Monday, August 13, 2012

කඳුලක සතුට (කෙටිකතාව) 1 කොටස


“උඹ තව මොනවා වෙනකල් ද බලන් ඉන්නේ කතා කරන් නැතුව? මොකද බං මෙහෙම වුණේ?” තරිඳු එහෙම ඇහුවේ ධනංජයව ඉදන් හිටි පුටුවෙන් ඇදල අරන්. ඒත් ධනංජය හිටියේ මුකුත්ම ඇහුනේ නැති ගානට. හරියට හැඟීමක් දැනීමක් නැති මනුස්සයෙක් වගේ.
“උඹ අමුම අමු පිස්සෙක්. හිතක් පපුවක් නැති නරුමයෙක්.තරිඳු ඒ විදියට බැන්න. එයාට ඕනේ වුණේ යාළුවව කොහොම හරි කතා කරවන්න. ධනංජයත් අයෙ පුටුවට වැටුනා. ධනංජයල හිටියේ බීච් ඒක ළඟ තිබුණු රෙස්ටොරන්ට් එකක. ඒ වෙලාවේ ම මෙසේ උඩ තිබුණු ධනංජයගේ ෆෝන් එකට sms එකක් ආව. ධන්ංජයට ඇහුනෙවත් නැති ගානයි. තරිඳු ෆෝන් එක අරගෙන බැලුවා. එකේ තිබුනේ හිරන්‍යාගේ නම. නිර්මාල් පුටුවෙන් නැගිට්ටවුනේ ඉබේමයි. දෙපාරක් හිතුවේ නෑ. එයා හිරන්‍යගෙ sms ඒක බැලුව.
“ධනංජය, අද හවස 4.00ට සාරංගි එකට එන්න.” එකේ තිබුනේ ඒ විදියට. තරිඳුට ඉවසුම් නැතුව ගියා. ඒ වෙනකොටත් වෙලාව 2.30 පහු වෙලා. දැනට දවස් දෙක තුනක ඉඳන් මේ යාළුවො දෙන්නට හරියට කෑමක්වත් නෑ. මේ වෙලාවේ මොන කෑමද කියල හිතපු තරිඳු තමන්ගේ අතිජාත මිත්‍රයවත් ඇදගෙන බස් එකකට නැග්ග.

සාරංගි එක කියන්නෙ මීට අවුරුදු ගානකට කලින් ධනංජයල තරිඳුල අතොරත් නැතුව කියව කියව බීම බිවුව කූල්ස්පොට් ඒක. මෙයාලගේ ජීවිත වල ගොඩක් දේවල් වලට මේ කූල්ස්පොට් එක සාක්කි දෙයි. ඒ තරමටම මේ ජීවිත වලට සාරංගි සමීපයි. ඒත් දැන් අවුරුදු ගානකින් ගියේ නැති තැනකට එන්න කීවේ ඇයි කියල තරිඳුගේ හිතේ චකිතයක් ඇති වුනේ නැත්තෙමත් නෑ. අනික හිරන්‍ය කොහොමද සාරංගි එක දන්නේ. පැයක් තිස්සේ බස් ඒක කොට කොට ආවේ තරිඳු කෝප ගන්වමින්. ධනංජය ඔහේ කවුළුවෙන් පිටත බලාගෙන ඉන්නවා. කොහොම හිටිය කොල්ලෙක් ද? කියල තරිඳුගේ හිතේ ඇති වුනේ තමුන්ගේ හොඳම යාළුවා ගැන ලොකු දුකක්.
සාරංගි එකට ඇවිත් මේ දෙන්න ඉඳගෙන උන්න හිරන්‍ය දැන් දැන් ඒවි කියල මග බලමින්. හරියටම 4.00 වෙද්දී හිරන්‍ය නම් ආවේ නෑ  ඒත් අවුරුදු හයක වගේ පුංචි ගෑණු ළමයෙක් නම් දුවගෙන දුවගෙන ආව තරිඳු ළඟට.
