Monday, September 11, 2017

දුර්ග චාරිකා ... (ඇගේ දෙවන සටහන)




පළවෙනි  කොටස බැලුවේ නැත්නම් මෙතනින් යන්න.

දින සති වෙමින් සති මාස වෙමින් තුන් මසක් පියඹා ගියේ අපටත් හොර රහසේමය. ඒ වන විට ඇමතුම් ලබා ගැනීමේ පහසුව තුන් වතාවක් අපි ලබා ගත්තෙමු. සිර ගෙයක් බඳු වුවත් අපි ඒ සඳහා ටිකින් ටික හුරු වීමු. නිර්දේශිත ආහාර ලබා දවස පුරා නිල ඇඳුමකට සිර වී ගෙවූ දිවිය ඒකාකාරී වුවත් අලුත් මිතුරන් සමග එය රිසිව බෙදා හදා ගන්නට විහිලු තහළු කරන්නට ගී ගයන්නට අපි ඉබේම හැඩ ගැසුනෙමු. මොහොතකින්  වෙන්ව ගිය ජේම්ස් ටීම්හි සාමාජිකයින් මේ දක්වාත් දකින්නට නොලැබිණි.

දුක සැප බෙදා ගන්නට ඉතාම හොඳ මිතුරෙකු ලෙස මා ළඟ සිටියේ පැහැසර පමණක්මය. ඔහුටත් එසේමය. උදැසන අවදී වන විට හිරු පායන සුන්දර දසුනක් මගේ කුටියේ ඇති පුළුල් තිරය ඔස්සේ මේ දක්වා මම අත්වින්දෙමි. එකිනෙකට වෙනස් දසුන් පෙළක් දැක ගන්නට හැකියාව ලැබුණි.අප බාහිර පරිසරය අත්වින්දේ එලෙසිනි. මේ තාක් කල් මා එහි ප්‍රධානීන් ලෙස දැන උන්නේ සර් ජේම්ස්, සර් ස්ටුවර්ට් සහ ඩොක්ට ජෙසී පමණි. අපි ඔවුන්ගෙන් දහස් ගණන් ප්‍රශ්න අසුයෙමු. නමුත් අපට ලබුනේ එකම පිළිතුරකි.



“මේක ගොඩක් වැදගත් තැනක් පුතා. මෙහෙ වෙන කිසිම දෙයක් පිටට යන්න දෙන්න බෑ ඔයාල මෙහෙ ඉන්න කාලය ඇතුලත. පිටට ගියායින් පස්සේ ඔයාල කාටවත් ආයෙමත් මෙහෙ එන්න ලැබෙන්නේ නෑ. තව ටික කාලයිනේ.”

පිටට පුංචි තට්ටුවක් දමා  ඔවුන් හැම පැවසුයේ මෙයමය. තවත් එක වැදගත් කාරණයක් සඳහන් කල යුතුය. එනම් ආරක්ෂක අංශය පිළිබඳවයි. ඔවුන් කිසිඳු වෙලාවක අප කිසිවෙකු සමග දොඩමලු නොවේ එක වදනකින්වත්.වෙනත් මහලකට යාමට අවශ්‍ය නම් අප ඔවුන්ට පැවසිය යුතුයි. එවිට ඔවුන් අප සමග පැමිණේ. කළු පැහැ කමිසයක් හා කලිසමකින් සරසි ඔහු රතු පැහැ හිස් ආවරණයක් පැළඳ සිටී. අපේ නිල ඇඳුමේ සඳහන් සලකුණ එම හිස් ආවරණයේ වේ.

නමුත් ඒ දක්වා මට වෙනත් මහලකට යාමට අවකාශ නොලැබුණි. මන්ද අවශ්‍ය කාරණය ඔවුන් සොයා බලන බැවිනි. අප මිත්‍ර ලී සියෝල් ඇයගේ පෙම්වතා හමු වීමට පස් වන මහලට යාමට සිතුවාය. කිසියම් ආකෘතියක් රැගෙන ආරක්ෂක අංශය වෙතගියාය. නමුත් ඇය පැවසු කිසිවක් ඔවුන් නැසූ කනව සිටියේ ඇයගේ සිත කියවා බලා මෙනි.



