Wednesday, October 4, 2017

දුර්ග චාරිකා ...(ඇගේ අවසාන සටහන)

පෙර කොටස් වලට

දුර්ග චාරිකා... (ඇගේ සය වන සටහන)
දුර්ග චාරිකා... (ඇගේ පස් වන සටහන)


එය කිසිවෙකුත් නැති පාලු මුසල ස්ථානයක් බව ප්‍රධාන දොරටුව අසලදී අපිට වැටහිණි. නමුත් විශාල කුනාටුවකට පෙර ඇති නිහඬ බවින් අපේ සිත් සසල වී තිබිණි. අප ඉක්මන් කල යුතු විය. පිටින් දුටුවාට වඩා එම ගොඩනැගිල්ල විශාල විය. ඊළඟ විනාඩි පහලව ඇතුලත අප නැවත පැමිණිය යුතුය.  අපි ගියෙමු. 

ආරක්ෂකයා කියූ පරිදි පඩිපෙළ නැග්ගෙමු. දෙවන මහලට පිවිසෙනවාත් සමගම මගේ වම් පසින් සිටි පැහැසර කිසිවෙකු විසින් අල්ලා ගනු ලැබිණි. මම අත තිබු ගිනි අවිය ක්‍රියාත්මක කලෙමි. ඉන් එක උණ්ඩයක් නිකුත් විය. ඒ සමගම මා අත තිබු ගිනි අවිය විසි වී ගියේ මගේ පිටුපසින් සිටියකුගේ පා පහරකිනි. පසුව මගේ ගෙල ප්‍රදේශයෙන් ඉතා සියුම් වේදනාවක් දැනිණි. එපමණය. මා සම්පුර්ණයෙන්ම අඩපන විය. 


නැවත මා දෑස විවර කලේ තෙත සහිත සීතල පොලවක් මතය. මගේ සිරුරේ උෂ්ණත්වය ඉහල මට්ටමක තිබිණි. මා අධික උණෙන් පෙළෙමින් සිටියෙමි. නැගිට ගැනීමට වාරු නැත. යන්තම් හිස ඔසවන්නට තැත් කලෙමි. නමුත් අනෙක් පසින් මගේ දෑසට හසු වූ දසුනින් නොසෙල්වී සිටීම නුවනට හුරු බව වටහා ගත්තෙමි. යන්තමින් අවට බලුවෙමි.

ජීවත්ව සිටියදී ඔබට අපාය දැක ගත නොහැක. නමුත් ඒ මොහොතෙහි එහි සිටි සියල්ලෝම අපාය තම දෑසින් දැක ගත්තාහ. අපායෙහි ජීවත් වුවෝය. ඊලගට එළඹී වසරක කාලය ඔබට විස්තර කිරීම කල නොහැක්කකි. ඇත්තෙන්ම එය අවශ්‍යද නැත. නමුත් එක දෙයක් ඔබට කිව යුතුය. ඉන් පිට වන විට මට ඉතිරි වූ එකම දෙය වෛරය පමණක්මය. වෛරය අපේ සිත සම්පුර්ණයෙන්ම ආක්‍රමණය කළ පසු අපට කිසිවක් ඉතිරි නොවේ. මනුෂ්‍යත්වය පලා යයි. මීට හුරු වීම අතිශය අපහසු දෙයක් වුවත් අවාසනාවන්ත ලෙස මගේ සිතට ඊට හුරු වීමේ හැකියාව තිබිණි.

අපගේ මනස මෙන්ම සිරුරද ඔබ සිතනවාට වඩා විස්මයජනකය. එයට ඉතාම ඉහල මට්ටමේ සුව වීමේ හැකියාවක් ඇත. මෙහිදී මට ඉහලම මට්ටමේ යන වචන භාවිත කළ නොහැකිය. මන්ද එහි සිටි සියල්ලන්ම මා මෙන් නැවත නොපැමිණි බැවිනි.

සැබවින්ම මා පිටතට පැමිණියේ කෙසේදැයි මට නිනව් නැත.එක් උදෑසනක මා දෑස් විවර කලේ ඉතා සුව පහසු කුටියක සිනිදු ඇතිරිලි සහිත ඇඳක් මතය. එතෙක් මා හුරු වී තිබූ රළු සිමෙන්ති පොලව එහි නොවීය. කුටිය හිරු එළියෙන් ආලෝකමත් වී තිබිණි.

