Wednesday, August 1, 2012

සය වන දිගහැරුම


රෝසි නැන්දාගේ අණ පරිදි අපි රාත්‍රී 8 00 ට කෑම මේසයට ගියෙමු. බත් සමග පරිප්පු, මාළු, ගොටුකොල සම්බල, පපඩම් හිබුනි. රෝසි නැන්දා සමග හැමෝම කෑම ගත්තෙමු. 

රෝසි නැන්දා බොහොම ප්‍රිය මනාප තැනැත්තියකි. කෑමෙන් පසු මද වෙලාවක කතා බහකින් පසුව පසු දින අපට විවේකී දවසක් වන බවත් අනිද්දා එනම් සඳුදා දින සිට අප පාසල් යා යුතු බවත් අපට දැනුම දෙනු ලැබීය.
කෑමෙන් පසුව අප හයදෙනාටම දැඩි මහන්සියක් දැනුනි. කාමරයට පැමිණ මම ඇදෙහි ඇල වුනෙමි. නිදි පොළ මාරු වී ඇති නිසාදෝ නින්ද මා අහලකටවත් නාවේය. පොඩි අයියා සමග කෙටි පණිවුඩ කිහිපයක් හුවමාරු කලෙමි. පසුව ඔහුටත් නින්ද යන්නට ඇත. මටත් නින්ද යන්නට ඇත. නමුත් රෑ මැද කිහිපවරක්ම අවදි වුයෙමි. ඒ හැම විටකම මට සිතුනේ අනේ මම ගෙදර හිටියා නම් යන්න පමණි.


පසුදින පාන්දර හය පමණ වන විට මම ඇහැරුනෙමි. කැඩුණු නින්ද නිසා හිසරදය මට වද දුන්නේය. මුහුණ සෝදාගෙන මම මිදුලට බැස්සෙමි. මේ වත්ත සෑහෙන විශාලය. මිදුලේ එක පසෙක අඹ ගස් සෙවනේ බංකු කිහිපයක් තබා තිබුණි. ඊට මදක් ඈතට වන්නට කෙටි තාප්ප සහිත ශාලාවක් තිබුණි. මම බැංකුවකින් වාඩි වී සිහිල් සුළඟේ පහස විඳිමින් සිතින් ගෙදර ගියෙමි. 

“ගුඩ් මෝනින් හංසි, තේ ඒක අමතක වුනාද?” කියමින් සෙනුරි මගේ අතට තේ කෝප්පයක් දිගු කළාය. 

“ගුඩ් මෝනින්, අනේ තැන්ක්ස් , අමතක වුණේ නෑ. මං එන්න හිටියේ. ඇයි කරදර වුණේ?”

“මමත් මිදුලට එන්න ආවෙ, නැන්ද කතා කළා තේ බොන්න. ඔයා ඉන්නවා දැක්ක හන්ද ඔයාටත් අරන් ආව.” ඇස් නටවමින් ඇය කියෙවුවාය. 

“කෝ මිනුරි, තවම නිදිද?”

“අපෝ එයා ඇහැරෙනකොට බැරියැ, එයා දැන්ම නැගිටින් නෑ.”

“මෙන්න ආයෙත් ඔයාට කෝල්, අනේ.. මන්ද, මාවමයි අහුවෙන්නේ. දෙන්නටම ගුඩ් මෝනින්” කලින් දාත් මට දුරකථනය ගෙනවිත් දුන් ඇය කීවාය. 

ඇයට සුභ පතු මම දුරකථනය රැගෙන පසෙකට ගියේමි. පොඩි අයියාත් අම්මාත් මට කතා කළාය. 

“ඔයා ගියා. මට අද උදේ තේත් නෑ. අම්මටත් අමතක වෙලානේ මාව.” පොඩි අයියාගේ කටහඬ බරව තිබුණි. මගේ පපුව හෝස් ගා ඇවිලී ගියේය.