“මාමේ , මාමේ මේක ඔයාට” මෙහෙම කියල එයා තරිඳුගේ අතට හතරට නාවපු කොලයක් දීල තරිඳු මොනවත් අහන්නත් කලින් අතුරුදන් වුනා. වටේ පිටේ බැලුවට හොයාගන්න ලැබුනේ නෑ. ඊට පස්සේ තරිඳු ඒ කොලේ දිග ඇරියා.
                  ධනංජය,
                          ජීවිතේ මං හිතුවට වඩා ගොඩක් වෙනස්. මට හිතාගන්නවත් බැරි විදියට මගේ ජීවිතේ කණපිට පෙරලුනා. ඒ ලස්සන අතීතය ආයේ කවදාවත් මට ලැබෙන්නේ නෑ. ඒවා අමතක කරන්න. ඔයාගෙ ඇස පනා පිට සිද්ද වුනු දේවල් වලට මං ඔයාගෙන් සමාව ඉල්ලනවා. මං දන්නවා ඔයා ඉන්නේ ලොකු හිත් වේදනාවකින් කියලා. ඒ නිසාමයි මේක ලියන්න හිතුවෙත්. මේවා මගේවත් ඔයාගෙවත් වැරදි නෙවෙයි. ඔයා ගොඩක් හොඳයි. කවමදාකවත් හිතන්නෙපා ඔයා වැරදිකාරයෙක් කියල. මට තව දුරටත් මෙහෙ ඉන්න බෑ. ඔයාට තේරුම් ගන්න පුළුවන්. මං දන්නවා. මං යන්න යනවා. ධනංජය. මට තව නැති වෙන්න දෙයක් නෑ. මං යන්නම යනවා. ආයේ එන්නේ නෑ. මේක දුකක් කියල දන්නවා. ඒත් වෙන විකල්පයක් නෑ මට. කාටවත් මාව හොයන්න ඉඩ තියන්න එපා. ඔයත් මාව හොයන්න මහන්සි වෙන්න එපා. ඔයා මේක බලද්දී මං ගොඩක් දුර ගිහින්. ගොඩක් හදිස්සියෙන් ලියන්නේ. තව දෙයක්, කවදාවත් මගේ ප්‍රශ්න වලින් ඔයාට කරදරයක් වෙන් නෑ. මං ඒ ගැන සහතික වෙනවා.
                                                                                   ඔයාල හැමෝටම බුදු සරණයි!
                                                                                                                        මීට,
                                                                                                                      හිරන්‍යා
ධනංජයට මේක කොහොමවත් පෙන්නන්න බෑ. එයා පිස්සු වැටෙයි. තරිඳු ධනංජයත් එක්ක ආපහු ගෙදර ගියා. මේ ලියුමට මොකද කරන්නේ කියල තරිඳුට හිතාගන්න බෑ. ඒ මදිවට දැන් ධනංජය මානසික ලෙඩෙක් වෙලා.
මේ දෙන්නම හිටියේ තරිඳුගේ ගෙදර. මීට මාස පහකට විතර කලින් තමයි. ධනංජය ඇමරිකාවේ ඉඳල ආවෙ එයාගේ උපාධිය සම්පුර්ණ කරලා. ලංකාවට ඇවිත් මාසයක්වත් ගියේ නෑ ජොබ් එකකුත් ලැබුනා. ධනංජයගේ ගම කළුතර. ජොබ් එකට ලේසි නිසා එයා තමන්ගේ පුංචි කාලේ ඉදන්ම යාළුවා වුනු තරිඳුව හොයාගෙන කොළඹ ආව.
ධනංජය පිට රට හිටිය කාලේදී සිද්ද වුනු ගොඩක් දේවල් තරිඳු දන්නවා. විශේෂයෙන් හිරන්‍ය සම්බන්දව. මොකද ධනංජය වචන දහයක් කතා කලොත් අටක්ම හිරන්‍ය ගැන තමයි. ඒත් ලංකාවට ආවට පස්සේ හිරන්‍ය ධනන්ජයට කෝල් කරනවා වත් ධනංජය හිරන්යට කෝල් කරනවා වත් තරිඳු දැක්කේ නෑ. හැබැයි තරිඳු යාළුවා ගැන හොඳට දන්නවා. ඒ නිසා ඒ ගැන අහන්න ගියේ නෑ.