කොයි මොහොමත කුමන අන්දමේ ප්‍රහාරයකට ලක් වන්නට සිදු වේදැයි සැකයෙන් පෙළීමට හුරුව තිබූ මගේ සිත මා සිටි අවට පරිසරය පිළිගැනීමට අසමත් විය. සිරුරට දැනුනු වේදනාවන් බොහෝසෙයින් පහව ගොස් තිබිණි.

කුටියේ දොර විවර විය. කවුරුන් පැමිණියාදැයි නොදන්නාමුත් මා සියලු වෙර යොදා අමුත්තාට පහර දුන්නෙමි. පහසු වූයේ නැත. පහර නොදුනහොත් විඳීමට සිදුවන වේදනා වැඩි බව උගත් මගේ සිත මගේ දූබල වූ කය හොඳින් මෙහෙයවීය.

“සන්සුන් වෙන්න.” ඉතාම කාරුණික හඬකි. නමුත් මගේ ප්‍රචණ්ඩකාරී සිත වසරකට ආසන්න කාලයකින් නෑසූ මෙවන් වදන් නොපිළිගත්තේය. අවසානයේදී පිටුපසින් පැමිණි කිසිවෙක් මගේ ගෙල තරයේ අල්ලාගැනීමත් සමග මට යටත් වීමට සිදු විය.

“සන්සුන් වෙන්න. දැන් ඔයාට කරදරයක් නෑ. ඔයා හොඳින්.” ඒ අන් කිසිවෙක් නොව ඩොක්ට ජෙසී විය. මගේ මුහුණෙහි රැඳී තිබුනේ උමතු වූවකුගේ බැල්මකි. ඉදිරියෙන් වු කැඩපතින් දුටු අවුල් වූ හිසකෙස් තුවාල කැළැල් සහිත සිරුර මටම අතිශය අප්‍රියජනක දසුනක් විය.

 “ඔයාට මාව මතකද?”

මම පිළිතුරු නොදුන්නෙමි.

“මම දන්නවා ඔයාට මාව මතකයි කියල. ඔයා ඒ තරම් දුර්වල කෙනෙක් නෙවෙයි. ඔයා හිටියේ සිර කඳවුරක. අපේ කෙනෙක් ගිහින් ඔයාව බේරගෙන මෙහෙට ගෙනාවේ ඊයේ.”  ඩොක්ට ජෙසී කියාගෙන යයි.
ඒත් සමගම නැවතත් වසා තිබූ දොර විවර විය. එයින් පැමිණියේ කලකට පෙර මගේ මිතුරිය වු සිම්රන්ය. සිතෙහි ඇති වු කෝපය මා ඉන්දවා සිටි තැනින් නැගිටවීමට සමත් විය.

“උඹ තමයි මාව ගිහින් දැම්මේ? උඹ තමයි...” මා මිමුනුවේ එපමණකි. එක්වරම මට සිහි වුවේ පැහැසරය.

“පැහැසර කොහෙද?” දැඩි හඬින් මම විමසීමි. මගේ සිතට අවශ්‍යව තිබුනේ පැහසරට වුයේ කුමක්දැයි දැනගෙන සිම්රන්ව අවසන් කිරීමටය.

“එයා හොඳින් ඉන්නවා”

“උඹල සේරම කියන්නේ බොරු.” මම නගිටසිටීමට දැඟලුවෙමි. නමුත් කවුරුන් හෝ විසින් මා අලලාගනු ලැබීය.

“සන්සුන් වෙලා මං කියන දේ අහගෙන ඉන්න.” ඩොක්ට ජෙසී නැවත තිර හඬින් පවසා සිටියාය

“ඔයාගේ හැම පැවරුමක්ම දැන් ඉවරයි. ඔයාට ආපහු යන්න පුළුවන්.”
මම දැන් කොහේ යන්නද? මට නිනවූ වූයේ නැත.     

“දැන් විවේක ගන්න.”