කෙසේ වෙතත් තුන් මසකට පසු අධික පිපාසයෙන් පෙලෙන මුවත්තියකට දිය බිඳක් ලැබෙන්නා සේ මම මගේ නිවස දුටුවෙමි. එය සිහිනයක් නොවීය. පුළුල් තිරය ඔස්සේ මම මගේ මවත් පියාත් ලොකු අයියාත් දුටුවෙමි. ඔවුහු නිදහසේ සිනාසෙමින් කතා බහ කරමින් සිටියහ. එය සැබෑවක්දැයි දැන ගැනීමට මා මගේ අත කොනිත්තා ගත්තෙමි. අයියා විශ්ව විද්‍යාලයට යාමට සුදානම් වෙමින් සිටියේය. එය වීඩියෝ පටයකි.  ඒ මොහොතේම මම තිරයේ කොනක සටහන් වන වෙලාව සහ දිනය දුටුවෙමි. එසැනින් මගේ දෙනෙත යොමු වුයේ කුටියේ තිබු කැලැන්ඩරය වෙතයි. ඒ එම මොහොතේ සිට පැය කිහිපයක වෙනස් වෙලාවක් බව මට පැහැදිලි විය.


මෙය සිදු වුයේ මට පමණද? මම පැහසරගෙන් විමසුවෙමි. නැත මට පමණක් නොවේ.අප සියල්ලන්ටම එසේමය. ඔවුන් අපට ලබා දී තිබුනේ පෙර දැනුම් දීමකි. සමහරු එය සහල්ලුවෙන් දුටුවද එයින් සතුටට පත් වුවද මට මගේ සිතට එය අහක දැමිය නොහැකි විය. එය ආරම්භයක් පමණක්ම විය. පවුලේ සියල්ලන්මද මගේ පෙම්ව්තාද මට එසේ දැක ගත හැකි විය. ඔවුන්ගේ කටහඩ ඇසීමට හැකි විය. ප්‍රධාන කාර්යාලය හා සම්බන්ධ වී ඔවුන් ගැන දැන ගැනීමට අපට හැකි  විය. නමුත් ... තවත් මාසතුනක කාලයක් දක්වා ඔවුන් කිසිවෙකු සමග අපට කථා කල නොහැකි බව අප වෙත දැනුම්දෙනු ලැබීය.

එය සිර කඳවුරකි. මරණ දණ්ඩනයට නියම කරන ලද අප එහි සිර කරනු ලබා ඇත. අපේ සිත තුල තිබුනේ මෙවන් අදහසකි. ලංකාවෙන් පැමිණි කිසිවෙකු ගැන මටත් පැහසරටත් කිසිඳු තොරතුරක් දැන ගත නොහැකි විය.

ආකාශ්, ඔහු ඉන්දියානුවෙක්. ඔහුට මේ සියල්ල දරා ගත නොහැකි තත්වයක් වී තිබිණි. ඔහුගේ නැගණිය ඒ වන විට රෝහල් ගතව සිටින බවත් විරල අස්ථි රෝගයකින් ඇය පෙලෙන බවත් අපි දැන උන්නෙමු. එමෙන්ම ඇයට වැඩි කාලයක් නොමැති බවත් ඔහු අප හා පැවසුවේය. ඔහුට කෙසේ හෝ ඇය දැකීමට කතා කිරීමට අවශ්‍ය විය. අට මිදුළු බද්ද කිරීමක් මගින් ඇයව සුවකර ගත හැකි බවත් චීනයේ ඒ සම්බන්ද කටයුතු සිදු කල හැකි බවත් ලී සියෝල් ඔහුට පැවසීය. ඔහුට අවශ්‍ය වුයේ එම පුවත පමණක් තම නිවැසියන්ට දැන්වීමටයි. ප්‍රධාන කාර්යාලයෙන් පිට පිටම ඉල්ලීම් ඉදිරිපත් කලත් ඔවුන් එයට එකඟ නොවීය. හදවතක් නැත්තවුන් සේ ඔවුන් ක්‍රියා කළහ.

