Saturday, September 1, 2012

ගොඩේ ගාෆීල්ඩ් සහ මම.....

අයියෝ යාලු මගේ වෙලාව හරිම නරකයි. මේ පොස්ට් එක මගේ අතින් delete වුනානේ. ඔන්න අදහස් පල කරපු යාළුවො මා එක්ක තරහ වෙන්න නම් එපා හොඳේ. තවම නීච ග්‍රහයෝ අයින් වෙලා නෑනේ.


මේ දවස් වල මගේ ග්‍රහය නීච වෙලා. අන්තිම නරකයි. කරන කරන දේ යන්නේ නොපිටමයි. සෑහෙන්න අහගන්නවා. හරිම දුක්ඛදායකයි. මං මේ දහ අතේ කල්පනා කරන්නෙ මේ අසුභ කාලේ කවද ඉවර වෙයිද කියල. ඔයාලට කියවන්න කතාවක්වත් ලියන්න බැලුව. ඒකත් හරි ගියෙ නෑ. අම්මගෙන් නම් කෝටියක්‌ බැනුම් අහන්න ඇති. අනේ අම්මෝ.... 

කොයි තරම් නරකද කීවොත් අහක යන පූසොත් මා එක්ක එල්ලෙන්න එනවා. අන්තිමේදී මං හිතුව මගේ දුක ඔයාලට කියන්න. මං සත්තුන්ට හරි ආසයි. ඒ වුනාට පුදුම බයයි. ඒකටත් ලොකු හේතුවක් තියෙනවා. 

පොඩි කාලේ මං ගියෙ ගමේ ඉස්කෝලෙට. මේ පයින් යන දුර. අපරාදේ කියන්න බෑ අපේ අම්මත් මාත් එක්ක අවුරුදු පහක්ම ඉස්කෝලේ ගියා. අර අපි පහේ පන්තියේදී අම්මල ලියන විභාගේ තියෙන්නේ. අන්න ඒකට අම්මල අපිව පන්ති දක්කන් යනවනේ. අපේ අම්ම මාව ඇදන් ගියෙ ඉස්කෝලේ ළඟම ගෙදරක මිස් කෙනෙක් කරපු පන්තියකට. මොනවා වුනත් අපේ අම්ම මට වද දුන්නේ නෑ. ඒකටත් එක්ක අද කාලේ අම්මල දුවන දිවිල්ල දැක්කම අපි කලන්තේ දානවා. පව් අර අහිංසක පොඩි එවුන්.

නිවාඩු කාලේ දවසක් මාවයි තව යාලුවෙක්වයි අම්මල පන්ති එක්ක ගියා. අපි දෙන්න ඉස්සර වෙලා දිවුව. මට ඉතින් දුවාගන්නත් බෑ හරියට. ඔහොම දුවන් යද්දී මෙන්න බොලේ කොහෙද යන බලු තඩියෙක් ආපි අපේ ඉස්සරහට. මේක ඇවිත් මගේ ගවුමේ එල්ලුනේ නැතයි. මට ඉර හඳ තරු සේරම පෙනුනා. පුළුවන් තරම් හයියෙන් කෑ ගහල අහල පහල ගෙවල් වල මිනිස්සුත් ගෙන්නුවා. මං හිතුවේ බල්ල කෑවේ මාව කියල. ඒත් ඌ කාල තියෙන්නේ මගේ ගවුම විතරයි.(මෙහෙමත් මැටි අලයක් නේද?) කොහොම හරි එදා ඉඳං මං හැම සතෙක්ටම බයයි. බල්ලෙක් හරි පුසෙක් හරි මොකෙක් හරි මා ලඟට එද්දී මට මේ බලු තඩිය මතක් වෙනවා. ඒ සිද්දිය අමතක වෙන්න නම් ඉතින් මාව මැරිලා ඉපදෙන්න වෙනවා.

දැනට මාසෙක විතර ඉඳං අපේ ගෙදරට පුසෙක් එනවා. එයා මේ පැත්තේ නම් ගොඩක් ප්‍රසිද්ධයි. සෑහෙන තදයෙක්. අපේ අම්මත් ඉතින් අනේ පව් කියල කන්න බොන්නත් දුන්න. මීට කලින් මේ හරියේ ගෙවල් දෙක තුනකම මෙයා කරක් ගහල තියනවා. මෙයා ගැන මඩ පොස්ටරෙකුත් වැදිලා තිබුන පහුගිය කාලේ.


මෙයා හරි දක්ෂයි ගානට වලන් ඇරගෙන පෙරලන් නැතුව කන්න. තව මේ පැත්තේ මාම කෙනෙක්ගේ පොලෙන් ගෙනාව කරවල 250 ක් එහෙම්පිටින්ම කාල. ලස්සනම වැඩේ ඒක නෙවෙයි.