තරිඳු නාගෙන ඇවිත් ධනංජයගේ බෙහෙත් ටිකත් ගොඩක් අමාරුවෙන් පොවාගත්ත. දවස කීපයක ඉඳං ධනංජය අසනීපෙන්. දැනට දවස පහකට විතර කලින් පුරුදු විදියට වැඩට ගිය ධනංජය කලින් ගෙදර ඈවිත් තිබුන. වෙනදට තරිඳු  එක්ක එකටම තමයි ධනංජය ගෙදර එන්නේ. තරිඳු එද්දී ධනංජය නිදාගෙන හිටියේ. එයා වෙවුලනවා. සහලෝල උණ. තරිඳුගේ අම්ම වෙනිවල්ගැට කොත්තමල්ලි ටිකකුත් තම්බල දීල තිබුනා. පැය කීපයක් යද්දී උණ බැස්සත් ධනංජය කා එක්කවත් කතා කලේ නෑ. තරිඳු පුළුවන් හැමදේම කළා. මානසික වෛද්‍යවරයෙක්ටත් පෙන්නනුව වෙන කරන්නම දෙයක් නැති තැන. මනසට ලොකු කම්පනයක් ඇවිත් කියල තමයි කීවේ.මේ දේවල් පටන් ගත්තේ මේ විදියට.   
තරිඳු නිදාගන්න ගියේ ධනංජය ගැන ලොකු බරක් ඔලුවේ තියාගෙන. ධනංජයගේ ගෙදරට දැන්ම දැනුම කියනවද නැද්ද කියල එයා තමන්ගෙන්ම ඇහුව. අන්තිමේදී තව ටිකක් බලන්න එයා තීරණය කළා. මැදියම් රෑත් පහු වුනා. ධනංජය හීනෙන් කියවනවා ඇහුන. තරිඳු හොඳට කන් දුන්න. ඒත් කීව දේවල් පැහැදිලිව ඇහුනේ නෑ එකක් ඇර. ඒ තමයි “හිරන්‍යා”. ඒක හැමදාම වගේ ඇහෙන දෙයක්. තරිඳු නැගිටලා වතුර ටිකක් බොන්න හිතාගෙන මෙසේ ලඟට ගියා. අඳුරේ වුනත් එයා යන්තමට දැක්ක ලාච්චුව බාගෙට ඇරිලා තියෙනවා. තරිඳු ඒක වහන්න යද්දී එයා දැක්ක එකේ ටිකක් ලොකු දින පොතක් තියෙනවා. එයා ඒක අරගෙන පිටුවෙන් පිටුව පෙරලුවධනංජයගේ පැහැදිලි අත් අකුරු වලින් ගොඩක් දේවල් ලියල තිබුනා.
මං ජීවත් වෙනවා කියල මට දැනෙනවා දැන්. මං මෙහෙට ආවෙ ජනවාරි 23. හිරන්‍ය ඔයත් ආවෙ මාත් එක්ක. මට හොඳට මතකයි. කටුනායකදී ඇස් දෙකේ කඳුළු පුරෝගන පිටිපස්ස හැරි හැරී බල බල මගේ ළඟ හිටියා. ඔයා මං ළඟම ඉඳගෙන හිටියත් මං දිහා බැලුවේවත් නෑ. මෙහෙ ආවට පස්සේ දෙනෝදාහක් ළමයි ඉස්සරහ අපි දෙන්න කොච්චර තනි වුනාද? ලංකාවෙන් අපි දෙන්න විතරක් වුන එක කොයි තරම් අවාසනාවක්ද?
