Monday, June 18, 2012

ස්නේහයක සිතුවම්. පළමු දිගහැරුම


“කොරියානු මිත්‍රත්ව අභ්‍යාස විද්‍යාලය”.

 මේ පුවරුව දුටු පමණින්ම අපේ අයියගේ මුහුණේ ප්‍රීතිමත් සිනාවක් අඳුණි.

 “ඉස්සරහ ගේට් එක ළඟ නවත්තන්න.”

 අප පැමිණි කුලී රථයේ රියදුරුට පැවසූ අයියා මදෙස බලා මද සිනාවක් සමග

 “ඔන්න නංගි අපි ආවා. අද ඔයාට ගොඩක් වැදගත් දවසක්. ජිවිතේ අලුතෙන් පටන් ගන්න.”යි කියත්ම අප පැමිණි කුලී රිය විශාල ගේට්ටුවක් අසල නැවතුණි.

 කුලී රථ රියදුරුට මුදල් ගෙවූ අයියා මගේ විශාල ඇදුම් බෑගය රැගෙන කුලී රියෙන් බැස්සේය. මා අත තිබූ බෑගය ද කරේ දමාගෙන ඔහු අනුගමනය කළෙමි. ප්‍රධාන ගේට්ටුව අසල සිටි මුරකරුට අවසර පත පෙන්වූ අයියා මදෙස හැරී ඔහු පසුපස එන ලෙස අතින් සං කර ඉදිරියට යන්නට විය. අහසට නැගුනු විශාල නවීන පන්නයේ ගොඩනැගිලි අතරින් මම ඔහු පසුපස අදුනෙමි. අපි විශාල කොරිඩෝවක් දිගේ ගොස් විශාල ශාලාවකට ඇතුල් වූයෙමු.

 මගේ වයසේ යයි සිතිය හැකි ගැහැණු ළමයි දහ දෙනෙක් සහ පිරිමි ළමයි අට දෙනෙක් ඔවුන්ගේ භාර කරුවන් සමග එහි අසුන්ගෙන සිටියහ. අපි දෙදෙනා ද ගොස් ඔවුන් සමග අසුන් ගත්තෙමු. අප ඉදිරියෙන් විශාල වේදිකාවක් පිහිටා තිබුණි. ඒ මත කොළ පැහැති රෙදි එලූ මේසයක් හා පුටු කිහිපයක් තිබුණි.

 “නංගි වැඩේට තව පැය බාගයක් විතර තියනවනේ. මං ගිහින් කන්න මොනාහරි අරන් එන්නම්කො. ඔයාට බඩගිනිත් ඇති. මටත් හොඳ ගනන්.”

තම අතෙහි බැඳී ඔරලෝසුව දෙස බලමින් පැවසූ ඔහු මා පිළිතුරක් දෙන්නටත් පෙර යන්නට ගියේය. ඒ ඔහුගේ ස්වභාවයි. මා එතැන තනියම දමා යාම ගැන ඔහුත් සමග තරහක් ඇති වුවත් කුමක් කරන්නද?

 කිසි දිනෙක තනිව නිවසින් පිට නොසිටි මා මෙහි ගෙනවිත් දමා ඔහු කුමක් බලාපොරොත්තු වේ දැයි මම නොදනිමි. ගෙදරින් පිට වෙද්දී අම්මා හොරෙන් හෙලු කදුළු සිහි වෙද්දී මගේ හදවත තව තවත් කඩා වැටුණි. මටත් නොදනිම මගේ දෑස් කඳුළින් තෙත් වුණි. මගේ සිතිවිලි වලට බාදා කරමින් කිසියම් ශබ්දයක් පසෙකින් ඇසුණි. මගේ හද ගැස්ම වැඩි විය. මම ක්ෂනිකව හැරී බැලුවෙමි. මා මෙන් දෙතුන් ගුණයක් උස මහත පිරිමි ළමයෙක් පසෙකින් සිටගෙන සිටියේය. මද සිනාවක් මුවේ රඳවාගත් ඔහු මා අසලින් ඉදගත්තේය. මා මදක් බියට පත් වූ නමුත් ඒ බවක් පෙනෙන්නට ඉඩ නොහලෙමි.
මා දන්නා තරමින් මා බියගුළු තැනැත්තියක් නොවේ. නමුත් ඒ අවස්ථාවේ මාගේ මානසික තත්ත්වය ඉතාම පහල මට්ටමක තිබුණි. මේ වන විට මා ලඟ සිටි බතලයා තත්පරයට වචන සියයක පමණ සිග්‍රතාවකින් කියවමින් සිටියේය. මෙය මට මහත් හිරිහැරයක් විය. තවත් විනාඩි කිහිපයක් ගත වෙද්දී අයියා පැමිණියේ විශාල පාර්සලයක් රැගෙනයි.