එහා ගෙදර නංගිගේ බෙඩ් ටී එක මූණ දාගන්න පුළුවන් තරමටම මූ බීල. තව ටිකෙන් කෙල්ල පූසා බිවුව එක බොනවා නිදිමතේ. මොනවා කලත් මූ මාර ලකී. ඒ නංගිගේ කිරි කෝප්පේ බිවුව දා ඉඳං ඒ ගෙදරින් මෙයාටත් ලොකු කිරි එකක් හම්බෙනවා. මාරු නේද?කොහේ ගියත් මෙයා දවල් කෑමට මෙහෙ. දවස දෙක තුනක ඉඳං මෙයාට ලොකු පිස්සුවක් හැදිලා.

මං දැන් ගෙදරමනේ ඉන්නේ. උදේ පාන්දර ඇහැරෙන්න ඕන නෑනේ. අනික ඉතින් මේ වැස්සේ ඇහැරගෙන මං අලි අල්ලන්නයැ. කොහොම නැගිටින්නද නේද? 

ඉතින් මේ නෝටි පූස් තඩිය හැමදාම උදේ 7 විතර වෙද්දී මගේ ඇඳ ලඟට ඇවිත් මං නැගිටලා ඉඳගන්නකල් කෑ ගහනවා. නැගිට්ටේ නැත්තම් බෙඩ් ශීට් ඒකෙන් අදිනවා. බලන්න කොච්චර නරක වැඩක්ද? අනික ගෑණු දරුවෙක් නිදාගෙන ඉන්න කාමරේකට ඔහොමත් එනවද මං අහන්නේ? 

ඒ හන්ද ඉතින් මං හැමදාම ඇහැරෙන්නේ ඇඟේ ලේ ටිකත් රත් කරගෙන. ඊයෙ උදේ මුගේ තියෙන හයි කාර කොම කියන්නේ මං පන වගේ ආදරේ මගේ වයලින් එක උඩටත් නැගල කෑ ගහනවා. වැඩේ කියන්නේ මොන තරම් තරහ ගියත් මූට සැර කරල එලවන්නත් බැරි එකනේ. සැර කලොත් මූ මහා කැත වැඩක් කරනවා. එක නම් ඉතින් අහන්නෙපා හොඳේ.

මෙයාට මේ පැත්තේ අය කියන්නේ මුණ කියල. අර නංගිගේ කිරි එක බිවුව දවසේ ඉඳන්. මට නම් එයාව පේන්නේ ගාෆිල්ඩ් වගේ.
            
අද අපේ අම්ම මාවත් ඇදගෙන ගියා අපේ පරණ ටීච කෙනෙක්ව බලන්න. ඒ ගෙදර බලු රජදහනක්. ඒ ගෙදර බල්ලෝ ඉන්නේ පුටු උඩ. පුසෙක් ඉන්නවා. ඌ ඉන්නේ ගෙදරට එන අයගේ ඔඩොක්කුවේ. මට ඉතින් මාර අවුල. වවුලගේ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න එපායැ. මාත් ඉතින් ඒ ගෙදර අක්ක වගේ බල්ලන්ට බිස්කට් කව කව හිටගෙනම හිටිය. වැරදිලාවත් ඉඳගත්ත නම් අර පූසා ඔඩොක්කුවෙනේ. අනේ අම්මෝ.....

ප.ලි. මට චෝදනාවක් තියෙනවා දුක හිතෙන කතා ලියනවා වැඩිය කියල. සතුටු වෙන්න පුළුවන් කතාවක් ළඟදීම කියවන්න ලැබෙයි හොඳේ.....

12 comments:

  1. නලක කාලෙට ඔහොම තමා මොනා කොරන්නද අනේ

    ReplyDelete
  2. අඩේ මේ පෝස්ට් එකට මම කමෙන්ට් කලා නෙව. (මට ඇස්සයිමර්ද දන්නේ නෑ)

    ReplyDelete
    Replies
    1. මගේ වෙලාව හොඳ නෑ යාලු. ඔක්කොම නොපිට අනේ

      Delete
  3. නරක ග්‍රහයන්ගේ ඵල විපාක තමයි අනේ.

    ReplyDelete
  4. මං නම් පුසන්ට අසා නෑ.

    ReplyDelete
    Replies
    1. පූසෝ ලඟට එනවට තමයි යාලු මං ආස නැත්තේ. මෙහෙට සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  5. පූසා රජාගේ හතුරාය :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද රජෝ. අදමයි ඇහුවේ රජෙක් පූසන්ට බයයි කියල.....

      Delete
  6. පුසෝ ෂෝයි අනේ ..මෙයා නෝටි උනාට..

    ReplyDelete
    Replies
    1. මෙයා දඟම දඟ නෝටිම නෝටි අනේ.....

      Delete
  7. චෑ... මම නම් ඔය ඇඟේ නගින සත්තුන්ට කොහොමත් ආස නෑ.. බය පැත්තකින් තියමුකෝ.. ඔක්කොටම වැඩිය විසබීජනේ අප්පා.. මං පනුච්චි වැඩියෙම ආස මාළුන්ට.. ඒ වගේමයි ඈත ඉඳං බලන්න පුළුවන් සත්තුන්ට.. සත්තුවත්තේ ඉන්න කොටි ටික තමයි මං පනුච්චිගේ ප්‍රියතම... :)

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...