Monday, July 23, 2012

පස් වන දිගහැරුම


“චුටි ඇයි ඔයා යන්නෙ? මං ඔයත් එක්ක රන්ඩු වෙන හන්දද? කියන්න මට. මේ වෙනකල් අපි දෙන්න දවසකට වැඩිය කතා කරන් නතුව ඉඳල තියෙනවද? ඔයා ගෙට උන වෙලේත් මං ජනේලේ ලඟට වෙලා අම්ම එලවද්දීත් ඔයත් එක්ක කතා කළා. ඔයාට හරියට කන්න දෙන් නෑ කියලා මං අම්මට රණ්ඩු කළා. ඒ දවස් වල තාත්ත මට ගෙනාව ඇපල් දොඩම් රටකජු හොරෙන් ජනේලෙන් කාමරේට දැම්මා. මතකද නංගි. එහෙවු මාව ඔයා දාල යනවද? ඔයා යන්නෙ ඉගෙනගන්න කියල මං දන්නවා ඒ උනාට.....”


එදා රෑ මගේ උරහිසෙන් අල්ලගෙන කඳුළු පිට කරන් නැතුව මගේ පොඩි අයියා කියූ දේවල් දෙසවනේ දෝංකාර දෙයි. මම ගෙදරට ඇමතුමක් ගත්තෙමි. එකපාරක්වත් දුරකතනය නාද වන්නට පෙර කතා කලේ පොඩි අයියායි.

“ චූටි, කොහොමද? ඔයා නැතුව මේ ගේ එක දවසට පාලු වෙලා. කිසිම සද්දයක් නෑ කමක් නෑ. කියන්නකෝ කොහොමද අලුත් යාළුවො හොදද?”

“හොඳයි අයියෙ වරදක් නෑ.තවම වැඩිය කතා කරන්න හම්බුනේ නෑ. ලොකු අයිය ආවනේ. විස්තර කියන්න ඇතිනේ. අනේ අයියෙ මට සැර කරන්නෙපා ඔයා කලින් කතා කරපු වෙලේ.....”

“හරි. මැණික, මට සමාවෙන්නකෝ. මටත් ගොඩාක් දුකයි. මං ඔයාට රෑ වෙලා ගන්නම්කො. අම්මට කතා කරන්නකෝ.”

“පුතේ, කොහොමද දරුවෝ, ඔහේ හොඳද? හරි පාලුයි පුතේ මෙහෙ. පොඩී නාහෙන් අඬනව ඔයා යැවුවා කියලා. ලොකු අයියගේ කීමට මිසක් මමත් කැමති නෑ පුතේ.”

“අනේ අම්මේ දැන් ඕව කියන්නෙපා අයිය කිවුවනේ මට හරියන නැත්තම් ආපහු එක්ක එනවා කියල.”
පැමිණි වෙලාවේ සිට එතෙක් සිදු වූ සියල්ල මම අම්මාගේ කනේ තැබුවෙමි. තාත්තා සමගත් ටික වෙලාවක් කතා කලෙමි. 
 
මගේ පොඩි අයියා මොරටුව විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුවෙකි. ඔහු ඉගෙනීමට සමතෙකි. එහෙත් තවම පුංචි ළමයෙකු මෙනි. ඔහු මට පුදුම විදියට ආදරය කළේය. අපි දෙදෙනා අතර පුංචි කාලේ සිට තිබුණු බැඳීම කෙනෙකුට සිතා ගන්නටවත් බැරි තරම්ය. සමහරු එය මහා විකාරයක් ලෙස දකියි. මගේ පුංචි දෙයක් පවා ඔහුට මහා ලොකුවට දැනෙයි. අපි පාසල් ගියේ එකටයි. ශිෂ්‍යත්වය සමත්ව වෙනත් පාසලකට යාම පවා ඔහු ප්‍රතික්ෂේප කලේ මං යන්නෙ නංගි ගියොත් විතරයි කියමිනි. තාත්ත දැඩි වෙහෙසක්‌ දරා ඔහුව වෙනස් කළේය. නමුත් පිරිමි පාසලකට යාමට ඔහු අකමැති විය. ඔහු ගම්පහ තක්ෂිලා විද්‍යාලට ඇතුලත් කළේය. තාත්තා ඔහුට වැඩි බලපෑමක් කලේ නැත. ඊට අවුරුදු දෙකකට පසු මමත් තක්ෂිලාවට ගියෙමි. මමත් ගැහැණු පාසලකට යාමට අකමැති වීමි. තාත්තා මටත් කිසිවක් කීවේ නැත. අම්මා නම් අපි දෙදෙනා ගැනම නොසෑහෙන්න දුක විය. ඇයට අවැසි වුයේ පොඩි අයියාත් ලොකු අයියා මෙන්ම බණ්ඩාරනායක විද්‍යාලයට යාමටය. මා රත්නාවලියට යාමය. නමුත් තාත්තාගේ පැහැදිලි කිරීම් හමුවේ ඇයත් ගොළු විය. අපි ගැන ඔහු අපේ පන්ති වල ගුරුවරුන්ට පවා කීවේය.

අපේ නිවස තිබුණේ පාසලට ආසන්නවයි. මම පොඩි අයියා සමග පාපැදියෙන් පාසල් ගියෙමි. ඔහු නිතරම මා ගැන සොයා බැලුවේය. අපේ සහෝදර බැදීම නිසා අප අන අය අතර සිනහවට ලක් වූ අවස්ථා අනන්තය. අප්‍රමාණය. ඔහු හැමවීටම පන්තියේ ඉදිරියෙන් සිටි දීප්තිමත් සිසුවෙකි. ඔහු මෙන්ම ඉදිරියෙන් සිටින්නට මටත් අත දුන්නේය. කොටින්ම කියතොත් ඔහු මගේ සෙවනැල්ල මෙනි.

2 comments:

  1. අඩේ අප්පා මට මෙහෙම නංගියෙක් උන්නේ නෑනේ...

    ReplyDelete
    Replies
    1. එහෙම නංගිල ඉන්නවා. නංගි කෙනෙක්ට එයාගෙ අයිය රටක් වටිනවා.

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...