙනද බන් ඒ පාර? පහු ගිය ටිකේ නම් පරණ කෝන්තරෙකට නලිය එක්ක ඇටැක් කර කර හිටිය. මේකත් ඒකෙ එක ජවනිකාවක්ද දන් නෑ උඹ කියන විදියට.” වෙනුරය කීවේ මට සම්පුර්ණයෙන්ම අමතක වුන කතාවක්. නලිය හෙවත් නලින්ද මහා අමාරුකාරයෙක්. ඉස්සර ඉඳන්ම පැතුම එක්ක වලි දාගන්නවා නිතරම.ඒවයෙ කොමකත් ඉතින් අනිවාර්යෙන් කෙල්ලෙක් ඉන්නවා. හෙට ඉර පායනවා තරමට විස්වාසයි.
“අඩේ බං. මට ඒක හාන්කවිසියක්වත් මතක් වුනේ නෑනේ. පව් බං අහිංසක කෙල්ලො ගාවාගන්නේ ඕවට. ඊයෙ ඒකි කතා කලේ සෑහෙන හිතේ අමාරුවෙන්. කරගන්න දෙයක් නැතුව වගේ. බනින්න වගේ කතා කළාට ඒකි හෙන අහිංසකයි බං. මගෙ මුණ දිහා කෙලින් බලන්නවත් බැරුව හිටියේ. කඳුළු පනින්න ඔන්න මෙන්න.”
“ආ... ආ.... මල්ලි සෑහෙන රොමැන්ටික් වෙලානෙ. අහෝ... දුකකි. මායම් සැට සතර දමා ඒ ගැටිස්සී මේ තාපසයාණන් වහන්සේගේ දැහැන බිඳලූ අරුම.”උම්මග්ග ජාතකේ වගේ ඔය පටන්ගත්තෙ. දැන් ඉතින් මාව කයි මුන්.
“ආ බං  මං මේ සිරාවටමයි අහන්නෙ? මේ සීන් ඒකට එන්ටර් වෙච්ච තැන ඉඳං උඹ සෑහෙන වෙනස්. මක්කාවත් තියෙනවා නම් අපිටත් කියාපන් මලේ.” මට වාෂ්ප වෙන්න හිතුන.
***********************************************************************************

ගෙදර ආව වෙලේ ඉඳං ඔලුවේ එක එක බහුබූත කැරකෙනව. පොඩි ඇලට් එකක් දාගෙන දවසෙ පොඩි ආවර්ජනයක් කරන්න පටන්ගත්ත. වෙනුරය කීව කතාවමයි මතක් වෙන්නෙ. අනේ අම්මපල්ල මට මේ මොනවා වෙන්න යනවද?
“පුතා ඔයාට කෝල් එකක්. වෙනුර පුතා වගේ” අම්මගෙ සද්දෙට මාව උඩ ගිහින් බිම වැටුන. හීනෙන් වගේ ෆෝන් එක ලඟට ඇවිදගෙන ගියේ. ආත්ම ගානකින් කෝල් එකක් නොගන්න මූ මොකටද අවේලාවේ කතා කරන්නේ කියල පොඩි කුකුසකුත් ආව.
“හලෝ,  මොකද බං? නිදහසේ හීනයක්‌ බලා කියාගෙන ඉන්න දීපන්කො.”
“උඹ මෙතන හීන බල බල ඉඳපන්. අන්න පැතුම හොස්පිටල් එකේ. මං මේ යන ගමන්. උඹව ගෙවල් ලඟින් ගන්නම්. ලැස්ති වෙලා හිටපං.” හති දාගෙන මූ කීව තාලෙට මට හීං දාඩිය දැම්ම.
“මොකද බං වෙලා තියෙන්නේ? ඌට කොහොමද?” මං ඒ ටික අහනකොට ඌ කට් කරලත් ඉවරයි.දඩි බිදී ගාල ඇඳුමක් දාගෙන අම්මට බොහොම කෙටියෙන් විස්තරයක් කරලා ඉවර වෙද්දී වෙනුර ඇවිත්.
“මොකද බං වුණේ?” මං ඇහුවේ වෙනුරගේ බයිසිකලේට නගින ගමන්.
“හරියටම දැන් නෑ බං. අපේ තාත්ත තමා මටත් දැන් කීවෙ. එයා දැන් හොස්පිටල් එකේ.” වෙනුර එහෙම කියද්දී මට හිතුන මං මිකී අන්කල්ට විස්තරේ කීව එක හොඳයි කියල.
පතුමව දැක්කම මගෙ පපුව පත්තු වුනා. උගෙ ඔලුවේ ඉඳං බැන්ඩේජ් කරලා.ඒ මදිවට උගෙ වටේ ආණ්ඩුවේ බාප්පල එලොකොටියට ප්‍රශ්න කරනවා. එකම ගිනි විජ්ජුම්බරයයි.