කොල්ලෝ කෙල්ලෝ සේරම එකට උන්ට මෙලෝ ගානක් නෑ. ලංකාවේ කෙල්ලෙක් විදියට ඔයා අන්ත අසරණ වුනා. අපි දෙන්නට පොඩි කාමර කෑල්ලක් හම්බුනා. එදා ඉඳං මේක අපේ තාවකාලික ගෙදර වුනා. කාමරේ කෑලි දෙකකට වෙන් කළා. එදා ඉඳල ඔයා අපේ ගෙදර අම්ම වගේ වුනා. උදේට තේ එක හදලම තමයි ඔයා මාව ඇහරුවේ. ඔයා හොඳම හොඳ කෙල්ලෙක්. දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්. ඔයා හැමවෙලේම කිවේ “උන්නු හැටියට මලා මදැයි නේද ධනංජය. මට මේක හොඳ චාන්ස් එකක්. ගෙදරක් පාලනය කරන්න ඉගෙනගන්න. සුනේත්ට හොඳම හොඳ වයිෆ් කෙනෙක් වෙන්න එතකොට මට පුළුවන්නේ.” ඔයා ඇස් නටව නටව කියනවා. ඇත්තටම ඔයා බඳින කොල්ල මාරම මාර වාසනාවන්තයි.
මේ විදියට ඔයාට කරදර කරන්න වුන එක මට පුදුම දුකක්. හිරන්‍ය. මං හිතුවේ නෑ මට මේ විදියට ඇඳට වැටෙන්න වෙයි කියල කවදාවත්. මගේ ඔපරේෂන් එක හෙට. මාව හොස්පිට්ල් එකට ගෙනාව දා ඉඳන් අද වෙනකල් ඔයා මං ගැන කොච්චර බැලුවද? ඔයාගෙ වැඩ කොච්චර පාඩු වුනාද? වෙන කෙනෙක් නම් මොනවා කරයි ද? මගේ බඩේ කැක්කුම හොඳටම වැඩී. තවත් ලියන්න බෑ. හිරන්‍ය. ඒ වුනත් මට මගේ හිත කීකරු නෑ. මං දැන් නෑ.”
පළමු සටහන නිමා වූනා. මු කවදාවත් දිනපොත් ලිවුව එකෙක්යැ. තරිඳු හිතුවේ එහෙමයි. ධනංජයට ලොකු බඩේ කැක්කුමක් හැදුන සෑහෙන කාලයක් දුක් වින්ද කියල කිව තරිඳුට මතකයි.
මට හෙලවෙන්නවත් බෑ. මේ වේදනාව ඉවසන්න අමාරුයි. හිරන්‍ය ඔයා මෙතන ඉන්නවා නම්. ඔයා ඊයේ උදේ මාව බලන්න අව. මං නිදාගෙන හිටියේ නෑ. ඒත් මට කතා කරන්නවත් පණක් තිබුනේ නෑ. මගේ ඇඳ ලඟට ඇවිත් ඔයා මගේ දිහා බලන උන්න. ඔයාගෙ ඇස් දෙකේ ලොකු කඳුළු බින්දු දෙකක් තිබුන. මං දැක්ක. ඔයා කඳුළු පිහ දැම්ම. මගේ ඔලුව අතගෑව. ඒ පුංචි වෙලාව මගේ තබුන හැම වේදනාවක්ම නැති වෙලා ගියා. මට තේරෙන් නෑ. හිරන්‍ය ඔයා මට මගේ අම්ම වගේ. ඔයා දැන් නෑ හිරු. අද මට හැරී වැඩක් වුනානේ. නර්ස් අද මගෙන් අහනවා ඔයා මගේ වයිෆ් ද කියල. ඉතින් මං කිව නෑ. කියල. ඊට පස්සේ එයා මගේ දිහා ටිකක් වෙලා බලා ඉඳල යන්න ගියා. මං ආසයි මේවා ඔයාට කියන්න. ඒත් මට බයයි. අද වෙනකල් ඔයාගෙන් මටවත් මගෙන් ඔයාටවත් අබ මල් රේණුවක නරක දෙයක් වෙලා නෑ.