සියල්ලෝම පිටව ගිය පසු මම කල්පනා කරන්නට වීමි. සිදු වු සියල්ල කෙමෙන් කෙමෙන් මතකයට නැගෙන්නට විය. ඩොක්ට ජෙසී සිර කඳවුර නමින් හැදින්වූ ස්ථානයේ දී සිදු වු දේවල් මගෙන් විමසු පිළිතුරු නොදත් ප්‍රශ්න නැවත මගේ සිහියට නැගිණි. ඊළඟ දින කිහිපය මා ගත කලේ නිදා ගැනීමට හා ඇතිව තිබූ තුවාල සුව වීමට බෙහෙත් ලබා ගනිමින්ය.

විවේකයත් සමග මම මානසිකව යම් තාක් දුරකට ස්ථාවර මට්ටමක සිටියෙමි.

“ඔයාව බලන්න අමුත්තෙක්” මගේ සාත්තු සේවිකාව මගේ කුටියට පැමිණියේ සිම්රන් සමගය. නැවතත් මගේ කලබලකාරී බවක් ඔවුන් බලාපොරොත්තු වන්නට නැත. නමුත් මා නෑසූ කන්ව සිටියෙමි. සිම්රන් මා අසලට පැමිණ මා ඉදිරියේ අසුන් ගත්තාය.

“මට සමාවෙන්න. ඒත් මට කරන්න දෙයක් නෑ. මේ ක්‍රමය වෙනස් කරන්න කාටවත් බෑ. මමත් එහෙට ගිහින් හිටිය ඔයාට වඩා වැඩි කාලයක්.” ඇය අත් වලින් කතා කරයි. මම අයව මගහැරියෙමි. ඇයට නොදැනෙන සේ ඇය පවසන දේ තේරුම්ගත්තෙමි.

“මම දැනට කරන හැමදේම ඉගෙනගත්තේ එහෙන් තමයි. ඔයත් එහෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනව. ඉස්සරහට එ දේවල් පාවිච්චි කරලා ඔයාට වැඩ කරන්න සිද්ද වෙනවා.”

“පැහැසර කොහෙද?”

“එයා හෙට මෙහාට එනව. අද හවසට අපේ යුධ හමුදාවේ ජෙනරල් කෙනෙක් මෙහාට එනව. හරියට හවස 4ට ලැස්ති වෙලා ඉන්න.”

සිම්රන් යන්නට ගියාය.හෙට දිනයේදී පැහැසර හමු විය හැකිය යන සිතුවිල්ල මගේ සිතට යම් සැනසිල්ලක් ගෙනදෙන්නක් විය. සාත්තු සේවිකාව ලබා දුන් ඇඳුමෙන් සැරසී සිම්රන් කී හමුදා නිලධාරියා හමුවීමට ගියෙමි. මගේ කුටියට යාබදව තිබූ බරාද කොටසේ මෙම හමුව සුදානම් කර තිබුණි.

මා එහි යන විට ඔහු පැමිණ සිටියේය. නමුත් මට පිටුපා සිටි නිසා ඔහුගේ මුහුණ මට දැක ගත නොහැකි විය. ඔහු මට අසුන් ගන්නට අණ කළේය.

“ඔබ අද දින සිට මා සමග සේවය කළ යුතුයි.” මට එ කටහඬ ඉතාම හුරුපුරුදු බවක් දැනුනි.

“කළ යුතු දේ සම්බන්දව ඔබ ඉදිරියේදී දැනුවත් වේවි.” පිටුපා සිටි ඔහු එක්වරම මා දෙසට හැරුනේය. මා උන් හිටි තැන අමතක වී සිටගත්තෙමි. සැබවින්ම මේ ඔහුමද? මගේ සිත විමසුවත් ඒවා වචන බවට පරලුනේ නොවේ.

“ඔව්. ඔබ හිතුව හරි. මම තමයි ඔබේ සිර කඳවුරේ ප්‍රධානියා. මාව හොඳට අදුනනවනේ.” පසුගිය වසර පුරාවට සිරකරුවකු වු මට ලබා දුන් සියලුම ශාරීරික හා මානසික වද සහ සියලුම වර්ගයේ පුහුණුව ලබා දුන්නේ ඔහුගේ අනකිරීම් වලටය. මා එහිදී සිදූ කළ පරිදි ඔහුට ආචාර කලෙමි.

“ඔබ ශක්ති සම්පන්න සොල්දාදුවෙක්. අප ලබා දුන් පුහුණුව හොඳින් ලබා ගත අයෙත්. ඉදිරියට මට ඔබගේ සේවය ඉතාම වැදගත් වේවි. හෙට උදෑසන පුහුණුවීම් සඳහා ඔබ පැමිණිය යුතුයි.”