“අනේ අයියෙ, ඇයි අම්ම තේ හදල දුන්නේ නැද්ද?”

“හදල දුන්න මං ඉල්ලුවම.”

පොඩි අයියාට එහෙම හරි යන්නෙ නැත. ගෙදරදී උදේට තේ එක හදාගෙන මම ඔහුව ඇහැරවමි. එය අප දෙදෙනාටම හුරුය. මට අම්මා සමග ඇති වූයේ තරහකි. දුකෙන් සිටින ඔහු ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුය. 

ඇමතුම අවසන්ව මම නැවතත් යෙහෙලියන් අතරට ගියෙමි. නිකටට ඇත තබාගෙන දෙදෙනාම මා දෙස බලා සිටි අන්දමට මට ලැජ්ජා සිතුනි.

“මොකෝ මැජික් ද?”

“අනේ.. මන්ද, ඒක නෙවෙයි, තරහ වෙනවද බඩ්ඩක් අහන්න?” සෙනුරි මා වටේ රවුමක් කැරකී ගොස් බංකුව මත එක කකුලක් තබාගෙන ඉනට අතක් ගසා ගත්තාය. 

“ඇත්තටම ඔය ඔයාගේ පොඩි අයියද? නැත්තම්.... ඔයාගේ මල ද?”

මට බකස් ගා හිනා ගියේ නොදැනීමය. මන්ද මෙය මට අමුත්තක් නොවේ. මේ ප්‍රශ්නය වෙනත් වෙනත් ආකාර වලින් මගෙන් අසා ඇති වාර ඕන තරම්ය.යෙහෙළියෝ ඇස ලොකු කරගෙන මා දෙස බලා සිටිති.

“ඇත්ත වශයෙන්ම කියනවා නම්....... ඔයාල කැමති එකක් හිතාගන්නකෝ.” මා එසේ කීවේ දෙදෙනා අවිස්සීමටය. ළඟ තිබුණු සේපාලිකා ගසෙන් මල් කිහිපයක් කඩාගෙන ඔවුන් දෙසට විසි කලෙමි. අපි අපේ අලුත් මිතුදමේ ආශ්වාදය විඳගත්තෙමු. මේ අතර තිසාරා පුංචි අකරතැබ්බයකට මුහුණ පෑවේය.එක්වරම ඈ කෑ ගසාගෙන ඉවතට පැන්නාය. ඇය පිටුපසින් සිනාසෙමින් සිටියේ නන්දාවතී නැන්දාය.

“උදේම පටන්ගත්තද නැටිල්ල? හොඳා හොඳා අතේ පයේ හිරි ඇරගන්නත් එක්ක. දැන් අලුත් යාළුවො අදුනගත්තද?” පුංචි දරුවන්ට තරවටු කරන්නාක් සේ ඇය ඇසුවේ බුලත් විටක්ද හපමිනි. 

තිසාරා සෑහෙන්න බය වෙලාය. පස්සෙන් පස්සට ගිය ඇය නන්දාවතී නැන්දාගේ ඇගේ හැපී ඇත.
“ අම්මේ, මං බය වුන තරමක්. ගුඩ් මෝනින් නන්දෙ”

“මං මේ දර කැල්ලක් හොයාගන්න ආව. දුල එනවද මා එක්ක ටිකක් ඇවිදින්ට. අපි යන් රවුමක්. තාම වටේ පිටේ ගැන වැඩිය දැනුමකුත් නැති එකේ.” නන්දාවතී නැන්දාගේ අදහසට අපි උඩින්ම කැමති වීමු.

 “හා.... ගුඩ් මෝනින්, කට්ටිය මාව දාල කොහේ යන්නද ලෑස්තිය?” ඇත දෙකෙන්ම ඇස් පොඩි කරමින් නිදිමත බේරෙන ඇඹුල් වූ මුහුණක් අප යන්නට හැරෙත්ම පසුපසින් මතු විය.

No comments:

Post a Comment

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...