“අනේ අයියෙ, මේ සේරම වුනේ මං හන්ද. පැතුම් අයියට කොහොමද? මං දැන් මොකද කරන්නෙ?.....”මට කිසි දෙයක් හිතාගන්න බැරි විදියට කොහෙන්දෝ දුවගෙන ආව අර කෙලි පොඩිත්ත මගෙ අත් දෙක අල්ලාගෙන හෝ ගාල අඬනව. වෙනුරයත් ගල් වෙලා බලාගෙන ඉන්නවා. 

-- තව එකම එක කොටසයි හොඳේ.--

සැ.යු: කතාව දැන් කට්ටියට අමතක වෙලාද මන්ද. පරක්කු වුණාට මේ ගැත්තීට සමා වන සේක්වා හොඳේ.
බලන්නකො  මෙතනින්
                       පළවෙනි කොටස.
                       දෙවැනි කොටස.

15 comments:

  1. ඉලගට මොනවා වෙයිද... අවසානෙ ඉක්මනට බලමු නේද

    ReplyDelete
    Replies
    1. ම්ම් බලමු බලමු......

      Delete
  2. ඇත්තටම කොටස් අතර ගතවන කාලය වැඩියි මධු... රසය මැරෙනවා එවිට..

    ReplyDelete
    Replies
    1. වැඩ ගොඩයි. හුස්ම ගන්නවත් වෙලාවක් තිබුනේ නෑ පහු ගිය දවස් වල. ඒකට මේ ගැත්තීට සමා වෙන්ට ඕනෑ.

      Delete
  3. මමත් මේ කියන්න හැදුවේ නලීන් අංකල් කියපු කතාවමයි, මට දැන් මුල් කොටස් අමතකයි අක්කෝ,, මම ආයෙත් සැරයක් මුලම ඉදන් කියවන්න ඕනේ වගේ..

    ReplyDelete
    Replies
    1. මේ ගැත්තීට සමා වෙන්ට ඕනෑ. ඒකට වග කියන්න ඕනෙ අපේ කැම්පස් එක තමයි නගෝ.
      කමක් නෑ. ආයෙ කියවලම එන්නකෝ..........

      Delete
  4. මෙච්චර ලස්සන බ්ලොග් එකක් මට කොහොමද මඟඇරුණෙ..? කොටස් තුනම කියෙව්වා.. ලිවීමේ රටාවනම් උපරිමයි..
    ඊ ළඟ කොටසත් බලාගෙන ඉන්නවා..:)

    ReplyDelete
    Replies
    1. 50 වෙනි පෝස්ට් 1ට මගෙන් සුබ පැතුම්..!!!
      තව තවත් නිර්මාණ කරන්නට ධෛර්ය නිර්මාණ ශක්තිය ලැබේවා..!!!

      Delete
    2. සාදරයෙන් පිලිගන්නවා යාලු නිසල ගං දියට. ආයෙත් එන්නකෝ.....

      ගොඩක් ස්තුතියි ඔයාට.

      ඊළඟ කොටසත් ඉක්මණටම කියවන්න ලැබේවි යාලු.

      Delete
  5. අඩේ ඉක්මන්ට අනිත් කෑල්ලත් දාන්ඩෝ....

    ReplyDelete
    Replies
    1. ම්ම්...... බලමු බලමු ඉක්මණටම.........

      Delete
  6. හපෝ තව කොටසක්.....? ඒකත් දාමුකෝ බලන්න

    ReplyDelete
    Replies
    1. ඉක්මණටම බලන්න පුළුවන් වේවිනේ.......

      Delete
  7. රසයි රසයි අපි එනවා දිගටම බලන්න

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාලු. ආයෙත් එන්නකෝ..........

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...