ඔයා මහා රෑට නිදි මරාගෙන තේ එකකුත් හදාගෙන බැල්කනි එකට යනවා පැය ගණන් බලන් ඉන්නවා. ඔයාගෙ සුනෙත් කතා කරන කල්. අහසේ තරු එක්ක ඔයාගෙ දුක කිය කිය අඬනව. ඒත් ඔයාගෙ ප්‍රශ්න කවදාවත් මා එක්ක කියන නෑ. ඒත් මං ගොඩක් දේවල් දන්නවා. සුනෙත් ඔයාට වෙනස්කම් කරනවා ගොඩක්. ඔයා ම එක්ක තරහ වෙන්නෙපා. ඔයා එදා කටුනායකදී බලා උන්නේ සුනෙත් එනකල්. එයා කවුද කියන්න මං දැන් නෑ. ඒත් එයා ආවේ නෑ නේද? මං අහගෙන උන්න. ඔයා එයා ගැන එක වරදක්වත් කියන් නෑ. ඔය ඇස් දෙක කොච්චර අඬනවද? මට සුනෙත් ගැන ඉරිසියයි. මේ ලියන දේවල් කවදාවත් කවුරුවත් දකින්නේ නෑ මං ඇරෙන්න. ලියන්න දේවල් ගොඩයි. ඒත් මං ලියන්න ආස නෑ එච්චර.
රෑ දෙකත් පහු වෙලා. මං හිතුව හරි මේක හිරන්‍යට ආදරෙයි.
ඩිග්රි එක ඉවර වෙලා ගෙදර ගියාම මං කොහොම ඉන්නද මන්ද. මට දැන් උදේට ඔයාගෙ තේ එක නැතුව දවසක් නෑ වගේ. මං උදේ ඔයාට විහිලුවට එහෙම කීවම මුණ රතු වුනා. ඇස් දෙක දිලිසුනා. “පිස්සු නැතුව ඉන්නවා ධනු” තවත් ටිකකින් ඔයා අහනවා. “දවසක මගේ සුනේතුත් මට ඔහොම කියයි නේද?” මාත් ඔලුව වනල නිකම් ඉන්නවා. ඔයා මොන තරම් හීන මවනවද? කෙල්ලෝ හරී පුදුමයි. මං කවදාවත් හිතුවේ නෑ මට මේ වගේ ජීවිතයක් හම්බ වෙයි කියල තාවකාලිකව හරී.
දැන් ඔයා මගේ ටීච. කට් වෙන ඒවා ඔක්කොම මට උගන්නනවා. ඔයා වගේ පොඩි කෙල්ලෙක්ට මෙච්චර මහන්සි වෙන්න පුලුවන්ද? මගේ හැම වැඩක්ම වගේ ඔයාට කරන්න වෙලා. ඇත්තටම ඔයාට තරහ යන් නැද්ද? මොන කරදයක් ද මේ කියල හිතෙන් නැද්ද? හිරු. ඔයා ඊයේ සුනේත්ගෙන් හොඳටම බැනුම් ඇහුව නේද? දැන් දැන් හැමදාම රෑට ඔයා අඬන සද්දේ මට ඇහෙනවා. කොහොමද දෙයියනේ ඔච්චර දුකක් ඔයා හිර කරන් ඉන්නේ. මොනවත් නොවුන ගානට උදේට ඒ ලස්සන හිනාව තියාගන්නේ.
තරිඳු දිගටම කියවගෙන යනවා.
