Monday, July 23, 2012

තෙවන දිගහැරුම


මොහොතකට පෙර මා සමග කතා කරමින් සිටි තැනැත්තිය මා ඉදිරියේ සිනාසෙමින් සිටියාය. ඇය ඇඳ සිටියේ ඩෙනිම් සායක් සහ නිල පැහැ ටී ෂර්ට් එකකි. කොණ්ඩය කඩා දමා තිබුණි.

“අපේ අක්කගෙ කතා ගනන් ගන්නෙපා. එයා එහෙම තමයි. කටට එන එක ඔහේ කියල දානව. බය වෙන්නෙපා අපි නිවුන්නු. ආ... ඒක නෙවෙයි මම සෙනුරි මගෙ අක්ක මිනුරි. අපෙ අක්ක හරි හොඳයි. ඒ වුණාට ටිකක් සැරයි. කොහොම වුනත් අපේ අක්කගෙ කතාවට ඔයාගේ හිත රිදුන නම් මං ඒකට ඔයාගෙන් සමාව ඉල්ලනවා. හරි හරි දැන් ඉතින් කියන්නකෝ ඔයා කවුද කියල.” පියකරු සිනාවක් මුවග රඳවා ගනිමින් ඇය පැවසුවාය.


“අනේ ඒකට කමක් නෑ. මට ගෙදරින් ආව එක ගැන ගොඩාක් දුකයි. ඒ හඬ හිත රිදොගෙන ඉන්නෙ ඒකයි. මම හංසිනී.” මම කීවෙමි.

ඇය සැබැවින්ම හොඳ මිතුරියක්‌ වුවාය. ඔවුන් දෙදෙනා නිවුන් සොයුරියෝ වුහ. අපි සෑහෙන වෙලාවක් කතා කළෙමු. කළුතර ප්‍රදේශයේ පදිංචි ඔවුන්ගේ පියා මිය ගොස්ය. ඔවුන්ට වඩා අවුරුදු හයක පමණ වැඩිමල් අයියා විසින් පවුලේ වගකීම් දරන බව ඇය මා සමග පැවසුවාය.

“මේ ෆෝන් එක කාගෙද.....? මේක අයිතිකාරයාගේ පොඩි අයිය කතා කරනවෝ....”

වහලේ උළු උඩ යන තරමට කෑ ගසාගෙන ගැහැණු ළමයෙක් දිව අවාය. මගේ කාමරයේ ඇඳ මත මා තැබූ  ජංගම දුරකථනය ඇගේ අතෙහි විය.

“අනේ ඕක මගෙනේ. තෑන්ක්ස් ඔයාට.”

මා ඇයට ස්තුති කොට පොඩි අයියා සමග කතා කලෙමි.

“චූටි නංගි , ඔයා හොඳින්ද? ඇයි පැය ගානකින් කතා කලේ නැත්තේ. අයියා ඔයාව දාල ආවයි කියල දැන් කොච්චර වෙලාද?”

ඔහු ටිකක් කේන්තියෙන් පසු විය. අපේ පොඩි අයියා මට චුටි කියන නමේ අගට නංගි යොදන්නේ ඔහුට තරහ ගොස් ඇති වෙලාවටය.

“තවම පැයක්වත් ගියේ නෑ අයියෙ මං ඇවිත්. වශ දාලම කතා කරන්න හිටියේ. අම්මටයි තාත්තටයි කියන්න ටිකක්වත් බය වෙන්නෙපා කියල. මං අයෙත් පස්සේ ගන්නම්කො.”

“මට වෙන නංගිලා නෑ. ඔයා විතරමයි ඉන්නෙ. ඔයා මට sms එකක්වත් එවන්නෙපායැ. ඔයා ඔහොම යයි කියල මං ටිකක්වත් හිතුවේ නෑ. දැනටමත් මට ගොඩා......ක්ම ගොඩාක් පාලුයි.”

මට ඇඩුම් ආවේය. අමාරුවෙන් ඉවසාගෙන මම ඔහු සමග කතා කලෙමි.

“අනේ අයියෙ ඔහොම කියන්නෙපා. මට අඩන්න බෑ. මං අවේ ඇයි කියල ඔයා දන්නවනේ.”

