Thursday, October 1, 2015

අභිරහස් අකුණු සැරය



වැහි බර කාලගුණය ඒ සවස් යාමයට එක් කලේ චමත්කාරජනක සුන්දරත්වයක් නම් නොවේ.  හෙමින් හෙමින් පා වී ආ කළු වලාකුළු තවමත් මා ආගන්තුක වූ ඒ පැරණි මන්දිරය ගිල ගනිමින් තිබිණි. වර්ෂාවේ සොඳුරු බව නිබඳවම අත් විදීමට කැමති මා සිත, ගතට දැනුනු සීතලද විඩාවද පසෙකලා ඒ සඳලු තලහිම මා රැඳවීමට වග බලා ගත්තේය.   
මා රැඳී සිටි අර්ධ වෘත්තාකාර තෙමහල් ගොඩනැගිල්ලට ඉදිරියෙන් නැගී සිටියේ මෙම ගොඩනැගිල්ල වැසී ගත් අති විශාල සිව් මහල් ගොඩනැගිල්ලකි. ඒ මද්‍යයේ ඇති ගෙමිදුලක් වැනි වූ සුදු වැලි අතුරා තිබු බවට සාධක ඇති ඉඩ ප්‍රමාණය එකල කුමක් සඳහා භාවිතා කලේ දැයි වටහා ගැනීමට මට නොහැකි විය.


ජීවිත දහස් ගණනක කතාන්දර සියසින් දැක තිබුණමුත් කිසිවකුට නොපවසන ලද තැනින් තැන පිළිසකර කල බිත්ති වල ගැබ්ව තිබුනේ දුක්මුසු ගුප්ත බවකි. ඒ කතාන්දර එකින් එක අසන්නට තදබල ආශාවක් මා වෙත ඇති වීම පුදුමයට කරුණක් නොවන්නේ මා මෙහි පැමිණීමේ ප්‍රධාන අරමුණ මෙහි ඉතිහාසය පිලිබඳ ගැඹුරු අද්‍යයනයක යෙදීම නිසාවෙනි.

කෝපයට පත් කැරලි කරුවන් රැසක් මෙන් පෙල ගැසුණු සුලන් කැරලි කුනාටුවක ස්වරුපයෙන් ඉහල අහසේ සිට පහත බැස්සේ මා කලින් සඳහන් කල හිස් ඉඩ ප්‍රමාණය වෙතයි. එම බිම් කඩ මද්‍යයේ පිහිටි අකුණු සන්නායකයක් වැනි තියුණු තුඩු සහිත අහස උසට නැගී යකඩ කනුව ගිල ගන්නට ඒ කුඩා සුලන් කුනාටුව මාන බලන බවක් මම දිටියෙමි. 



එක වරම දැඩි ආලෝකයක් සහිතව ඇති වූ අහස පුපුරුවාලන හෙන හඬ මගේ සර්වාංගයම වෙවුලුවා හැරියේ ඒ හඬට මගේ සවන්පත් බිය වූ නිසා නොවේ. දෑසට හසු වූ දසුනින් මගේ දෑස බියට පත් වූ නිසායි. සැබවින්ම එය ඇදහිය හැකිද? මායාවක්ද? නැත. ක්ෂණයකින් මතුව එසැනින් අතුරුදන් වූ ඒ මිනිසා සැබවින්ම මම දිටියෙමි. මේ පිළිබඳව මා අසා තිබු නොයෙකුත් මිත්‍යා කතාන්දර පිළිබඳව සිත තුල වූ කුකුස සංසිඳවා ගැනීමට මා මේ ආ ගමන නිෂ්ඵල එකක් නොවන බව නම් ඒ මොහොතේ සහතික විය. මා දුටු දෙය ඔබ කිසිදා විස්වාස නොකරනු ඇත. නමුත් එය සත්‍යයකි.             

ඉතාම දුක්ඛිත වූ ඔහුගේ මුහුණ කෙතරම් බියජනකද? මුහුණේ අඩක පමණ මස් දිය වීම නිසා ඇට කටු මතු වී තිබිණි. ඔහුගේ සුදු පැහැති මලානික දෙනෙත් කියා පෑවේ දුක කලකිරීම පසුතැවීම පමණක්මය. දිරා ගිය කඩමලු වූ ඇඳුමකින් යන්තම් ආවරණය වූ දරුණු තුවාල සහිත ඔහුගේ සිරුර කෙසඟ මෙන්ම විරූපී විය. දෑත් හා දෙපා දම්වැල් යොදා යකඩ කණුවට ගැටගසා තිබුනේ ඔහුට සෙලවීමටවත් නොහැකි වන ලෙසය. ඉතා දැඩි විදුලි ආලෝකය ඔහුගේ සිරුර හරහා පොලවට ඇතුළු වුයේ ඔහුගේ පෙනුම තව තවත් බිහිසුණු කරවමිනි. නමුත් තවදුරටත් ඔහු එතැන නොවීය.    

