Tuesday, April 2, 2013

නමුදු හොඳ හැටි දනිමි මේ භවයේ නොවන බැව් ඒ දිනේ




තටු සිඳී ගිය කිරිලියක ලෙස ඇයිද මා මෙහි උපන්නේ
කඳුලු වැල් නිති දෙනෙත් පාමුල ඇයිද සරදම් කරන්නේ
තවම සවිමත් මදිද මා සිත ඇයිද තව දුක් දෙවන්නේ
කටුක මූසල අන්ධකාරය ඇයිද මා හැර නොයන්නේ


සිතින් දකිනා හීන අපමණ සොම්නසක්මයි ගෙනෙන්නේ
යළිඳු ආ විට පියවි ලොව වෙත දොම්නසක්මයි දැනෙන්නේ
සතුට හිමි මට නිමේශයකට පමණක්මදැයි නොදන්නේ
භව කතර මග කවදාද මං තෘප්තිමත් බව ලබන්නේ



තබන එක් පියවරක් පාසා චකිතයෙන් හද ගැහෙන්නේ
මතක ඇති කාලේ පටන් එහි කිසිඳු වෙනසක් නොම වුනේ
දස දහස් ගණනින් ලැබූ ගැරහුම් ඇතේ මගෙ දෙසවනේ
එහෙත් කරනට කිසිත් නැත මේ පව් ගෙවෙන තුරු දෙවියනේ

උපන් දා සිට අභියෝගමයි අපි හැමෝටම ලැබෙන්නේ
ලබන ඔබ ජය බොහෝ විට මට පරාජයමයි හිමි වුණේ
මගේ හිතුවක්කාර සිත මල පැරදුමෙන් නැත නැවතුනේ
දැවී අළු වී සුන්ව ගිය මුත් අළු මතින් යළි පිබිදුනේ

පුංචි පැතුමක් සිත් කොනක මම තබාගත්තෙමි මෙලෙසිනේ
යම් දිනෙක ඔබ මෙන්ම දකිනට මගේ දෙනෙතින් විඳිමිනේ
අල්ප මාත්‍ර වු බලාපොරොත්තුව පවා මට අහිමි වු දිනේ
පසක් විය ඒ පැතුම් මල හින්දාය එතුවක් නොමැරුනේ


අපමණක් දුක් සිතින් වින්දෙමි විඳවනෙමි මෙතුවක් දිනේ
සිරව සිටියා ඇතිය මට මේ සිපිරි ගෙයි මහ දුක් ගෙනේ
අවැසි වෙමි නිදහස විඳින්නට ඔබ වගේ මතු යම් දිනේ
නමුදු හොඳ හැටි දනිමි මේ භවයේ නොවන බැව් ඒ දිනේ




9 comments:

  1. මෙවැනි නිර්මිත නිර්මාණ කවි දුටුවාම අපෙ නෙත් වලින්
    නුඹේ දුක අපි බෙදා ගන්නව ඇත්තමයි අපෙ සිත් වලින්
    දවසකදි නුඹ දැන ගනී එය සිදුවුනේ නුඹෙ පිනකටයි
    විඳවන්න නොව විඳගන්න ඇත යොදුන් ගණනක ජීවිතේ

    ReplyDelete
    Replies
    1. හ්ම්......... ඒ සිතුවිල්ල තමයි ජීවත් කරවන්නෙ. ඒත් ඒක මිරිඟුවක් කියල හිතෙනවා.
      ගොඩක් ස්තුතියි ඔයාට.

      Delete
  2. ඇත්තමයි මටත් මෙ වගෙ හිතුන වාර අනන්තයි කවියකට නොනැගුවාට..ගොඩක් මන් වින්දා :)

    ReplyDelete
    Replies
    1. දෛවය සම්පුර්ණයෙන් වෙනස් කරන්න බෑ යාලු. අංශු මාත්‍ර කොටසක් වෙනස් කරන්න විතරයි පුළුවන්. ඔයාටත් ගොඩක් ස්තුතියි. ආයෙමත් එන්න.

      Delete
  3. කවියේ තාලේ රැකගන්න තව පොඩ්ඩක් මහන්සි වුනා නම් වටිනවෝ.

    උත්සාහ කරන්න. සමහර විට මේ ආත්මෙදිම ඒ සිහිනය හැබෑ කරගන්න පුළුවන් වේවි

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑ වෙන හීනයක්‌ නෙවේ යාලු කොච්චර උත්සහ කලත්.. ගොඩක් ස්තුතියි. ආයෙත් එන්නකෝ.

      Delete
  4. අදයි ආවේ...අනේ ඒ හීනය හැබෑවක්ම වේවා..
    මොකද ඒ දුක මාත් හොඳටම දන්නවා...

    සුබ පතනවා අනාගතය වසනා වන්ත වෙන්න ඔයාගේ ...

    ReplyDelete
  5. කියනවා වගේ හැමදාමත්
    තනි වී නැත ඔබ කවදාවත් ,

    දකිනා ඔබ එක සිහිනයක්
    මටත් එය මගේ සිහිනයක්

    සතුටින් නම් ඔබ එක නිමේශයක්
    වටිනවා එය මට මහ මෙරක්

    දකින්නට ඔබ හට ලෝකයක්
    පහනක් වෙන්නට සිටිමි මන්


    සොරි හොදේ කොමෙන්ටුවට ලේට් උනා ...........

    ReplyDelete
  6. සුපිරියි...

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...