“මෙන්න තියෙනවා උණු උණු ඉදිආප්ප ඔයත් ආසයිනේ, “ 

මීළග මිනිත්තු කිහිපය ඇතුලත අපි ඉක්මනින් ඉදිආප්ප ගිල දමා අසල පිහිටි කරාමයකින් අත් සෝදා වතුර බී නැවතත් අසුන් ගත්තෙමු. 

හරියටම 9 30 වන විට අප ඉදිරියේ තිබූ වේදිකාව මත කොරියන් මහතෙකු දක්නට ලැබුණි. මහත් බැරෑරුම් පෙනුමක් ආරුඩ කරගෙන සිටි ඔහු ඉතාම ඒකාකාරී දීර්ඝ දේශනාවක් පවත්වාගෙන ගියේය.

“මොකද්ද අයියේ මේ කෙහෙල්මල, මේ යකා මේක නවත්තන් නැද්ද අද “ 

 නොයිවසිලිමත්ව සිටි මම අයියාගෙන් රහසින් ඇසුවෙමි.
“තව ටිකයි මැඩම්... ටිකක් ඉවසල ඉන්නකෝ මෙයා ඔහොමමයි. හරියටම තව විනාඩි තුනයි.”

 ඉන් සැහීමකට පත් මම අවට සිටින්නන් දෙස බැලුවෙමි. සමහරෙක් ඈනුම් අරිමින් සිටී. සමහරුන් කිරා වැටෙයි. කෙසේ හෝ ඒ නීරස දේශනය අවසන් වියා. ඒ සමගම පැමිනියේ ඉතාම උද්යෝගිමත් ප්‍රියමනාප පුද්ගලයෙකි. ඉතාම සුහදශීලි ලෙස අප ඇමතු ඔහු ආයතනය පිළිබඳ මනා පැහැදිලි කිරීමක් සිදුකර බඳවා ගැනීම ආරම්භ කළේය.

දහවල් දොළහ පමණ වන විට බඳවා ගැනීමේ කටයුතු අවසන් විය.ඉන්පසු අපට විසදාගත යුතුව තිබුණේනේවාසිකාගාර ගැටලුවයි. අපට නේවාසිකාගාර ලෙස ලැබුනේ විද්‍යාලයේ සිට කිලෝමීටර කිහිපයක් අතින් පිහිටි නිවාස කිහිපයකි.ගැහැණු ළමුන් සඳහා නිවාස හතරකුත් පිරිමි ළමුන් සඳහා නිවාස පහකුත් වෙන් කර තිබුණි.මාත් සමග තවත් ගැහැණු ළමුන් පස් දෙනෙකු එක් නිවසකට ඇතුලත් කෙරුණි. මේ අවස්ථාව අප හය දෙනාටම දුක්බර අවස්ථාවක් විය.

“අයියා, ඔයාට දුක හිතෙන්නැද්ද ඔයාගේ චුටි නංගිව මෙහෙම දාල යන්න, අයෙ කවදද මං ගෙදර යන්නේ?”

කදුළු අතරින් මම ඔහුගේ අතක් අල්ලාගෙන ඇසුවෙමි. අවුල් වී තිබු මගේ හිස කෙස් අතරින් ඔහුගේ සුරතෙහි අඟිලිතුඩු යවමින් මගේ හිස අතගෑ ඔහු මගේ දෑස් වලට එබී බලා

“චූටි ඔයා දැන් ගොඩක් ලොකු ළමයෙක්නෙ, ඔයා අපිට චූටි වුනාට නේද? ඔයා තනියම ඉන්න ඉගෙනගන්න ඕනෙ පැටියො දැන්, මේ ඒකට හොදම වෙලාව. ඕනෙ වෙලාවක මට හරි ගෙදරට හරි කතා කරන්න පුලුවන්නෙ ඔයාට, ඉස්සර ඉස්කෝලෙදි වගේම හොද යාළුවො ගොඩක් මෙහෙදි හම්බෙයි. ඔයාට ඕනෙ කරන හැමදේම ඔයාට තියෙනව.ටිකක්වත් බය වෙන්නැතුව මන කව විදියට ඔයාට ඕනෙ දේ මෙතනින් ගන්න.”

ඔහු කියවගෙන යයි. මම ඔහේ බලාගෙන ඔහේ අසා සිටියෙමි. එක් වචනයකුදු නොදෙදු මම ඔහුගේ දෙපා වැන්දෙමි. මගේ හිස අත ගා  නළල සිඹ අප නිවසේ පාලිකාව යයි සිතිය හැකි කාන්තාවක් සමග මද වෙලාවක් පිළිසඳරේ යෙදුනු ඔහු යන්නට ගියේය.

සියලුම සමුගැනීම් වලින් අනතුරුව අපි හයදෙනා අපේ බෑග් මලු රැගෙන අපට වෙන්ව තිබු කාමර සොයා ගියෙමු.  
                                                                   
                                                                  මතු  සම්බන්දයි.

1 comment:

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...