ඉන්ජිනේරු වරයෙකු වූ ඔහු හොර රහසේම තමන්ට ලබා දී ඇති පරිගණකය යොදාගෙන වැඩසටහනක් නිර්මාණය කළේය. ඒ විදුලිය විසන්දී කිරීමටයි. මුලු ගොඩනැගිල්ලේම විදුලිය එකවර විසන්දී කිරීමටයි. එමගින් ආරක්ෂක අංශය මග හැර දෙවන මහලේ ප්‍රධාන පරිගණකයෙන් ඔහුගේ මිතුරෙක්ට පණිවිඩයක් ලබා දීම ඔහුගේ අරමුණ විය. විදුලි ජනක ක්‍රියාත්මක වීමට විනාඩි 7ක කාලයක් වැය වන බව අපි ඒ වන විට අත්දැකීමෙන් දැන උන්නෙමු. මන්ද මින් පෙර විදුලිය විසන්දි වූ අවස්ථා වල අප සිටින එල් හැඩති ගොඩනැගිල්ලේ අනෙක් පස විදුලි බල්බ මුලින් දැල්වෙනු දැකිය හැකි විය.අප අයත් මහල් පහක ප්‍රදේශය වෙනත් විදුලි පද්දතියකින් ක්‍රියාත්මක වන බවත් විදුලිය ලැබීමට අවම වශයෙන් විනාඩි 7ක කාලයක් වැය වන බවත් අපි දැන උන්නෙමු.

ඉතාම කෙටියෙන් හා මගේ මතකයේ ඇති පරිදි මේ සිදුවීම් මා ඔබ වෙත ගෙන එමි. මන්ද මෙය ඔබට කිව යුතුය. ආකාශ් අප කිසිවකුගෙන් උදවු බලාපොරොත්තු නොවීය.මන්ද ඔහුටත් ඒ සම්බන්ද දැඩි විස්වාසයක් නොමැති හෙයිනි. ආරක්ෂකයින්, කාර්ය බහුල දිනයේ වැඩ කටයතු නිමා වන මොහොතක  ඔහු තම සැලසුම දියත් කළේය. මන්ද දෙවන මහලේ ප්‍රධාන පරිගණකය වෙත අපගේ විද්‍යාගාර පරිගණක දවස අවසානයේ සම්බන්ද කෙරේ.ඒ මොහොත මුළු ගොඩනැගිල්ලටම අදාළ පරගණක ජාල ගත වන මොහොතයි. සිතු ලෙසම ඔහුට විනාඩි 7ක කාලයක් ලැබිණි. පර්යේෂණ වලදී පළදින හිස් ආවරණයද පැලඳ ඔහු අප මහලේ කෙලවර පිහිටා තිබු ප්‍රධාන පරිගණකය වෙත ගියේය.විදුලිය විසඳි කිරීමෙන් ලද අවස්ථාවෙන් හා තම හිස් ආවරණයේ උදවුවෙන් ඔහු ආරක්ෂකයි නොමග යවා තිබිණි. ඔහු තම පණිවිඩය වෛරසයක් ලෙස හැඟවෙන පරිදි දෙවන මහලේ පරිගණකයෙන් අන්තර්ජාලයට මුදා හරිනු ලැබිණි.

