Wednesday, June 5, 2013

වෙසඟනකට පෙම් බැඳ......


ඔහු
නෙත සෙවුවේ නුඹමයි නිති දැකගන්න.
සිහ කිවුවේ නුඹමයි හිමි කරගන්න.
මග කිවුවේ නුඹමයි මට පැමිණෙන්න.
මල් පිබිදුනේ නුඹටයි මගෙ හදඅරණ.
            
            ඇය
            හැකි වුනි නම් නෙත දිවැසින් දකින්න.
            හැකි වුනි නම් සිත දිවැසින් කියවන්න.
            හැකි වුනි නම් නිවැරදි මග පෙන්වන්න.
            ඔබ අද ඔතැන නොව සුමිතුර දැනගන්න.



ඔහු
සිත නැවතුනේ නුඹ ළඟමයි පෙම් පුරන.
කොහි සිටියත් නුඹ මට හමුවෙයි නිතින.
නුඹ ගැන මගේ සුභ සිහිනය ඉටු නොවන.
හේතුව කිමැයි හිතවන්තියෙ කියනු මැන.



            ඇය
            කාලෙක පටන් හොඳ මිතුරෙකි මට සිටින.
            ඒ මිතුදමට ඉඩ දෙනු බැහැ මියැදෙන්න.
            තවමත් නොහඳුනයි ඔය සිත මගේ ගැන.
            සමා වෙලා මෙය අමතක කරනු මැන.

ඔහු
ආදරණීය හදවත ඔබ ළඟ රැදුන.
හඳුනා ගතිමි මැනවින් මට ඇති පමණ.
මගෙ දුප්පත් හදවත ළඟ නවතින්න.
සෙවනැල්ලක් වී හරි මග පෙන්වන්න.

             ඇය          
වීදුරු මාලිගය අප වට කොට තනන.
            ගල් මුල් වැදෙනු නියතයි සුනු විසුනු වෙන.
            නොහැකිය ඒ විපත ඔබ වෙත ගෙනදෙන්න.
            පින්සර නුඹට දෙවිඳුනි පිහිටක් වෙන්න.

ඔහු
නුඹේ අතීතය රළු බව මට හැඟින.
දුක් කම්කටොලු නැති උන් අද කොහි සිටින.
සොඳුරු අනාගතයක හැඩ මා දන්න.
ගෙන දෙන්නම් නුඹ වෙත මට හැකි පමන.

            ඇය
            කිසිදා නොහැකි වනු ඇත වටහා ගන්න.
            උත්සහවත් නොගනු මා ගැන දැනගන්න.
            කටුක අඳුරු අපුල වු මේ දිවි ගමන.
            නවතින තැනක් සොයනෙමි ගැලවී යන්න.

ඔහු
අහම්බෙන් නමුදු මා ඔබ මුණගැසුන.
ඒ රැය තවම මතකයි සිතුවම් ලෙසින.
මග වැරදිලා ආවෙමි මම විමසන්න.
සුහදව ඔබ පැමිණියෙ මා ඇරලන්න.

            ඇය
            ඒ සුවබර කතා මසිතට ගෙනදුන්න.
            සතුට සැහැල්ලුව කියනට නැත වචන.
            අවිහිංසක ඔය සිත රවටාලන්න.
            මගෙ සිත ඉඩ නොදුන් වග මතකයි එදින.


ඔහු
එදා පටන් මේ සබැඳුම ගොඩනැගුන.
නුඹ නම් කළා එය සුමිතුරු දම නමින.
රවටා මගෙන් නුඹ කවරක් ලැබගන්න.
පහදා දෙනු මැනවි එය මට නොවැටහෙන.

            ඇය
            සුන්දර නැතිය මේ ලෝකය ඔබ දකින.
            රුදුරු සැහැසි කම් ඇත දුගඳින් පිරුන.
            දුප්පත් කමින් පීඩිත වී දුක් විඳින.
            ජීවිත දෙක තුනක් ඇත මා මත යැපෙන.

ඔහු
යුතුකම් වගකීම් ඇත කර මත වැටුන.
මා හට වුවද ඇත ඒ බර දස අතින.
එනමුදු හැකි පමණ ඉටු කරලමු නිතින.
දුකම හිමි නොවෙයි සැමදා නුඹ සිතන.

            ඇය
            මොහොතක් ඇතිය ජීවිතයම වරදින්න.
            ඉන් මතුවට ගොඩ ඒමක් නැත ඉතින.
            පඹ ගාලකි මා දැන් පැටලී සිටින.
            මිදුමට එක මගයි ඒ අවසන් ගමන.

ඔහු
දහසක් පැන ගොඩ නැගුනත් දිවි ගමන.
එක් පිළිතුරක් හෝ ඇත ඒ හා බැඳුන.
කෙතරම් ගැහැට ආවත් මට ඔබ නමින.
හැරදා නොයමි වන තුරු මා මියෙන සැන.

             ඇය          
මේ මිතුදම පවා නුඹ හට යුතු නොවන.
බැව් මා දනිමි එනමුදු සිත ඉඩ නොදෙන.
නීරස වුවද සත්‍යය නම් එය පමන.
මා වෙසඟනකි තව බෑ නුඹ රවටන්න.

කිසිවක් නොපවසන් සුමිතුර කොයි ලෙසින.
සමුගන්නට කාලය දැන් ඇත පැමිණ.
යළි කිසිදාක නොම හමුවෙමි ලොව කොතැන.
එනමුදු මහද නොමියෙයි නුඹෙ සුවඳ ගුණ.
    
                                                               සමාප්තයි.

ටිකක්  දිග වැඩි වුනාද මන්ද යාලු. ඔහේ ලියවුණා. මේ ළඟදී කියවන්න ලැබුණ පොතක් තමයි මට මෙහෙම ලියන්න බල කළේ. වැරදි නම් ඇති එලෝ කෝටියට. හිතෙන දෙයක් ලියල යන්න. ආයේ හිතේ කහට තියාගන්නෙ මක්කටෙයි නේද?
ටික කාලෙකට කලිනුත් පොඩි සංවාදයක් ලීව. කැමතිනම් බලන්නකො.




5 comments:

  1. ඇස දුටුවේ නුඹගේ ලස්සන හින්දා
    හිත දුටුවේ ගතිගුණ විතරක් හින්දා
    මුව දුටුවේ නුඹගේ තොල් අග හින්දා
    ලොව දුටුවේ උන්ගේ වැරදිම හින්දා

    තිබුනානම් පාරක් වෙන ඇවිදින්න
    හිටියානම් කෙනෙකුන් සරණක් වෙන්න
    බැලුවානම් නුඹ වැනි ඇසකින් ඔන්න
    තිබුනානම් මටත් වෙසඟන නොමවෙන්න

    ReplyDelete
  2. මෙහෙම දේවල් අනන්තවට් වෙනවා ඇති නේද ,,,,,මේවා සමාජේ වැරදි .....

    ReplyDelete
  3. පබැඳුම එළ....!!!

    ReplyDelete
  4. පංකාදුයි මේ පද වැල.

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...