පසුදා උදෑසන මා පුහුණුවීම් වල නිරත වීම සඳහා කැඳවනු ලැබීය. එය 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩයක් විය. විවිධ ජාතිකයින් ඒ අතර විය. වැදගත්ම කරුණ වූයේ සිම්රන්ද එහි සාමාජිකාවක වීමයි. යෝග්‍යතා ව්‍යායාමයන් විවිධ ක්‍රියාකාරකම් අවි පුහුණුව ආදී විවිධ පුහුණුවීම් වල අපි නිරත වූයෙමු.. මේ කාලය තුල සිම්රන් හා මා අතර නැවතත් කුඩා හිතවත්කමක් ගොඩනැගෙමින් තිබිණි. අප එහිදී කළ කණ්ඩායම් ක්‍රියාකාරකම් මිට හේතු විය. මෙසේ දෙසතියක් ඉක්ම ගියත් මට පැහැසර දැකගත නොහැකි විය. සිම්රන් පැවසුවේ ඔහු පැමිණ ඇති නමුත් තවම අප හමුවීමට තරම් සුදුසු තත්වයක නොමැති බව ඩොක්ට ජෙසී පැවසු බවයි.

නමුත් සැබවින්ම මම ඇය විස්වාස නොකලෙමි. කිසිවෙකුත් විස්වාස නොකලෙමි. පුහුණුවීම් කලාපයෙන් හැර වෙනත් කිසිඳු ස්ථානයක් වෙත යාමට අවසර නොතිබූ බැවින් තවත් කළ හැකි කිසිවක් නොවීය.
මේ වන විට මා එහි පැමිණ වසර හතරක් පමණ කාලයක් ගතව තිබිණි. එක්තරා සවසක ඩොක්ට ජෙසී පැමිණ මා ප්‍රධාන කාර්යාලයට රැගෙන ගියාය. මට එහිදී දැක ගත හැකි වූයේ සර් ජේම්ස් සහ සිම්රන්ය. සර් ජේම්ස් මා ඉතාම උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

“හොඳයි ජේ 20, ඔයාට කියන්න බොහොම වැදගත් දෙයක් තියෙනවා.” කුමක් කීවක් කමක් නැත. මගේ මුහුණ එසේ කියාපාන්නට ඇත, මට අමතක වු තවත් එක් දෙයකි. ජේ 20 යනු එවිට මට ලබා දී තිබූ සෙබල නාමයයි. ජේ නාමයෙන් කියවෙන්නේ ජේම්ස් ටීම් යන්නයි. 20 යනු මම දැන් සිටින සෙබල කණ්ඩායමේ 20 වන සාමාජිකයා වීමයි.

“මිට මාස තුනකට කලින් අපි ඔයාගේ මරණය ගෙදරට දැනුම් දුන්න.” එය මට නම් අලුත් යමක් නොවීය. ඔවුන්ට මා දැන් කොහොමත් මිය ගොස් ඇති ගානය. මටද මා මිය ගොස් සෑහෙන කාලයක් ගතව ඇත

“ඔයාලගේ සංස්කෘතියේ විදියට අද ඔයා වෙනුවෙන් පින්කමක් තියෙනවා ඔයාගේ ගෙදර. බලන්න.” සර් ජේම්ස් දුරස්ථ පාලකය ගෙන මගේ නිවසේ සිදුවන දානය, මගේ තුන් මස දානයේ දසුන් පෙලට පන දුන්නේය. 
මගේ හදවතට කිසිවක් නොදැනුනි. මා සිටිවනම සිටියෙමි. ඔවුන් දැක ගැනීමට ලැබීම මගේ සිතට කිසියම් සහනයක් එක් කළේය. මන්ද ඔවුන් නිරුපද්‍රිතව සිටි බැවිනි.

“හොඳයි. එයාලට ඔයා මැරිලා. එයාලට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. නමුත් ඔයාට එයාල වෙනුවෙන් කරන්න දේවල් ගොඩක් තියෙනවා. මං හිතනවා මේ දේවල් ඔයාට හොඳට තේරෙනවා ඇති කියල. එනිසා දැන් ඔයාට ලබා දෙන නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ නැතිව මගේ විස්වාසය රකිවී කියල මම විස්වාස කරනවා.”