ඔහු නිරුපද්‍රිතව ආපසු පැමිණියේය. ඔහු සාර්ථකය. අපේ සිත් තුලද බලාපොරොත්තුවේ කුඩා පහන් සිළු දැල්වෙන්නට පටන් ගෙන තිබුණි. මින් එක දිනකට පසු ආකාෂ්ගේ පෙම්වතිය පිලිබඳ ඛේදනීය පුවතක් අපට අසන්නට ලැබුනේ නොසිතු විරු පරිදිය.

ඇය හදිසි රිය අනතුරකින් මිය ගොස් සිටියාය. අප එය දැන ගත්තේ හදිසියේ පැමිණි ප්‍රධාන කාර්යාල නිලධාරියෙකුගෙනි. එතැන් සිට සතියක් පමණ ගත වන තුරු අපට ආකාශ් දැක ගත නොහැකි විය.  නැවත සේවයට වාර්තා කලේ අප පෙර දැන හැඳින සිටි ආකාශ් නොව. ඉතාම නිහඬ ගුප්ත චරිතයකි.කාලයත් සමග අප ඔහුගේ රටාවට අනුගත වීමු. තමන්ට ගව් ගණනක් දුරින් සිටින තම ප්‍රාණ සම පෙම්වතිය මිය යාමත් ඉන් පසුව ඇයව තම දෑසින් නොදකීමත් කෙතරම් වේදනා සහගතද?

තවත් තුන් මසක පමණ කාලයක් ගත විය. ඉන් පසුව අප සේවය කල පර්යේෂණාගාරය දේශන ශාලාවක් බවට පත් විය. දිනෙන් දින විවිධ වූ දේශකයන් පැමිණ මිනිසා ඇතුළු විවිධ සතුන්ගේ ජීව ක්‍රියාවලීන් ඔවුන් පැතිරෙන ආකාරය පිළිබඳව අපව පුර්ණ දැනුවත් කිරීමකට බඳුන් කළහ.ලෝකයේ විවිධ රටවල මහාචාර්යවරුන් ඔවුන්ගේ සහායක කණ්ඩායම් සමග මේ සඳහා පැමිණියහ.

පිටස්තරයකු සමග සුහද කතාබහක නියැලීමට මෙමගින් අපට අවස්තාව සැලසිනි. මහාචාර්ය ඩේවිඩ්ගේ සංක්‍රමණය මේ කාලය ඇතුලත ඉතාම වැදගත් සිදුවීමක් ලෙස මගේ මතකයේ ඇත. ඔහු සමග පැමිණ ඔහුගේ සහායිකා සිම්රන් මගේ කතාවේ ඉතාම මානුෂික වැදගත් චරිතයක් බව ඔබට ඉදිරියේදී වටහා ගත හැකි වනු ඇත.

පැය හතරක දේශන කාල සීමාවෙන් අනතුරුව අපට ඇති ගැටළු නිරාකරණය කරගැනීම හා විවේකය සඳහා පැයක කාලයක් ලැබේ. ඒ කාල සීමාව තුල ගැටළු නිරාකරණය කෙසේ වෙතත් අප මහාචාර්ය තුමන්ගේ සහායකයින් සමග හිත මිතුරු වූයෙමු. ඒ නිකම්ම නොවේ. ඔවුන් පිටස්තරයින් ලෙස මේ සිර ගෙයින් නික්ම යන්නවුන් වන  බැවින් අපට ඇත්තෙන්ම ඔවුන්ගෙන් පිළිසරණක් පැතිය හැකිය යන විස්වාසය මතයි. නමුත් මේ කිසිවක් සඳහා ආකාශ් මැදිහත් වුයේ නැත. ඔහු නිහඬව මුනිවත රැක්කේය.
  
                                                       විරාමයක්...

ඉස්සරහට මොනා වෙයි කියලද හිතෙන්නේ? අමතක නොකර හිතෙන දේ ලියලම යන්න. මේ වගේ කතාවක් ලිවේ පළවෙනි වතාවට නිසා වැරදි අඩුපාඩු කියල දෙන්න යාලුවනේ....

4 comments:

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...