මා එය කෙසේ විස්තර කරන්නද? මගේ සිත තුල උභතෝකෝටිකයකි. බිය මුසු උද්යෝගයකි. තව දුරටත් මා බලා සිටියෙමි. නමුත් වර්ෂාවේ වැඩි වීමත් මා ඉදිරියේ කරකැවෙන සුලන් ධාරාවත් හැර අන් කිසිවක් මගේ දෑසට හසු නොවීය.     

තව දුරටත් බලා සිටිය නොහැක. මගේ සිත තවත් බලා සිටීමට සුදානම් නැත. මා රැඳී වුන් උඩු මහලට නොපෙනෙන යම් දෙයක් එහි ඇතිදැයි ඇති වූ  කුතුහලය විසින් මගේ දෙපා පියගැටපෙළ වෙත මෙහෙයවීය.

පියගැටපෙළ අවසන මා පා තැබුවේ ඉහත සඳහන් කල ආවරණ රහිත බිම් කඩ වෙතයි. අකුණු සන්නායක කනුව ඉතාමත්ම පැහැදිලිව යාර කිහිපයක් ඉදිරියෙන් දිස් විය. නමුත් මට තවත් ඉදිරියට යා නොහැකි තරමට වර්ෂාවෙන් බාධා ඇති විය. අසල තිබු කනුවකට බර දී මා තවදුරටත් විමසිල්ලෙන් බලා සිටියේ නැවත වතාවක් කිනම් හෝ මොහොතක ඔහුව දැක ගැනීමේ අටියෙනි. වැඩි වෙලාවක් නොගොස් මගේ බලාපොරොත්තු සඵල වුනි.

කනුව වෙත ළං වන තවත් දැවැන්ත අකුණු වරුසාවක්ද සමග ඔහුගේ අදිසි රුව නැවත මතු විය. කිසිවෙකු විසින් අකුණු ඔහු වෙත එවන්නාක් මෙන් සිතෙන තරමට ඒවා ඔහු වෙත එක එල්ලේම පැමිණුනි. අහස දෙස බලා සිටින පස්චත්තාපයෙන් පිරි ඒ මුහුණ මට නැවතත් දක්නට ලැබිණි.

“නුඹ කවුරුන්ද?” සිතට නොනවත්වා නැගුනු පැනය වදන් බවට පත්ව මගේ මුවින් පිට වුයේ මටත් නොදැනීමය.

“නුඹ කවුරුන්ද?” කිසිවෙක් එය ප්‍රතිරාවය කළේය. නමුත් පෙනෙන තෙක් මානයේ කිසිවෙකුත් නොවීය. එය දුර්වල වූ ගොරෝසු හඬකි. මගේ දෙපා වලින් ඇරඹි කිසියම් සීතලක් මගේ සිරුර වෙලා ගත්තේය. එය සොබාදහම විසින් ඇති කරන ලද්දක්ද නැතහොත් මගේ සිතෙහි වූ කැළඹීම විසින් ඇති කරන ලද්දක්දැයි නොදනිමි. මගේ මුව අගුල් වටුනාක් වැනිය. තවත් මිනිත්තුවක් පමණ ගෙවී යන්නට ඇත.

“නුඹ කවුරුන්ද?” නැවතත් එය ප්‍රතිරාවය විය. එවර එය දුර්වල වුවත් දැඩි විය. එනිසාම එය මගේ හඬෙහි දෝන්කාරයක් නම් නොවන බව මගේ සිතට පිළිගැනීමට සිදු විය. මා දැන් කුමක් කරම්ද? කුතුහලයෙන් පිරුණු මගේ සිත මට බල කලේ ඔහු කවුරු වුනත් ඔහු සමග සංවාදයක යෙදෙන ලෙසයි.

“ම...ම පර්යේෂකයෙක්.” ඇසෙන නෑසෙන හඬින් මම පැවසුවෙමි. එවර මට අසුනේ සරදම් සිනා හඬකි.
“නුඹ කැමතිද මා ගැන දැනගන්න.”  

තවදුරටත් මගේ දෙනෙත් වටපිටාව පිරික්සුවේ එම හඬෙහි අයිතිකරු සොයා ගැනීමේ අරමුණ සහිතවය. නැත. කිසිවෙකු පෙනෙන්නට නැත.

