විසල් වුනු නුඹෙ නෙතු සඟල
මත කඳුළු දැක නෑ කාලෙකින්
බියෙන් සැකයෙන් වෙලුනු නුඹෙ
වත පුබුදුවන්නේ කොයිලෙසින්
පුංචි සන්දියෙ විඳින ඔය
දුක් වැඩියි නුඹ හට මහ බරින්
අහිංසක නුඹ විඳින දඬුවම්
නිමාවන්නේ කොතැනකින්
සඳු ද අහිමිව හිරු ද අහිමිව
නුඹේ ලොව මහ පාලුවෙන්
පේන තෙක් මානයකවත් නැත අඳුර
දුරලන එලි පහන්
කටුක බස් ගෙරැවුම් රැවුම්
පමණක්ම නුඹ ළඟ නවතිමින්
සතුට සැමවිට පලා යයි
නුඹෙ නෙතු මානයෙන් ගිලිහෙමින්
ළදරු ලාමක නුඹේ හදවත
පුරවලන්නට සෙනෙහසින්
සපිරි කරුණා වදන් නෑසෙයි
නුඹේ හදවත සනසමින්
හොඳක් නරකක් දන්න උන් නෑ
නුඹට යහ මග පෙන්වමින්
යවන්නන් වාලේ ඔහේ යන පාසලෙන්වත්
ඉගෙනගන්
නන්ද මාමල පුංචිඅම්මල
හිතක් පපුවක් නැති ලෙසින්
උදුරගෙන වනසා දමයි යස
ඉසුරු ලැබෙනා නුඹ නමින්
උන්ගෙ බඩ කට පුරවගනිමින්
රිසිව නුඹ උකසට තියන්
කරන්නට කිසිවක් තවම නම්
නොතිබුනත් නුඹ නොම සැලෙන්
මුසා බස් නුඹෙ මුවින්
පිටවෙයි ඇඟට පතටත් නොදැනෙමින්
යනෙන තැනෙකින් නුඹට හැකි
ලෙස සොරා ගයි ඇස් රවටමින්
පස් පවින් වලකනු නොවෙයි
නුඹ ඒ වෙතම යොමු කරවමින්
උන් නොදන්නා හයක් හතරක්
නුඹට පහදනු කොයි ලෙසින්
අහිංසක සුදු දුවේ නුඹ
වෙත කිසිඳු විපතක් නොම වෙයන්
නුඹට ගරහන උන්ට හොඳ
පිළිතුරක් දෙන්නට වෙහෙසියන්
ජීවිතය මේ තරම් සැමදා
කටුක වන බැව් නොම සිතන්
අන් කිසිත් නෑ කියන්නට
නුඹෙ මව්ගෙ අඩි පාරේ නොයන්
මේක ලියන්න හේතු වුන
සිද්දිය නිසල ගං දිය කලින් කියවල තියෙන ඇය දන්නා දෙයක්. නොදන්නා අයට දැනගන්නත්
අමතක අයට මතක් කරගන්නත් මෙතැනින් බලන්න.
මේ පුංචි දැරිවිය තමයි ඒ
අවාසනාවන්ත ඇත්ත කතාවේ වාසනාගේ එකම දුව. එයාලගේ වර්තමාන තත්වය ගැන පොඩ්ඩක් කියන්න
හිතෙනවා. සමහරවිට ඔයාල විස්වාස නොකරාවි. ඒත් මේ ඇත්ත සිද්දියක්.
වාසනා දැන් ඉන්නේ පිටරට.
ඒ නිසා එයාගේ දුව ඉන්නේ එයාගේ ඇත්ත තාත්තගේ අම්ම ළඟ. (වාසනාගේ දුවට මම සමනලී
කියන්නම්.) එයාට වාසනා හදාගත්ත කඩේ ආච්චි ලඟට යන්න දෙන්නේ නෑ. මොකද කීවොත් සමනලිගේ
ඕන එපාකම් වලට එවන මුදල් නවතින නිසා.
නමුත් එයාට හැමදාම වගේ
කඩේ ආච්චිගේ කඩේට යන්න අවසර තියෙනවා. ඒ වෙන මොනවටවත් නෙවෙයි. සබන් කැට. ගිනි
පෙට්ටි, පොඩි කිරිපිටි පැකට් වගේ එදිනෙදා පාවිච්චි වෙන දේවල් සමනලිගේ බෑග් එකේ
දාගෙන කඩේ ආච්චිගේ කඩෙන් හොරකම් කරවගන්න පුළුවන් නිසා. එහෙම නොගෙනාවොත් එදාට
බැනුම් තමයි.
ඇත්තම කීවොත් කඩේ ආච්චි
මේ ගැන දන්නව. එයාට කරන්න දෙයක් නෑ. වාසනා කරපු වැරදි වලට බැනුම් අහන්නේ කඩේ ආච්චි
නිසාත් එයාගේ වයසට ඒ පාර්ශවෙත් එක්ක හැප්පෙන්න බැරි නිසාත්. මුලින් සමනලිට එයා
අවවාද කළා. එකෙන් වුනේ සමනලී කඩේ ආච්චි ලඟට නෑවිත් අත් හැරිය එක විතරයි. කොහොම කොහොමහරි
සමනලී ගැන හොයල බලන්න ඕනේ නිසා ආයෙත් එයාව කඩේ ආච්චි ගෙන්නගත්තා සතියකට වතාවක්
වගේ.
තව එක දෙයක්. සමනලිගේ තාත්ත
දැන් එයාව බලන්න එන්නේ නෑ. එයත් අලුත් ලෝකයක් හදාගෙන. ඒ නිසා මේ වෙද්දී එයාට කිසිම
හව්හරණක් නැති ගානයි.
මට මේ කෙල්ල ගැන හරිම
දුකයි. එයා මොන පැත්තට යයිද එයාට ඉස්සරහට මොනවා වෙයිද කියල දන්නේ උඩ ඉන්න දෙවියොම
තමයි.
මධූ
මධූ....
ReplyDeleteඅදයි මේ පැත්තට ආවේ. ඇත්තටම සංවේදී ලිපියක්. ඒ හින්දම පරණ ලිපි දෙකත් උවමනාවෙන්ම බැලුවා. මොනා වුණත් දුක් විඳින්නේ අසරණ දරුවා. කණගාටුවක් දැනෙනවා සමනලී ගැන.
ජයවේවා!!!
හ්ම්ම්... ඒක එයාගේ දෛවය වෙන්න ඇති යාලු.
Deleteසාදරයෙන් පිලිගන්නවා නිසල ගං දියට.
පව් අසරණ දරුවා. ඒ අම්මට කියල වෙන තැනකට හදනන් දෙන්න බැරිද?
ReplyDeleteඒ කිසිම දෙකට එයාව හදාගන්න ආච්චි අම්මගේ සහ නන්දල මාමලාගේ ඉඩක් නැ.
Delete