අපේ සංවාදය මම එතැනින්ම හමාර කලෙමි. මගේ අලුත් මිතුරියන්ද පෙනෙන්නට සිටියේ නැත. දුරකථනය නැවතත් මගේ කාමරයෙන් තැබා ආපසු එන විට නාන කාමරයක් හිස්ව තිබුණි.

ඉක්මනින් ඇඟ පත සෝදා ගෙන මම කැමතිම ගවුම ඇන්දෙමි. බාගෙට තෙමී තිබුණු කොණ්ඩය මුදා හැර පුංචි කොන්ඩා කට්ටක් ගසා ගත් මම රෝසි නැන්දා කියූ පරිදි සවස තේ පානය සඳහා සාලයට ගියෙමි.

රෝසි නැන්දා සිහින් සිනාවක් මුවග රදවාගෙන අප එන තුරු සාලයට වී බලා සිටියාය. අලුවා, තලකරලි, කෙසෙල්ගෙඩි සමග තේ ඒ වන විටත් සාලයේ ටීපෝව මත සකස් කර අවසන්ව තිබුණි.

මගේ අලුත් මිතුරියෝ ද එකා දෙන්නා බැගින් සාලයට ඇදුණහ. සියල්ලෝම පැමිණි පසු රෝසි නැන්දා කතා කළාය.
 
“හරි, හැමෝම ආව නේද? ඔයාල මෙහෙ ඉන්න වෙලාවට ඔයාලගේ සම්පුර්ණ වගකීම මගේ අතේ තියෙන්නෙ. මං මීට කලින් ඔයාල වගේ ළමයි 10 දෙනෙක් බලාගත්තා. මුලින්ම කියන්න ඕනෙ හවස හයෙන් පස්සේ කිසි කෙනෙකුට එලියට යන්න බෑ. උදේ 8 වෙනකොට ඔයාලව ගෙනියන්න වෑන් එක එනවා. වෙලාවට ලෑස්ති වෙලා ඉන්න. “

මෙසේ කියමින් සාලය වටේ රවුමක් දෙකක් ගිය ඇය මද වෙලාවක් කල්පනා කළාය. 

“ මෙහෙ වත්තේ වැඩට ඉන්නෙ සිරිසේන. එයා සතියකට වතාවක් ඇවිත් වත්ත පිටිය සුද්ද කරනවා. එතකොට මේ නන්දාවතී තමයි ඔයාලට කෑම බීම හදල දෙන්නේ. අවශ්‍ය දෙයක් තියෙනවා නම් එයාගෙන් ඉල්ලගන්න පුලුවන්. උදේ කෑම 7 00 ට දවල් කෑම සතියේ දවස් වලට එහෙං හම්බ වෙනව. සෙනසුරාද ඉරිදා මෙහෙන් හම්බවෙනවා. රෑ කෑම 8 00 ට. හවස තේ මේ වෙලාවට. මං හැමවෙලේම වගේ මෙහෙ ඉන්නවා.ආ.... මුකුත් ප්‍රශ්න තියෙනවද?”

අපේ මුහුණු දෙස විමසිල්ලෙන් බැලූ ඇය ඇසුවාය. 

“මට ඔයාලට මොනාහරි කියන්න ඕනෙ වුනොත් එක්කෙනෙක්ට කියන්න ඕනෙ. ඔයාලට නායිකාවක් පත් කරගන්න වෙනවා. ඒවා පස්සේ කරමු නේද? දැන් අපි තේ බොමු. මේ කෑම ගෙනාවේ හංසිනීගේ අයියා. ඒකත් කියන්න ඕනෙ.”

මගේ මුහුණ දෙස බලමින් පැවසු ඇය අලුවා කෑල්ලක් අතට ගත්තාය.

2 comments:

  1. mathnta oyga blog ekathu karanna http://nimnaya.info/sigunp/

    Nimnayta Oyga Blog ekthu karama Oyga Post balanna commnet karnna Godak katiya avi. a vagma oyth hamdma nimnaya patha anna blog kiyvanna http://nimnaya.info

    ReplyDelete
  2. කතාව නම් ලස්සනයි මේ එක නෙවේ මේකේ අන්තිමට මොකෝ වෙන්නේ

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...