“යස් සර්.” මගේ පිළිතුර එපමණක්ම විය.            

එතැන් සිට මගේ ජීවිතයේ එකම අරමුණ වූයේ අණ පිළිපැදීම පමණක්ම විය. ඒ දක්වා මා ලබා ගත් අත්දැකීම් සහ පුහුණුව තුල ඕනෑම තත්වයක් යටතේ ඕනෑම දෙයක් සිදු කිරීමට හැකි විය. ඔවුන්ගේ එකම අරමුණ වූයේ තම රට ලොව එකම බලවතා බවට පත් කිරීම පමණකි. ඒ සඳහා අප ආසියාතික ඕනෑම රටකින් එල්ල වන ඕනෑම වර්ගයක තර්ජනයක් මුල් අවධියේම හඳුනා ගැනීම. ඔඩු දුවා ඇත්නම් කුමන හෝ ක්‍රියාමාර්ගයක් අනුගමනය කොට එය අවසන් කිරීම සිදු කළෙමු. අපට අවශ්‍ය ඕනෑම වර්ගයේ අනන්‍යතාවයක් ලබා ගත හැකි විය. කිසිඳු සිදුවීමක සාධාරණය අසාධාරණය අපට කිසිඳු අවස්තාවක වැදගත් නොවීය. වැදගත් වූයේ එය තර්ජනයක්ද යන්න පමණකි.


පැහැසර මට නැවත හමුවුයේ තවත් වසර තුනකට පමණ පසුවය. මමත් ඔහුත් එකම තැනක නොතැබීමට ඔවුන් වග බලාගෙන තිබිණි. අප තුල ඇති හැකියාවන් හොඳින් හඳුනාගෙන ඒවා යොදා ගත හැකි හොඳම අකාරය වෙත ඔවුන් යොමු විය. අපගේ හැකියාවෙන් ඔවුන්ට පලක් නැති බව හඳුනා ගතහොත් ඔවුන් අප නිසි ලෙස ඉවත් කර දමයි. එය ඉතා පහසු ක්‍රියාවලියකි.

ඔබ දැන ගත යුතු තවත් බොහෝ දේ තිබුනත් මම දැනට මෙතැනින් නවතිමි. නමුත් විවිධ රටවල මා සිදු කළ අපරාධයන් පාපොච්චාරණය කිරීමට අවස්තාවක් මා වෙත ලැබිය යුතුය. එම අවස්තාව ලැබීමට පෙර මගේ විංඥාණය සිරුරින් වෙන් වී යාදෝයි විස්වාස කළ නොහැකිය. එසේ නොවේවා යි මා හට ඇති එකම පැතුමයි.

                                                                        නිමි...   


ඔන්න  යාලුවනේ දුර්ග චාරිකාව මෙතනින් නිමා වෙනවා. මේක තව ඉස්සරහට ගොඩනගන්න පුංචි අදහසක් තියාගෙන තමයි ඉවර කරන්නේ. අපි බලමු ඉස්සරහට.

කොහොම වුනත් මේ කතාව ගොඩක් අය බැලුව ගොඩක් කැමැත්තෙන්. ඒ ගැන මට ඇත්තටම සතුටුයි.මගේ උත්සාහය යම්තාක් දුරකට සාර්ථකයි  කියල දැනෙනවා. කතාවත් බැලුව හැමෝටම ගොඩක් ස්තුතියි. මාව ධෛර්යමත් කරපු හැමෝටම ස්තුතියි.  තවත් පුංචි අලුත් වැඩක් එක්ක ආයෙත් හමුවෙමු...

4 comments:

  1. අමුතු කතාවක්. සංවර ලියවිල්ලක්. පොඩ්ඩක් බෝරින් හිතුන වෙලාවල් තිබුනා. නමුත් බොහොම හොඳයිනේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... ගොඩක් ස්තුතියි. මෙහෙම එකක් ලිවේ පළවෙනි වතාවට. ඔය දිගටම කියෙව්ව එක ගැන ගොඩක් සතුටුයි. දිගටම එන්න.

      Delete
  2. එකම රටවක කතා වෙනුවට වෙනස් කතාවක් කියවන්න ලැබුණු එක සතුටක්... තවත් අලුත් කතාවක් ඉක්මනටම ලියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..... දිගටම බලන්නකෝ...

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...