අද මගේ උපන්දිනේ. ඔයාට ඒක අමතක වෙලා නෑ. ඔයා ඇයි මං ගැන මේ තරමට වද වෙන්නේ කියල මට වෙලාවකට හිතෙනවා හිරු. ඒත් මං ගොඩක් ආසයි . මං හිතුව හරියටම හරී. ඔයා මගේ අම්ම වගේමයි. උදේම කිරිබත් හදල රසම රස ලුනුමිරිසක් හදල ඇත්තමයි ඔයා නම් අදහන්න වටිනවා හිරු. කිරි බත් වලින් 25 හදල. අටිපන්දම් පත්තු කරලා. කාත් කවුරුවත් නැති රටක තමන්ගේ උපන්දිනේට මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? හවස පාටි එකක් හොරෙන් ලැස්ති කරලා. මං කවදාවත් එච්චර සන්තෝස වෙලා නෑ. ඔයා දුන්නු තෑග්ග. ඒ චිත්‍රය මං කවදාවත් නැති කර ගැන නෑ. “ධනු, ඔයා ගොඩක්ම ගොඩක් හොඳ යාලුවෙක්. මගේ ජීවිතේ මට හම්බුන හොඳම යාළුවා ඔයා.ඒත් ඔයාට ලොකු තෑග්ගක් ගන්න මට සල්ලි නෑ.” එහෙම කියල මේ චිත්‍ර ටික දුන්න මල් පොකුරකුත් එක්ක. තවත් මොන තෑගිද හිරු. ඔයාගෙන් මට තෑගී ඕන නෑ හැමදාම මේ වගේ මා එක්ක ඉන්න මට වෙන මොනවත් එපා. මං එහෙම හිතුව විතරයි. හවසට ඔයා මා එක්ක කොයි තරම් කියෝනවද? ඔහේ ඒවා මේවා ගැන කියෝනව. මං හරී ආසයි ඒ කියවිල්ලට. 
ඔයා ඉන්නේ ඔයා හදාගත්ත ලෝකෙක. මං කොහොමද ඔයාට ඒක තෙරුම් කරන්නේ. සමාවෙන්න හිරු මං ඔයාගෙ සුනෙත් ගැන හෙවුවා. ඒත් හොඳ ආරංචි නෑ. ඔයා පවු ගොඩක් පවු. ඔයා වගේ කෙනෙක්ට එහෙම වෙන්න ඕන නෑ. සුනෙත් ගැන මං දන්නා දේවල් මං ලියන්නේ නෑ. ඔයාට කියන්නෙත් නෑ. ඒත් මං ඔයා ගැන හැමදාම හොයනවා. අද මං හොඳම තේරුම් ගත්ත මං ඔයාට ගොඩක් ආදරේ කරනවා.
තරිඳු පොත වැහුව. ඊට වඩා කියවන්න එයාට හයියක් තිබුනේ නෑ. එයාට ඕනේ වුනේ ඒ තිබුණු අන්තිම වචන ටික හරියටම කියවල දැනගන්න විතරයි. ඇත්තටම එයා දෙගිඩියාවෙන් හිටියේ ඒක ලියල නොතිබුනොත් කියල. දැන් තරිඳුට අරමුණක් තියෙනවා.
අම්මට ධනන්ජයව බලාගන්න දීල තරිඳු ගියා පවනිව හම්බවෙන්න. පවනි කියන්නේ හිරන්යගේ යාලුවෙක්. තරිඳු පවනිව දැකලවත් නෑ. ධනංජයගේ ෆෝන් ඒකෙන් තමයි පවනිව හොයාගත්තේ. පවනි මුලින් අකමැති වුනා තරිඳුව හමුවෙන්න. දන්නා දහන්ගැට සේරම දාල යන්තම් ගොඩ දාගත්ත.
“තරිඳු, ඔයා හිරන්‍ය ගැන දන්නෙ මොනවද?”
“ඇත්තම කීවොත් මං මොනවත්ම දන්නේ නෑ. මගේ යාලුවට සනීප නෑ. ඊයේ එයාට තමයි මේක හම්බුනේ?”
එහෙම කියල හිරන්යගේ ලියුම පවනිට දුන්න. ධනංජය ගැනත් විස්තර කීව. පවනිගේ ඇස් දෙක උද ගිය ලියුම දැකල. මොකද කවුරුත් හිරන්‍ය කොහෙද කියල දැනගෙන උන්නේ නෑ. ලියුම අපහු දීපු පවනි ඉගිල්ලුනා වගේ යන්න ගියා. තරිඳුගේ එක බලාපොරොත්තුවක් තාවකාලිකව ඇන හිටියා.
