Tuesday, April 30, 2013

ඇය දවාලූ අවුරුද්ද........


කොහොමද යාලුවනේ.....

හැමෝටම අලුතින් හිතන්න පුළුවන් තමුන්ගේ අරමුණු වලට යන්න පුළුවන් වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. 

 ලියන්න දේවලුත් තිබුන. ඒත් ලියන්න ගත්තම වචන පැටලුනා. ඕනෙ දෙයක් කියල අදත් පටන් ගත්ත. මොනවම හරි ලියවෙන් නැතැයි.

ඔයාට මේ අලුත් අවුරුද්ද සුභද? ඇයි අපි හැමෝටම අලුත් අවුරුද්ද එක වගේ සුභ වෙන් නැත්තෙ? සමහර අයගේ මුහුණු හිනාවෙන් පිරෙන්නයි තවත් අයගේ මුහුණු දුකින් පිරෙන්නයි. ඇයි එහෙම වෙන්නෙ?

පහු ගිය 16 වෙනිද උදේ අපේ ගෙදරට කෝල් එකක් ආව.  


 හිනාව පුරෝගෙන ෆෝන් එක අතට ගත්තත් අපේ අම්ම ඒක තිබ්බෙ මුණ ලොකු දුකකින් බර කරගෙන.

“හරි වැඩේනේ චූටි, සමීර අයිය නැති වෙලා.”

“ඈ... කොයි සමීර අයියද?”

“ඔයාලගෙ ඉස්කෝලේ පියුමි අක්ක බඳින්න හිටපු අයිය.”

ඒත් එක්ක මගෙ ඔලුවට චිත්‍රපටියක් වගේ රූප පෙළක් ගලාගෙන ආව. ගම්පහ  කච්චේරිය ළඟ බස් හෝල්ට් එකේ මං පන්ති යන්න ඉද්දි මේ කපල් එක හැමදාම ඒනවා. ඔහේ කියව කියව  ඉන්නවා. ඒ කාලේ නම ඉතින් ඕව මට මැජික් වගේ. පියුමි අක්ක ගෙදර යන්නෙ අපේ ගෙදර ලඟින්. එයාව පෙන්නල මං අපේ අම්මට අනන්ත කේලම් කියල ඇති.
බස් එකෙන් බැහැල ගෙදරට යන්න කිලෝමීටර එක හමාරක් විතර තියෙනවා එයාට. පාර ටිකක් විතර පාලුයි. තනියම යන්න එන්න ටිකක් බය හිතෙනවා. ඒ හින්ද හිතේ බය නැති වෙන්න හන්දියෙ ඉඳන් ගෙදරට 
 ලං වෙනකල් පියුමි අක්කයි සමීර අයියයි මග දිගටම කෝල් කළා.

අහන දකින අය කොච්චර කතන්දර හැදුවත් කීවත් ඒ කවුරුවත් පියුමි අක්කගේ තනියට එන්නෙ නෑනෙ. එයාල ගොඩ කාලයක් ලස්සනට හිටියා.(හැබැයි ගෙවල් දෙකටම හොරෙන්.) සමීර අයියගේ තාත්ත ගොඩක් වැදගත් ප්‍රභූ පැලැන්තියේ කෙනෙක්. ඒ වගේම ටිකක් සැරයි. පියුමි අක්ක බොහොම සාමාන්‍ය පවුලක කෙනෙක්. කොහොම වුණත් මෙයාල ගැන ගෙවල් වලින් දැනගත්තෙ එයාල ඉස්කෝලේ ගිහින් ඉවර වුනාට පස්සෙ. මේ පවුල් දෙක සමාජ තත්ත්ව දෙකක නිසා සමීර අයියගේ තාත්ත එයාලට තදින්ම විරුද්ධ වුනා. සමීර අයිය ගෙදරින් පැනල ගියා. මේ වගේ ටිකක් ලොකු ප්‍රශ්න මීට අවුරුදු ගානකට කලින් වුනා.  කාලයත් එක්ක ඒ ප්‍රශ්න හැම එකක්ම හොඳ අතට විසඳුණා.

එයාල ගොඩක් සතිටින් හිටියා. ගෙයක් හදන්නත් ලැස්ති කළා. සමීර අයිය ගොඩක් නිහතමානී කෙනෙක්. ගොඩක් මහන්සියෙන් වැඩ කළා. ගේ හදන්න ගල් හැදුවෙ එයාගෙ අත් දෙකෙන්. තාත්තට කොච්චර සල්ලි තිබුනත් එයා තනියම නැගිටින්න උත්සහ කළා.

පහු ගිය අප්‍රේල් 14 වෙනිදා මේ දෙන්න අක්කගේ මහ ගෙදර අවුරුදු පාටි එකකට ගියා. රෑ 8 විතර වෙද්දී ගෙදර ඇවිත් පියුමි අක්කටත් කතා කරල පුරුදු විදියටම නිදාගත්ත. ඒත් එයා ආපහු ඇහැරුණේ නෑ. කිසිම ලෙඩක් 
 නොතිබුන එයාට මොනවා වුනාද කියන්න කිසිකෙනෙක් දන්නෙ නෑ. 

හේතුව හොයාගන්න දොස්තර මහත්තුරු තවම උත්සහ කරනවලු.  මේ වෙනකල්ම ඒ හේතුව කවුරුත්ම දන් නෑ.


“අනේ නංගියෙ, මෙහෙමයි කියන්න අසනීපයක්‌ තිබුන නම් මං හිත හදාගන්නවා. ඇයි නංගියෙ මට මෙහෙම වුණේ? හෙට ගල් 200 ක් හදන්න ඕනෙ කියල කලින් ආවෙ. මේ දවස් ටිකේම මා එක්ක ඇඳුම් ගන්නයි හැම තැනම ගියේ වෙනදාටත් වඩා මං එක්ක හිටියේ මේ හින්දද?.........” සමීර අයියගේ පෙට්ටිය ළඟ පියුමි අක්ක හඬා වැටුණ. මේ දුක අහන් ඉන්නවත් මට හයියක් තිබුණේ  නෑ. මළ ගෙදර ගියෙත් නොගිහින් බැරි කමටමයි. පියුමි අක්ක ගොඩක් දේවල් කීව. මළගමට ආව අයගෙන් ඇහෙන් කඳුළක් නොවැටුන කෙනෙක් නෑ. ඒ තරමටම ඒක මහ ඛේදවාචකයක්.

එයා යන්න ගියා. පියුමි අක්ක තනි වුණා. අද එයා සුදු පාට ඔසරියක් ඇඳගෙන ආයෙත් වැඩට ගියා. වෙනද තිබුණ පිරුණු හිනාව අද නෑ. එයා කොච්චර කාලයක් මෙහෙම විඳවන්නද? එයාට කවදාහරි සමීර අයියව අමතක කරන්න පුළුවන් වෙයිද? ආදර කතාවක් මේ විදියට ඉවර වෙන එක සාධාරණද?

මං සතුටු වෙනව මේ කතාව කලින් නොලීවට. ඔයාලට මොනවද හිතෙන්නෙ? හිතෙන දෙයක් ලියල යන්න. අපි එකිනෙකා හිතන විදිය වෙනස්. ඕනෙම අදහසක් ලියන්න ඔයාට අයිතිය තියෙනවා.
   

2 comments:

  1. අනේ..පව් එයාලා දෙන්නා :(

    ReplyDelete
  2. ලස්සනයි දිගටම ලියන්න ..එනවා බලන්න...

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...