“ඔව්. නමුත්..” මම ඔහු වෙත පිළිතුරු දීමට තැත් කළෙමි.

“ඇයි? කුමක්ද ගැටලුව? නුඹ මෙහි පැමිණියේත් ඒ සඳහාමයි නේද?” අදිසි කටහඬ ක්ෂණයකින් මගෙන් විමසුවේය.

“ඔව්. නමුත් ඔබ කොහෙද සිටින්නේ?”

“නුඹ මා දුටුවා. සෑම අකුණු පහරක් සමගම නුඹ මා දුටුවා.”

නැවතත් අහසෙහි විදුලි සැර මතු විය. මගේ නෙත් මා ඉදිරිපිට වූ කනුව පාමුල නතර විය. හැඟීම් විරහිත ඒ වත මෙවර යොමු වී තිබුනේ අහස දෙසට නොව මා දෙසටයි. අකුණ ඔහු තුලින් ඇදී යන අයුරු මා ඉතාම සමීපව දිටියෙමි. එයා කිසිම දිනෙක අමතක නොවන අතිශයින් බිහිසුණු දසුනක් බව මා නැවත නැවතත් පවසමි.
මද වෙලාවකින් ඔහු නැවතත් මා අමතන්නට විය.

“ඉතින් පවසන්න නුඹට මොනවද දැනගන්න අවශ්‍ය.”
“මම කැමතියි නුඹ ගැන සියලු තොරතුරු දැනගන්න. නමුත් ඒ වෙනුවෙන් ඔබ කුමක්ද බලාපොරොත්තු වන්නේ? මා දන්නවා මේ සෑම දෙයක් සඳහාම මිලක් ඇති බව.”
“හ්ම්. ඔබ බුද්ධිමත්. නමුත් දැන් ඉන් පලක් නැහැ.”
“ඇයි මට නුඹව දැකිය නොහැකි?”
“මා සිටින්නේ මාන දෙකක් අතර සිරගතවයි. නුඹට මා ඇසිය හැකියි. එපමණයි මට ඇති එකම හැකියාව. සෑම අකුණක් සමගම මා නුඹ සිටින මානයට පැමිණෙනවා. ඉතින්.... මෙයයි මගේ දඬුවම.”
“දඬුවම කුමක් සඳහාද?”
“මීට වසර දෙසීයකට පමණ පෙර මම හමුදා ජෙනරාල්වරයෙක්. මා සිදු කල යම් යම් ක්‍රියා සඳහා කෙනෙක් මට දඬුවම් ලබා දුන්නා.”
“නුඹ මොනවද කලේ?”
“කලකට ඉහත මේ බිම වදකාගාරයක්ව පැවතියා. මේ ගොඩනැගිලි වල සිට ධනවතුන් හමුදා සෙබළුන්ගේ ක්‍රීඩා නැරඹුවා. මමයි මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කලේ. රජය විසින් මෙය මා වෙත පවරා දී තිබුනා. එවකට මෙය හැඳින්වුණේ මගේ නමින්. එනම් සොලමන් මැදුර නමින්. අදත් එසේම විය හැකියි.” එවර ඔහු නිහඬ වූවා.
“ඔබ සිටිනවාද?”
“මා වෙන කොහි යන්නද? ඇයි ඔවුන් මෙතරම් ප්‍රමාද?”
“ප්‍රමාද? කවුරුන්ද?”
“නුඹට ඉන් පලක් නෑ. මා හිතුමතේ ක්‍රියා කළා. මා දැන් මේ සිරගතව සිටින්නේ එකල මගේ  සිරකරුවන් පනස්දහසක් පමණ මරණය වැළඳ ගත් ස්ථානයක. මෙය ස්වාභාවිකවම අකුණු ඇද ගන්නා ස්ථානයක්. එසේම මේ කනුවත් ඊට බෙහෙවින් දායක වනවා. මරණයට නියමිත සෑම සිරකරුවෙක්ම මෙම ස්ථානයට ගෙන එනු ලැබුවා.  මා දැන් මේ වේදනා විඳින අයුරින්ම ඔවුන් මරණ මංචකයේ වේදනා වින්දා.”
“ඇයි ඔබ එසේ කලේ?”
“ඊට පිළිතුරු දිය නොහැකියි.”
“ඔබ මිය ගොස්ද?”
“ඔව්.”
“එසේ නම් නුඹ භූත ආත්මයක්ද?”
“මං දන් නෑ. එසේ විය හැකියි. මා දන්නේ මෙපමණයි. මා මිය ගියේ සාප ලත් ආත්මයක් ලෙසයි.”
“කෙසේද ඔබ සාප ලද්දෙක් වුනේ?”
“අහිංසකයන් තිදෙනෙකු ම්ලේච්ච ලෙස මරා දැමීමේ වරදට, තම සැමියාත් පුතුන් දෙදෙනාත් වියෝ වීමේ දුකට ඇය මගෙන් පලි ගත්ත.”
“ඇය?”
“එදා මා ඔවුන් තිදෙනා මෙහි ගෙනවිත් දහසකුත් වද දී ඇගේ ඇස් පනාපිටම මේ කණුවේ බැඳ තැබුවා. පැය කිහිපයකින් පසුව එල්ල වුනු අකුණු පහරින් ඔවුන් මිය ගියා. ඇය කොතෙකුත් වලපුනත් ඉන් පලක් වුනේ නෑ.”
ඒත් සමගම මුළු පරිසරයම දැඩි කැළඹිලි ස්වභාවයකට පත් විය. හාත්පස අදුර පැතිරී අධික වේගයෙන් සුලන් හැමීය.
“ඇයට තරහ ගිහින් මගේ කතාවට. පුදුම විය යුතු නෑ. වසර ගණනාවකින් මා එය නැවත සිහිපත් කලේ.” ඔහු තමන්ටම කියවා ගනී.
“ඔබේ වුවමනාවට.” ඔහු ගිගිරුවේය.
“ඇය කොහෙද?” ඔහුගේ තරහව ගණනකට නොගත් මම විමසීමි.
“මට ඇති ගැටලුව ඇයි තවම ඇය අලුත් ගොදුර වෙත නොපැමිණියේ?”
“කුමන ගොදුරක්ද?”
“නුඹ කිසිවක් දන්නේ නෑනේ. අහගන්න. මෙහි පැමිණි කිසිවෙක් මගේ කතාව මෙතරම් දුරට අසා නෑ. කවුරුන් හෝ මෙහි පැමිණෙනවා නම් ඒ ඇගේ අවශ්‍යතාවය මතම පමණයි. නුඹ මෙහි පැමිණියේ කෙසේ වුවත් ඇයයි නුමට මෙහි පැමිණීමට මග පාදා දුන්නේ. එසේම ඇය නිරතුරුව මා දෙස බලා සිටින්නේ. ඔබ දෙසත්.”