දවසක් තරිඳු වැඩ ඇරිලා එද්දී ධනංජය ගෙදර හිටියේ නෑ. තරිඳු සෑහෙන බය වුනා. තරිඳුගේ අම්ම කිව
“දැන් ධනන්ජයට හොඳයි. අද මා එක්ක හොඳට කතා කළා. මේ ලඟට ගිහින් එන්නම් කියල ගියා. පුතාට කියන්න කීව එයාට ලියුම ද මොකද්ද හම්බ වුනා කියල.”
 තරිඳු අම්මටත් දොස් කියල ධනංජය එනකල් මග බලන් උන්න. රෑ වෙද්දී ධනංජය ගෙදර ආව.තරිඳු මොනවත් ඇහුවෙත් නෑ. ධනංජය මොනවත් කීවෙත් නෑ. රෑ වෙලා යාළුවො දෙන්න ගෙදර ඉස්තෝප්පුවේ ඉඳගෙන උන්න. එ වෙනකොට ඇත්තටම ධනන්ජයට හොඳයි.
“තරිඳු, මං හිතන්නේ උඹ දැන් ගොඩක් දේවල් දන්නවා. එහෙම නේද? මං දන්නවා අර පොතත් බැලුවනේ. වෙන කවුරුත් නොවී ඒ උඹ උන එක හොඳයි. හිරන්‍ය ගිහින් බං. උඹ කියෙවුව මගේ පොතේ ඇති දෙයක් නෑ බං. මගේ හිත උඹට කියවන්න පුළුවන් වුනා නම්. මට පුළුවන් විදියට එයාට හොඳ යාලුවෙක් වුනා. මගේ හිතේ තිබුන දේවල් කවදාවත් කීවේ නෑ. මොකද එහෙම කීව නම් එයා මා එක්ක අනිවාර්යෙන් තරහ වෙනවා.
ටික දවසකට කලින් මං සුනේත්ගේ ඔෆිස් එකට ගියා මීටිං එකකට. ගොඩක් කට්ටිය හිටියා. හිරන්යත් හිටිය එයා මං දිහා බැලුවේවත් නෑ. ඉස්සර තිබුන හිනාව තිබුනේ නෑ. මැලවිලා ගිහින්. අච්චර සෙනගක් ඉස්සරහ ඒ නොසන්ඩාලය හිරුට කෙල්ලෙක්ට බනින්න පුළුවන් නරකම වචන වලින් බැන්න බං. ඒකිව තල්ලු කළා. ඒ නොසන්ඩාලය මොකට එහෙම කලාද දන් නෑ. මට මාවම කන්ට්‍රෝල් නැති උනා. මං ඒකට ගහන්න පැන්න.
මගෙන් ඇහුව තමුසේ කවුද කියල. මං කතා කරන්න හදද්දී බිම වැටිලා හිටපු හිරු මං දිහා ගොඩක් අසරණ විදියට බලල තොල පියවල දබරගිල්ල තිබ්බ. මං මුකුත්ම නොකිය ආව. මේවට වග කියන්න ඕනේ මං මචං තනිකරම මං.”
ඒ විදියට කියපු ධනංජය එයාගේ ඔලුව අත් දෙකේ තියාගත්තා. තරිඳුට හිතාගන්න බෑ ධනංජය ගොඩක් වෙනස් වෙලා.
“මට පුළුවන් හැමදේම දේම මං කරනවා බං. අපි කොහොම හරි හිරු හොයා ගමු.”


--මතු සම්බන්දයි--

5 comments:

  1. ලස්සනම ලස්සනයි.ඉතුරු ටිකත් ඉක්මනටම ඕනි ඈ :))

    ReplyDelete
  2. සාදරයෙන් පිලිගන්නවා. දෙක කොටසත් බලන්නකෝ.

    ReplyDelete
  3. ඉතුරු ටිකත් කියවලාම බලමු !

    ReplyDelete
  4. ම්ම්..වෙනස් කතාවක්.. ඉතුරු කොටසත් කියවලාම හරියටම හිතන දේ කියන්නම්..

    ReplyDelete
  5. කතාව නම් ලස්සනය....

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...