එක වරම මට සිහි වුවේ මා මෙහි පැමිණීමට පෙළඹුණු ආකාරයයි. මීට සතියකට පමණ ඉහත මා මේ ප්‍රදේශයට පැමිණියේ මගේ මිතුරෙකු හමු වීමටයි. නමුත් ආපසු ගමනේදී නොසිතු ලෙස මට මග වැරදුනි. සෑම මොහොතකම විමසිලිවන්තව සිටින මට ඒ සිද්දිය එදා අමුත්තක් ලෙස නොදනුනාම නොවේ. නමුත් මේ බිම දකිත්ම කුතුහලය දනවන සුළු මේ ගොඩනැගිලි පිළිබඳව තතු සෙවීමට හිතුවක්කාර වූ මා සිත තුල තදබල ආශාවක් ඇති විය. හැකි සෑම අයුරින්ම මෙහි තොරතුරු එක්රැස් කලත් නොයෙකුත් කටකතා පමණක්ම මිස සතුටුදායක අන්දමේ කිසිවක් සොයා ගත නොහැකි වූ නිසයි මා මෙහි පැමිණ නිරීක්ෂණය කිරීමට තීරණය කලේ.  

මොහු පවසන්නේ සත්‍යක්ද? එය මට විස්වාස කල නොහැකි විය. ඔහු මහා හඬින් සිනාසෙන්නට පටන්ගත්තේ මගේ කල්පනාව සිඳ බිඳ දමමිනි.   

“ඇය ඔබ වෙත පැමිණෙනවා. ඇගේ අලුත් ගොදුර වෙනුවෙන් පැමිණෙනවා.”

ඒත් සමගම දෑස නිලංකාර වන නිල පැහති ආලෝකයක් එක්වරම මා ඉදිරියෙන් දිස් විය.

                                                
                            ඉතිරිය කියවන්න කැමති නම් මෙතනින් යන්න.

(හිතට දැනෙන දේ ලියන්න හොඳේ.)

2 comments:

  1. අලුත් විදියේ කතාවක්.. රස වින්දා..

    ReplyDelete
    Replies
    1. අසාර්ථකයිද මන්ද. කොහොම වුනත් ගොඩක් ස්තුතියි යාලු.

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...